2021 ජනවාරි 16 වන සෙනසුරාදා

කොරෝනාව සාහිත්‍ය කරැවන්ට මානසික ප්‍රශ්ණයක්

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

ප්‍රවීණ ලේඛක බුද්ධදාස ගලප්පත්ති

බුද්ධදාස ගලප්පත්තිගේ කවි මිහිර කාව්‍ය රසවින්දන කෘතිය සහ ජීවන සුසුම කෙටිකතා පොත පසුගියදා නිකුත් විය. මේ ඒ පිළිබඳව කතුවරයා සමඟ කළ කතාබහකි.

අලුත් පොත් දෙකට පෙර මෑතකදී එළිදුටු නිර්මාණ ගැන අපට පැවසුවහොත්?

2019 දෙසැම්බරයේ පසළොස් පැය කවි පොතත්, එදවස සොඳුරුමය 6 තීරු ලිපි එකතුවත් පළ කළා. ජනගත කිරීම පැවැත්වුවෙත් 2020 ජනවාරියේ. අන්තිමට කෙටිකතා පොතක් පළ වුණෙත් 2017 මැදියමක කළුවර. 2020 එහි දෙවැනි මුද්‍රණයත් පළ වුණා.

ඔබ දිගු කලක සිට නවක කවි කිවිඳියන්ට සහයෝගය දක්වන සම්මානිත කවියෙක්. කවි මිහිරත් එහි ඵලයක් නේද? 

ඔව්, දිගු කාලයක සිට නවක කවි කිවිඳියන්ට මා හැකි අයුරින් අත හිත දෙනවා, ඔවුන්ගේ හොඳ නිර්මාණ මා සංස්කරණය කරන කවි පිටුවට තෝරාගැනීමෙන්. ඊටත් ඔබ්බට ගිය පියවරක් විදියට කවි මිහිර පොතක් ලෙස පළ කරනවා 2012 සිට. පළමු කාණ්ඩය සුරස පොතක් ලෙස ප්‍රේම් දිසානායක පළ කරනවා. ඉන් පසු 2014, 2017 හා 2020 කාණ්ඩ පළවන්නේ සරසවි ප්‍රකාශන විදියට එච්.ඩී. ප්‍රේමසිරිගේ අනුග්‍රහයෙන්. මුල් කාණ්ඩයේ හැරුණම කවි මිහිර 4 දක්වා සංග්‍රහ තුළ ඇත්තේ අලුත් පරම්පරාවේ ප්‍රතිභාන්විත කවි කිවිඳියන්ගේ නිර්මාණ. ඔවුන්ගෙන් ඇතැම් අය රාජ්‍ය සම්මාන, රජත පුස්තක සම්මාන දිනූ කවියන්, කිවිඳියන්. ඒ පිළිබඳ මට විශාල සතුටක් තියෙනවා.

සමහර ජ්‍යෙෂ්ඨ කවීන් නවක නිර්මාණ දෙස බලන්නේ වපර ඇහැකින් බව අපට පෙනුණා. ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

නවක කවි කිවිඳියන්ගෙ නිර්මාණ දෙස වපරුසින් බලනවා විතරක් නෙවේ, ඇතැම් වෙලාවක ඔවුන්ව හෙළා දැකීමටත් පෙළඹෙන ජ්‍යෙෂ්ඨ කවීන් ඉන්නා බව මා අසා තියෙනවා. ඒ ගැන නම් මට ඇත්තෙ කලකිරීමක්. මට නම් හිතාගන්න බෑ ඇයි ඔවුන් එහෙම වෙන්නෙ කියලා. කිසිම නිර්මාණකාරයෙක් තමන්ගේ පළමු පොතින්ම මහා කවියෙක් හෝ කිවිඳියක් වෙන්නෙ නෑ. අඩුපාඩු ඇත්නම් අත්දැකීම් ඇති වැඩිහිටි කවීන් විදියට ඔවුන්ට අතක් දීමයි කළ යුත්තේ. ඔවුන්ගේ නිර්මාණ නිර්දයව අවතක්සේරු කිරීම ඔවුන්ගේ අනාගතයට නරක විදියට බලපාන්න ඉඩ තියෙනවා.

ඔබේ අලුත් කෙටිකතා පොතට ඉවහල් වුණේ මොන වගේ අත්දැකීම්ද?

පසුගිය කාලය කොරෝනා නිසා වැඩි දෙනෙක් ගෙවල්වලට සීමා වූ සමයක්. කොරෝනා පළමු විරාමයේදී නිර්මාණ කටයුත්තකට යොදවන්න තරම් මානසික විවේකයක් ලැබුණේ නැහැ. නමුත් දෙවැනි රැල්ලේ දී ලැබුණු විරාමයේදී මම හිතුවා නිර්මාණ කාර්යයක යෙදිය යුතුයි කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ජීවන සුසුම කෙටිකතා පොත බිහිවන්නේ. කොරෝනා අවදානම සම්බන්ධ අත්දැකීම් කිහිපයකුත් මෙයට වස්තු විෂය වෙලා තිබෙනවා. 

ඔබේ කෙටිකතා පොතක් මෙයට අවුරුදු දෙකකට පෙරත් නිකුත් වුණා. එයට ලැබුණු විචාරක ප්‍රතිචාර මොන වගේද?

පාඨකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. මැදියමක කළුවර කෙටිකතා පොත 2017 දී පළවෙන්නෙ. ඇත්තටම 2019 මැද වෙනකොට පළමු මුද්‍රණය අවසන්. 2020 දී තමයි දෙවැනි මුද්‍රණය පළවෙන්නෙ. ඊට පෙර ලියූ හෙට නැවත එයි කෙටිකතා සංග්‍රහය (සරසවි පොතක්) 2011, 2012 හා 2020 ප්‍රති මුද්‍රණ පළ වෙනවා. මගේ කවිවලට වගේම කෙටිකතාවලටත් ලබෙන පාඨක ප්‍රතිචාර ගැන මම තෘප්තිමත්. ඒවායේ හොඳ ලක්ෂණ වගේම දුබලතාත් පෙන්වා දෙන ප්‍රතිචාර මට ලබෙනවා.

අද කවියට බොහෝ තරුණයන් එළඹුණත් කටිකතාවට අලුත් මුහුණු එන්නේ අඩුවෙන් නේද?

කවියට සමගාමීව කෙටිකතාවට එකතුවන අලුත් තරුණ පිරිස් අඩු තමයි. විශේෂයෙන් කෙටිකතාකාරියො හුඟක්ම අඩුයි. කවියට වැඩි දෙනෙක් එන්නෙ කවි ලිවීම පහසු වැඩක්, ඉක්මන් වැඩක් කියල හිතාගෙන වෙන්නැති. ඒක නම් මිත්‍යාවක්. කවි ලිවීමත් දුෂ්කරයි, කෙටිකතා රචනය ඊටත් වඩා දුෂ්කරයි කියලයි මට හිතෙන්නෙ. තවත් කාරණයක් තමයි කවි පොතක් තමන්ගේ මුදලින් හරි පිටපත් 200/ 300ක් මුද්‍රණය කරගන්න පුළුවන්. ඒත් කෙටිකතා පොතක  මුද්‍රණ වියදමත් වැඩියිනෙ. මේ හේතු වෙන්නැති කෙටිකතාව කවිය තරම් තරුණ පිරිස් අතර ජනප්‍රිය නොවන්නෙ.

කොවිඩ් වසංගතය හමුවේ සාහිත්‍යයට එල්ල වී ඇති අභියෝග ඔබ දකින්නේ කෙසේද?

වසංගතය සාහිත්‍යයට විතරක් නෙවේ සමස්ත කලාවටම දැඩි බලපෑමක් එල්ල කරල තියෙන්නෙ. එත් සාහිත්‍යයට තියෙන බලපෑම් අනෙක් කලා මාධ්‍යවලට සාපේක්ෂව අඩුයි. නාට්‍ය, චිත්‍රපට, සංගීත සංදර්ශන සම්පූර්ණයෙන්ම ඇනහිටලා. ඒත් සාහිත්‍යකරුවන්ට තමන්ගේ ලේඛන කටයුතු කරගෙන යන්න බාධාවක් නෑනෙ. එකම ප්‍රශ්නය වෙන්නෙ පොත්පත් මුද්‍රණයට හා අලෙවියට තියෙන බාධා. ඇඳිරිනීතිය, නගර ලොක්ඩවුන් වීම වගේ තත්ත්ව නිසා මුද්‍රණ කටයුතු වගේම පොත් සාප්පු වසා තැබෙන කාල තුළ ඒ කොටස නතරවෙනවා. ඒ වුණාට ලේඛකයන්ට ලියන්න අපහසුවක් වෙන්නෙ නෑ වසංගත තත්ත්වය. හැබැයි ඔවුන්ට මේ ව්‍යසන තත්ත්වය මානසිකව බලපාන බව දන්නවා. එතකොට නිර්මාණකරණයට හිත යොදවන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ ඇතිවෙනවා.

කුසුම්සිරි