චේතන් බගත්ගේ නවකතා පරිවර්තන හරහා සිංහල පාඨකයන් ආකර්ශනය කරගත් දිලීප ජයකොඩි වාසනා දිනෙකි මේක, ආර්යා යන නවකතා ද රචනා කළේය. පාඨකයන් ප්‍රිය කරන පරිවර්තන පළ කරන ඔහුගේ අලුත්ම පොත් කිහිපයක් පසුගිය කාලයේ නිකුත් විය. ඒ සුරස ප්‍රකාශන වශයෙනි. මේ දිලීප දේශය සමඟ සිය අදහස් දැක්වූ අයුරුයි.
ඔබේ අලුත්ම පරිවර්තනවලින් විවිධ සාහිත්‍ය පැතිකඩ කිහිපයක් නියෝජනය වෙනවා. ඒ පොත් ගැන විස්තර කළොත් ?
ඔව්.. 2020 වසරේදි මගේ අලුත්ම නිර්මාණ 4ක් එළි දැක්වුණා. ඒ හතර ඔබ අදහස් කළා වාගේම ශානර හතරක් නියෝජනය කරනවා. එයින් මම ප්‍රධාන කොට සලකන්න කැමතියි ඩනුෂියා ස්ටොක් නම් ලේඛිකාව විසින් සංස්කරණය කළ, පෝලන්ත මහා සිනමාවේදියා වන ක්‍රිෂිෂ්ටොෆ් කිසලොව්ස්කිගේ සිනමා චාරිකාව අළලා "Kieslowski on Kieslowski” පොතේ පරිවර්තනය වන "විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්" පොත. එය අවුරුදු ගණනාවක් තිස්සේ වෙහෙසව කළ පරිවර්තනයක්. දෙවැන්න තමයි ජනප්‍රිය බටහිර ලේඛකයකු වන ඩීන් කූන්ට්ස්ගේ "Watchers” නම් පොත. එය මා පරිවර්තනය කළේ "මිෂන් අයින්ස්ටයින්" යන නමින්. පරීක්ෂණාගාරයක නිර්මාණය කළ සතකු සහ ගෝල්ඩන් රිට්‍රීවර් බල්ලකු වටා ආදරය, ත්‍රාසය, භීතිය මුසුවුණු කතාවක් ඒක. එය sceientific horror ගොඩට දාන්න පුළුවන්. තෙවැන්න එලිසබත් ලයාර්ඩ් නම් ලේඛිකාවගේ "A little piece of ground” පොත. ඒක මම පරිවර්තනය කරන්නේ "ෆ්‍රී කික්" නමින්. මෙයට පසුබිම් වෙන්නේ පලස්තීන සහ ඊශ්‍රායල් අරගලයට මැදි වුණු පලස්තීන යෞවනයන් පිරිසකගේ කතාවක්. ඒක political drama වගේ ක්ෂේත්‍රයක් කිට්ටුවෙන් යනවා. ඊළඟට මගේම කෙටිකතා සංග්‍රහයක් වූ "මේ බදාදනං බෑ" යන නිර්මාණය.
මේ හැම පරිවර්තනයකම වාගේ ඔබේ ටච් එක තිබෙන බව පාඨකයන් කියනවා. ඒක නිසා ඒ ඒ ලේඛකයන්ගේ භාෂා විලාසය යටපත් වෙනවා නේද?
ඔබ කියන දේ හරි. මේ හැම එකකම මගේ ටච් එක තියෙනවා තමයි. මගේ ඔය කියන ටච් එක තමයි "සරල අපේකම". සරල බව සහ එය අපේ කර ගැනීම මා අතින් සිදුවෙනවා. පාඨකයෙක් යම් පරිවර්තනයක් කියවන්නේ මුල් කෘතිය ලියූ ලේඛකයාගේ භාෂා විලාසය දැනගන්නටයි කියලා මම නම් හිතන්නේ නැහැ. එවැනි අදහසක් ඇත්නම් ඒ පාඨකයා කියවිය යුත්තේ මුල් කෘතිය බවයි මා සිතන්නේ. මගේ ඒ ලක්ෂණය මට ලැබෙන්නේ මා ඉතාමත් ප්‍රිය කරන, අපේ පූර්වාචාරීන් දෙදෙනෙක් වන ඒ.පී. ගුණරත්නයන් හා ඩී.බී. කුරුප්පු හරහා බවයි මා විශ්වාස කරන්නේ. ඇත්තටම ඔවුන්ගේ පරිවර්තනවල "අපේකම" වැහි වැහැලා. අනික මම විශ්වාස කරනවා සාහිත්‍යකරුවා කළ යුත්තේ එය විඳින්නාව ආනන්දයට පත් කිරීම බව. (ප්‍රඥාවට යෑම හෝ නොයෑම විඳින්නාගේ වගකීමක්. බුදු බණ අසා පවා නිවන් අවබෝධ කර නොගත් අය කොපමණද?
ඔබ සරල ත්‍රිලර්වලට වැඩි කැමැත්තක් දක්වන බවයි පේන්නේ. සිරිල් සී. පෙරේරා වැනි පර්වර්තකයන් සේ ගැඹුරු සාහිත්‍යය පරිවර්තනයට අදහසක් නැද්ද?
සිරිල් සී. පෙරේරා වැනි විශිෂ්ටයන් අසලකටවත් පැමිණීමට මට හැකිවේවි යැයි මම මොහොතකටවත් හිතන්නේ නැහැ. ඔවුන් "ලෙජන්ඩ්ස්ලා". ඔවුන් විශ්ව සාහිත්‍යයේ සම්භාවනීය කෘති පරිවර්තනය කළේ දැඩි ශික්ෂණයකින්. දැඩි ඉවසීමකින්. මා ඔබට මෙහි මුලින් පැවසුවා කිසලොව්ස්කිගේ පොත පරිවර්තනය කිරීමට මට වසර ගණනාවක් ගිය බව. ඉතින් ඔවුන් ඒ නිර්මාණ සඳහා කෙතරම් වෙහෙස වූවාදැයි මට සිතාගන්නට පුළුවන්. ඔබ සරල නිර්මාණවලට වඩා කැමතියි. මම පුද්ගලිකව සරල නිර්මාණවලට ඇලුම් කරනවා. නමුත් ඒ සරලකම තුළ සිටිමින්ම තරමක ගැඹුරු පරිවර්තන මා විසින් සිදුකොට තිබෙනවා. මිච් ඇල්බම්ගේ "Five people you meet in heven” (ඔබ එනතෙක් අපි බඹ ලොව) කෘතිය, ජුන් ඉචිරෝ තනසාකිගේ "The key” (හද දොර යතුරු), The red reble (රතු හිතුවක්කාරයා) සහ ඉහත කී කිසලොව්ස්කිගේ පොත එවැනි නිර්මාණ. ඒ වගේම නූතන පාඨකයාට සරිලන සම්භාව්‍ය කෘතියක් තෝරාගැනීමට අපහසුවීමත් මගෙන් එවැන්නක් නිර්මාණය නොවීමට හේතුවක්. තවදුරටත් පැහැදිලි කළොත් වත්මත් ඉංග්‍රීසි නවකතාවක් කියවූ විට "ආ.. මේකට නම් අපේ අය කැමති වේවි" කියලා අනුමානයක් කරන්න පුළුවන්. නමුත් සම්භාව්‍ය කෘති පිළිබඳව එවැනි දෙයක් හිතන්න මට අසීරුයි. කොටින්ම ඔය තරමක් ගැඹුරු ඒවා හැටියට මා හැඳින්වූ මගේ නිර්මාණ කිහිපයත් පාඨකයා එතරම් ආදරෙන් වැළඳගත් බවක් මා දකින්නේ නැහැ. මේ දේවල් නිසා මා එවැනි ගැඹුරු කාර්යයකට දැන්ම එළඹෙන එකක් නැහැ. නමුත් මගේ නිර්මාණ දිවියේ "මාස්ටර් පීස්" එකක් කිරීමේ පිපාසාව මට තිබෙනවා. "ජීවිතේටම එකක්. එපමණයි.! " එය ඔය ඔබ කියන සම්භාව්‍ය කෘතියක් වීමට බොහෝ ඉඩ තිබෙනවා.
ඔබ පාඨකයන්ට ගැඹුරු සාහිත්‍යය ළං කරනවා වෙනුවට ඉක්මනින් මාකට් වෙන බෙස්ට් සෙලිං පොත් පරිවර්තනය කරනවා කිව්වොත්?
මෙයත් ඔබේ කලින් ප්‍රශ්නයේම දිගුවක් හැටියටයි මා දකින්නේ. මුලින්ම කියන්න ඕනෑ මම ලියන්නේ ඇයි කියන එක ගැන. මම ලියන්නේ මම ලියන්න කැමති නිසා. ලිවීම මගේ පැෂන් එක නිසා. එතනදි මම කෘතීන් තෝරාගන්නෙ “බෙස්ට් සෙලිං" දර්ශක බලල නෙවෙයි. මම කියවලා මගේ හිතට වැදිච්ච පොත් තමයි මම පරිවර්තනයට තෝරාගන්නෙ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. තෝරාගත්තට පස්සෙ ඒවායේ විස්තර අන්තර්ජාලයෙන් බැලුවම, ඒවා "බෙස්ට් සෙලින්" ගණයේ ඒවා. කුමක් කරන්නද ඉතින්..? එහිදී ඔබේ ඔය චෝදනාව සාධාරණ යැයි කෙනකුට හිතන්න පුළුවන්. නමුත් මගේ හේතු දැක්වීම අනෙකක්. ඇත්තම කිව්වොත් දැන් මම පරිස්සම් වෙනවා එවැනි "බෙස්ට් සෙලින්" ඒවා නොකරන්න. මොකද දැන් සමහර ප්‍රකාශකයන් පුරුද්දක් හැටියට එවැනි "බෙස්ට් සෙලින්" පොත් හොයාගෙන, ඒවායේ ප්‍රකාශන අයිතිය (කොපි රයිට්ස්) තමන් සතුකර ගැනීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් අපි එවැන්නක් පරිවර්තනය කර හමාර වී වෙනත් ප්‍රකාශකයකු එක්ක එය ප්‍රකාශයට පත් කරන්න හැදුවාම, කලින් කී ප්‍රකාශකයන් කියනවා "ඕකට අපි රයිට්ස් අරගෙන තියෙන්නෙ. ඔයාලට ඕක කරන්න බෑ" කියලා. මේ හින්දා දැන් මම තීරණය කරලා තිබෙනවා ඔය කියන "බෙස්ට් සෙලින්" ඒවා නොකරන්න. ඒවා නැතුවට ලෝක පොත් සාගරය අනන්තයි. ඒවායින් පාඨක සිත් ඇද බැඳගන්නා පොත් හොයන්න අමාරු වෙන්නෙ නෑ. ඒ හින්දා ඉදිරියේදී ඔබට ඔය චෝදනාව මට එල්ල කරන්න බැරි වේවි.
ඔබ ස්වතන්ත්‍ර නවකතා සහ කෙටිකතා ලියා තිබෙනවා. නමුත් පරිවර්තන ලෝඩ් එක නිසා මේ නිර්මාණ හැකියාව ඔපමට්ටම් කර දිගටම නිර්මාණකරණයේ යෙදීමට කාලයක් නැහැ වගේ?
මේ කතාවෙ නම් ඇත්තක් තිබෙනවා. නමුත් දැන් මම කෙමෙන් ස්වතන්ත්‍රවලට වැඩියෙන් යොමුවෙන්නටයි බලාපොරොත්තුව. ඇත්තම කිව්වොත් ඉහත ප්‍රශ්නයේදී මම කියපු ප්‍රකාශකයන් "කොපි රයිට්ස්" ගබඩා කර ගැනීමේ ප්‍රවණතාවය මේ තීරණය ගන්න ප්‍රධාන හේතුවක්. මොකද කාලයක් වැය කරලා එය ප්‍රකාශයට පත් කරන්න ගියාම එවැනි ප්‍රශ්න මතු වුණාම එයට යෙදූ මුළු කාලයම අපතේ යන බවක් මට දැනෙනවා. එය නිරපරාදේ කාලය අපතේ යැවීමක්. ඒ නිසාම, ඉදිරියේදී වැඩි ඉඩක් ස්වතන්ත්‍ර නිර්මාණවලට ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා. එවිට එහි පූර්ණ බලධාරියා මමයි. නිර්මාණය මගෙයි. එයට කිසිවකුට අභියෝග කළ නොහැකියි. My car..my petrol..my journey.. ඉතින් ඉදිරියේදී පරිවර්තන "ලෝඩ්" නොව (එසේ "ලෝඩ්" බිහිවූවා යැයි සිතන්නේ නම්) “පීස්" ගාණට පරිවර්තන කෙරේවි.
මේ දිනවල මම මගේම කෘතියක් සහ පරිවර්තන දෙකක් කිරීමට සැලසුම් කරලා තියෙනවා. මගෙන් අපේ කොල්ලො කෙල්ලො නිතරම ඉල්ලුව දෙයක් තමයි ,”අයියෙ, ඔයත් චේතන්ගෙ ස්ටයිල් එකේ පොතකින් අපි ගැන කතා කරන්නකො.." කියල. අන්න ඒ ඉල්ලීම මෙවර මගේ ස්වතන්ත්‍ර කෘතිය හරහා සිදුවෙනවා. ඒක අපේ තරුණ පරපුරට පිදෙන්නක්. ඒ හැරෙන්නට Mary Higgins Clarke ගේ තවත් thriller එකක් පරිවර්තනය කෙරෙමින් තිබෙනවා. එයින් පසු චේතන්ගේ අලුත්ම කෘතිය වුණු "One Arranged Murder” පරිවර්තනය කරනවා. එය චේතන් ලෝලීන් මගෙන් බලාපොරොත්තු වන්නක්.
කුසුම්සිරි