2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

නිදහස් දිනයේ වෙනසක්?

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

සිරි ලංකාවේ නිදහස් දිනය පෙබරවාරි 4 වැනිදාය. එය සෑම වසරකදීම උත්සවාකාරයෙන් සමරනු ලැබේ. ඊට හේතුව එසේ නොකළහොත් සිරි ලාංකිකයනට, විශේෂයෙන්ම අප වැනි දේශප්‍රේමී සිංහලයනට ඒ දිනය අමතක වී යාමට ඉඩ ඇති බැවිනි. කොටිනායකව සිටි ප්‍රභාකරන් පැවසුවේ යැයි කියන අන්දමට සිංහලයාට ඕනෑම දෙයක් මතක හිටින්නේ සති කීපයකටය.

ඉහත දැක්වුණේ මෑතකදී මට කියැවීමට ලැබුණු අන්තර්ජාලික වර්ගයේ උපහාසයකි. මා පෞද්ගලිකව ඒ උපහාසයට කැමැති නැත. මා උපහාස රුසියකු බව දන්නා ඔබ ඒ ගැන පුදුමවීමටද ඉඩ ඇත. එහෙත් මහත් සේ උත්සාහ කොට ලේ බිඳක් හෝ නොහෙළා අප විසින් දිනාගත් නිදහස පිළිබඳව එසේ සිනාසීමට මා එකඟ නැත.

නිදහස නොලැබුණා නම් සිරි ලංකාව තවමත් යටත් විජිතයකි. එසේ නම් මේ රට තවමත් සිලෝන් මය. සමහරු කියන හැටියට සුද්දා දිගටම මේ රට කෙරුවා නම් හොඳය. ඒකා ගිය පසු අපට හරිහමං රේල් පාරක්වත් ඉදිකරගත නොහැකි විය. බලලෝභී ස්වදේශික ප්‍රධානීන් හා රජවරුන් පරාජය කොට හෝ මුළාකොට සිංහලේ එක්සේසත් කළේ සුද්දාය. අප සුද්දාට කෘතඥ විය යුතුය.

මේ කතාවලටද මා විරුද්ධය. අප ඉංග්‍රීසිනට අකෘතඥ යැයි කීමද සම්පූර්ණයෙන්ම වැරදිය. නිදහසින් පසු සිංහලය රාජ්‍ය භාෂාව වූ බව ඇත්තය. එහෙත් අපි තවමත් සිංහලයටද වඩා උඩින් තබා ඉංග්‍රීසියට සළකන්නෙමු. යටත් විජිත සමයේ මෙන්ම, තවමත් ඉංග්‍රීසි බැරිනම් ඉහළ සමාජයේ තැනක් ලැබෙන්නේ නැත. ඉංග්‍රීසි බැරිකම ලැජ්ජාවට කාරණයකි. සිංහල පමණක් දත්තෝ ලොකු ලොකු සභාවලදී මුළුගැන්නෙති. ඒ අතින් බලන කළ අප තරම් ඉංග්‍රීසියට කළගුණ සළකන ජාතියක් ලෝකයේම නැති තරම්ය.
මහා බ්‍රිතාන්‍යයේවත් නැති තරම් ඉංග්‍රීසි පංති ඇත්තේ සිරිලංකාවේ යැයි මගේ මිත්‍රයෙක් කීය. ඔහු බ්‍රිතාන්‍යයේ වසර විස්සක් සිට පැමිණියෙකි. මගේ දැනුමේ හැටියට නම් ඔහු සුද්දකු මෙන් ඉංග්‍රීසි කතා කරයි. එහෙත් ඉංග්‍රීසීන් තම ඉංග්‍රීසි උච්චාරණයට සිනාසුණු අවස්ථා තිබුණු බැව් ඔහු පැවසුවේ තරමක ලැජ්ජාවෙනි. අප කොතෙක් උත්සාහ කළත් පරබසක් පරයන්ගේ තරමටම කතා කළ නොහැකි බව කනගාටුවෙන් වුවත් පිළිගත යුතු සත්‍යයකි.

නිදහසින් පසු අපි සුද්දාගේ කෝට්, කලිසම්, ටොප් හැට් පසෙක දමා ජාතික ඇඳුමකට බැස්සෙමු. එහෙත් ක්‍රම ක්‍රමයෙන් එය අතැර දමා යළි කලිසම්, කමිස අඳින්නට ගත්තේද ඉංග්‍රීසිකාරයාට කෘතඥ වනු පිණිස යැයි සිතමි. සිරි ලංකාවේ උසස්ම ජාතිමාමක පුද්ගලයන් සිටින්නේ පාර්ලිමේන්තුවේ වන බැවින් ඔවුන් පමණක් අර්ධ - ජාතික ඇඳුමක් නිර්මාණය කරගෙන තිබේ. ඒ ඇඳුමේ උඩ කොටස ජාතිකය. යට කොටස විජාතිකය. එයද නිදහස් ජාතික චින්තනයේ ප්‍රතිඵලයක් ලෙස අගය කරමි. (සමහරු නම්, එය මැති-ඇමැති නිල ඇඳුම යැයි සරදමට ලක් කරති)

ඇතැම් ජාතීන් මෙන් නිදහස ලැබීමු යැයි අප ඔළුව උදුම්මා ගත්තේ නැත. එක් අවස්ථාවක එංගලන්තයේ මහරුජින සිරිලංකාවට කැඳවා රට පුරා ගෙන යමින් ගරු බුහුමන් දැක්වීමට එකල රට කළ ජනාධිපති උතුමාණන් වහන්සේට අවශ්‍ය වූයේද එහෙයිනි. රටක් නම්, රජෙක් සිටිය යුතුය. රජෙක් නැත්නම් කාගේ හෝ රුජිනක් (මී මැසි රුජිනක් නොවේ) හෝ අවශ්‍යය. එදා මෙහි සපැමිණි එළිසබෙත් නම් මහලු රුජින ආපසු සිය රට යන්නට ඇත්තේ සිරි ලංකාව තවමත් තම යටත් විජිතයකැයි සිතමිනි. අප ඒ තරමටම කෙළෙහි ගුණ දත් ජාතියකි.

ලෝක සිතියමේදී කුඩා දූපතක් වුවද ලොකෙන් උතුම් රට සිරි ලංකාව බව අපට උගන්වා තිබුණි. අවුරුදු දෙදහස් පන්සියයකටත් වඩා දිග ඉතිහාසයක් තිබුණේ අපටය. (නැතිනම් තවත් රටවල් කීපයකටය. මහ ලොකු අමෙරිකාවටවත් ඔස්ට්‍රේලියාවටවත් ඒ තරම් ඉතිහාසයක් නැත.) එහෙත් අපි ඔළුව උදුම්මා ගත්තේ නැත. හැමවිටම යටහපත් පහත්, කීකරු, නිහතමානී, අහිංසක ජාතියක් ලෙස අපේ විදේශ ප්‍රතිපත්තිය ගෙන ගියෙමු. අපගේ ව්‍යවස්ථාව පවා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී යනාදී යෙදුම් එක්වූයේ එහෙයිනි. (සමහරවිට අනෙකුත් රටවල අවශ්‍යතාව මත ඒකාධිපති යන්න පවා අපගේ ජනරජ නාමය අලංකාර කිරීමට එක්විය හැකිය.)

අනික් අතට එකී නම්‍යශීලී විදේශ ප්‍රතිපත්තිය නිසාම අපි ඇල්පෙනෙත්තියේ සිටම (ජාතික කොඩිය පවා) පිටරටින් ගෙන්වීමට කටයුතු කළෙමු. ලෝක බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහයෝගයක් වශයෙන් ණය පිට ණය ගත්තෙමු. විදෙස් අතහිත ඇතිව මහා පරිමාණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළෙමු. අධිවේගී මාර්ග ඉදිකළෙමු. මේ හැමදෙයම අපට බැරි නිසා නොවේ. විදේශ හිතෛෂීභාවය නිසාය. සාමයට කැමැති හාල්මැස්සා අවසානයේ නවතින්නේ තෝරාගේ හෝ මෝරාගේ බඩේ බව අප නොදන්නවා නොවේ. එහෙත් නිදහස ලැබූ දා සිටම අපි අපේ දියුණුවට වඩා අනුන්ගේ දියුණුව හා සුබසෙත උදෙසා ඇප කැපවීමු. නිදහස ලබා අවුරුදු විසිපහක් ගතවෙද්දීත් මැදපෙරදිග හා තවත් රටවල ගෘහ සේවය සඳහා අපි අපේ දිළිඳු අහිංසක කාන්තාවන් යවන්නේ අප තුළ ඇති ඒ මනුස්සකම නිසාමය. කරුණු මෙසේ තිබියදීත් සමහර ජාති භ්‍රෂ්ටයෝ අපේ නිදහස විහිළුවට ගනිති. එවැන්නකුගේ අන්තර් ජාලික විහිළුවකි මේ.

සිරි ලංකාවේ නිදහස් දිනය වෙනස් විය යුතුය. අප රටක් වශයෙන්ද ජාතීන් වශයෙන්ද එක ධජයක් යටතේ එක්සත් වූයේ මීට වසර 25කට පෙර ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත් මාර්තු 17 වෙනිදාය. ඒ හැරුණු විට නිදහසින් පසු අප ලබාගත් කිසිදු වැදගත් ජාතික ජයග්‍රහණයක් නැත. අවශ්‍ය නම් යුද ජයග්‍රහණය කළ දිනයද යොදාගත හැකිය. එහෙත් එවිට නැවතත් ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසීන්ගේ බෙදා පාලනය කිරීම (Divide and rule) නූල් සූත්තරමය. (මේ ජාතියේ විහිළුවලට මා කැමැති නැති බව යළිත් කිව යුතුමය.)

 කපිල කුමාර කාලිංග