2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

වියරණ නොදැන ලිවීමෙන් බස මෙන්ම රටත් වැනසෙනවා

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

- ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන

මාතර හක්මන උපන් දෙනගම සිරිවර්ධන කවුරුත් හඳුනන්නේ ප්‍රවීණ ලේඛකයෙක් වශයෙනි. ගුරු වෘත්තියේ යෙදුණු ඔහු එම අත්දැකීම්ද තම ලේඛනයට යොදාගත්තේය. පසුව ගුරු වෘත්තියෙන් අස්වී පුවත්පත් කලාවට එක්වන්නේය. ඔහු නවකතා, යොවුන් නවකතා, චරිත කතා රාශියක් ලියා ඇති අතර ලියූ මුළු පොත් සංඛ්‍යාව 173කි. ඒ අතරින් යොවුන් නවකතාවලට රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමි වී තිබේ.

• ඔබේ ලේඛක ජීවිතය දෙස ආපසු හැරී බැලූවිට ඔබට සතුටු විය හැකිද?

ලේඛකයකුට අති විශාල සමාජ වගකීමක් පැවරී තිබෙනවා. ඒ වගකීම නිසි අයුරින් ඉටුවූයේ නම් සමාජය යහපත් වෙනසකට හැරෙනවා. එය ඉටු නොවුවහොත් ඒ ලේඛකයාට සිය ජීවිතය දෙස ආපසු හැරී බලා සතුටු විය නොහැකියි’
මා සාහිත්‍ය කලාවට පිවිසුනේ ගැටවර වියේදී. මගේ මුල්ම නිර්මාණය මලක මඟුල මලක් පිපීම මුල්කොට අවට පරිසරය වෙනස්වන හැටි, සොබාදහමේ මිහිර එයින් දැක්වුණා. ඒ වගේ නිර්මාණ තමයි ඒ යුගයේ බිහිවුණේ. දිගටම එබඳු නිර්මාණ, කෙටිකතා, කවි, පුවත්පත්වල පළකළා. එහිදී කිසිදු සමාජ වගකීමක් පිළිබඳ හැඟීමක් මට තිබුණේ නැහැ.

කල්පනා ලෝකය තුළ නිදහසේ පියාඹමින් ඔහේ ලිව්වා. මා අවට ජිවත්වන මිනිසුන් ගැන, ඔවුන්ගේ දුක ගැන මට පෙනුණේ නැහැ. අඩුගානේ මට මගේ මාපියන් විඳින දුකවත් පෙනුනේ නැහැ.

• මේ තත්ත්වය වෙනස් වුණේ කොහොමද?

මෙබඳු කලෙක මට ප්‍රකට ලේඛකයකු සහ විචාරකයකුත් වන එස්.ජී. පුංචිහේවා මහතා හමුවුණා. එතුමා අපේ ගමට ආවා. ගමේ ජීවිතය මට පෙන්වා දුන්නා. මා උපන් සමාජය ගැන මටම කියාදුන්නා. &ඔබ ලියන්නේ ඔබේ ලෝකයෙන් පිට වෙන මොනවාදෝ මනස්ගාත.* ඔහු මට කෙළින්ම කීවා. මා උඩ ගොස් බිම වැටුණා.

ගමේ වැඩිදෙනා දුප්පත්. පොහොසත්තු තුන් හතර දෙනයි. ඔවුන්ට ගමේ ඉඩම් විශාල ප්‍රමාණයක් අයත්යි. පුංචි ඉඩම් කැබලිවල ජීවත්වන අපේ නෑදෑයෝ වැටමායිමට රණ්ඩු වුණා. කුලී වැඩ සොයාගෙන ඈත පළාත්වලට ගියා.
ලියන්න දේවල් ගැන අමුතුවෙන් හිතන්න ඕන නැහැ. දෙනගමගේ ගමේම කොපමණ අමුද්‍රව්‍ය තියෙනවද? පුංචිහේවා මහතා ඇසුවා. ඉන්පසු මා දිගට දිගටම කෙටිකතා, කවි, නවකතා, චරිත කතා, දර්ශන, යොවුන් කතා ලියන්න පටන් ගත්තා. පොත් එකසිය හැත්තෑ පහක් පමණ ලියැවුණා. මා හිතනවා ඒවායින් වැඩිහරියක් සමාජ වගකීම ඉටුකිරීමට ලියූ ඒවා.

• දයාසේන ගුණසිංහයන්ගේ ජීවිත කතාව මෑතකදී ඔබ පොදු ජනතාවගේ පත්තරකාරයා නමින් ලියා පළකළා. එවැන්නක් කිරීමට ඔබට සිතුනේ ඇයි?

මා දුටු විශිෂ්ටතම පොදු ජනයාගේ පත්තරකාරයා ඔහු. විශිෂ්ට පත්තරකාරයන් ඉන්නවා. එහෙත් පොදු ජනයාගේ පත්තරකාරයකු වශයෙන් ගුණසිංහ මහතාට ළං කළ හැකි කෙනෙකු ගැන මට සිත්නනට බැහැ.

ඔහු මුළුමනින්ම කැපවුණේ ජනතාව වෙනුවෙන්. ළමා වියේදී ඔහු වතුකම්කරු දරුවන් ඇසුරු කළා. ලැයින් කාමරවල ජීවිත ඔහු දුටුවා. වතුහිමියන් තර වනු, කම්කරුවන් කෘෂ වනු ඔහු දුටුවා. ඒ දැක්ම ඔහු තුළ ඇතිකළේ දැඩි කම්පාවක්.

• ඔහුගේ ජීවිතයේ විශේෂ සිද්ධීන් ගැන කිව්වොත්?

1947 මහ ගංවතුර දිනවල ඔහු කළු ගඟට පැන දැරියක බේරාගත්තා. එවිට ඔහුගේ වයස අවුරුදු 11යි. ළමා වියේදීත් ඔහු ජනතාව වෙනුවෙන් කැපවෙන චරිතයක් බව ඔප්පු කළා. ඔහු මුලින්ම ලේක්හවුස් ආයතනයට බැඳුණු දවසේ සිතුවේ කෙදිනක හෝ ජනතාවගේ වේදිකාවක් බවට පත්වන පුවත්පතක් බිහිකරන බවයි.
ලේක්හවුසියේදීද ඔහු ඒ සඳහා වැර දැරුවා. ඒ නිසාම ඔහු පත්තරයෙන් පත්තරයට මාරු කළා. තමාට ලැබෙන හැම පත්තරයකම අලෙවිය වැඩි කරමින් ජනප්‍රිය කරමින් ඔහු සේවය කළා.

ඔහු කැමැති පරිදි අතපය විහිදුවා නිදහසේ වැඩ කිරීමට ජනතාවගේ වේදිකාව ඉදිකිරීමට ඔහුට 1981 ඔක්තෝබර් මාසයේදී හැකිවුණා. ඒ දිවයින ඉරිදා සංග්‍රහය ඇරඹීමෙන්. මුල්ම කතුවැකියෙන් එතුමා පත්තරකාරයකු වශයෙන් සිටින්නේ පොදුජනයාගේ පිලේ බව ප්‍රසිද්ධියේ කීවා.

• එදා සහ අද පුවත්පත් කලාවේදී ඇතිව ඇති වෙනස ඔබ දකින්නේ කෙසේද?

එදා පැය ගණන් වෙහෙසී සොයාගත් පුවත්, ලිපි සඳහා තොරතුරු අද මිනිත්තු දෙකතුනෙන් අන්තර්ජාලයෙන් සොයාගන්නවා. ලිවීමට තොරතුරු සෙවීම ඉතා පහසුයි. ප්‍රාදේශීය තොරතුරු සෙවීමද සන්නිවේදන සේවා නිසා පහසු වී තිබෙනවා.
එහෙත් අද අපි පුවත්පතකින් පළකරන පුවත ඊයේ රූපවාහිනිය හෝ සමාජ ජාලයේ හෝ ප්‍රචාරය වෙනවා. පුවත්පතේ පුවත පිළුණු වූ එකක්. ඒ පිළුණු බව අමතක වන සේ නැවුම් බවකින් ඉදිරිපත් කළ හැකි ලේඛකයන් සිටිනවා නම් ඒ ඉතා අඩුවෙන්. ඒ සඳහා ආකර්ෂණීය ලෙස භාෂාව යොදාගත යුතුයි.

භාෂා දැනුමට, නිර්මාණ කුසලතාවයට තැන දුන් විභාග ක්‍රමයක් මගිනුයි පෙර පුවත්පත්වල කර්තෘ මණ්ඩලවලට බඳවා ගන්නේ. ඒ සඳහා  ඉංග්‍රීසි, සිංහල ලේඛන දැනුමද අවශ්‍ය වුණා. අද එහෙම විභාග නැහැ. කර්තෘ මණ්ඩල පුටුවල සිටියේ බහුශ්‍රුත පඬිවරු. ඔවුන් නවකයන්ට ලියන හැටි කියා දුන්නා. එකම ලිපිය තුන් හතර පාර ලියෙව්වා.

• අද ලේඛන කලාවට විශාල පිරිසක් පිවිසෙනවා. වැඩි දෙනෙකුට භාෂාව පිළිබඳ දැනුමක් නැහැ.

ශිෂ්ට සම්මත සමාජය විනයගරුකයි. යහපත් පැවැත්මට උසස් විනයක් අවශ්‍යයි. භාෂාවේ පැවැත්මට විනය තමයි වියරණය. සිංහල ලේඛකයකු වීමට ගැඹුරු වියරණ දැනුමක් අවශ්‍ය නැහැ. විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අපහසු වූයේ නම් මූලික වියරණ නීතිරීති ටික හොඳින් දැනගත හැකියි. හොඳ ලේඛකයන්ගේ පොත් කියවා වියරණය හුරුවිය හැකියි. පාරේ වාහන පැදවීමේ නීතිරීති නොදැන වාහනයක සුක්කානම අතට ගත්තාක් මෙන් වියරණ නොදැන ලියන්නට යාම භාෂාවටත්, ජාතියටත්, හානියක්.
දියුණු රටවල පොත් ප්‍රකාශනයේදී සමාගම් පොත් සංස්කාරක නම් විශේෂ කණ්ඩායම් යොදවනවා. වියරණ නීති රීති අනුව පොතෙහි භාෂාව සකසනවා. ලේඛකයා අඩු වියරණ දැනුමක් ඇත්තකු වුවද ඒ අඩුව සංස්කරණ නිසා වැසී යනවා. ලංකාවේ ප්‍රධාන පොත්හල් කීපයක කලකට පෙර එවැනි වැඩපිළිවෙළක් තිබුණා. අලව් ඉසි සැබිහෙළ, ලයනල් ලොකුලියන වැනි මහතුන් සෝදුපත් බලා පොත්වල භාෂාව සකස් කළා. අද එබඳු වැඩ පිළිවෙළවල් පේන්නත් නැහැ.

• මුහුණු පොතේ පළවන නිර්මාණ පොත් වශයෙන් පළකිරීමට සමහර පිරිස් පෙළඹිලා. එය භාෂාවට හානියක් නොවේද?

මුහුණු පොතේ පළවුණද එය උසස් නිර්මාණයක් නම් පොතක් වශයෙන් පළකළාට භාෂාවට ගැටලුවක් නැහැ. පුවත්පත්වල කොටස් වශයෙන් පළවන නවකතා පවා ඕනෑ තරම් පොත් වශයෙන් මුද්‍රණය කෙරෙනවා. ඒවාත් කලාත්මක හා උසස් නිර්මාණ නම් ඒවා සාහිත්‍යය පෝෂණය කරනවා.

මුහුණු පොතේ යම් නිර්මාණයක් පළ වූ විට එය ලියූ කෙනාගේ හිතවතුන් අදහස් පළකරමින් එය ඉහළ යවනවා. ඒවා එකතු කර පොතක් කරන්න යයි යෝජනා කරනවා. පොත පළ කරනවා. ඉතින් එය උසස් මට්ටමක පවතීදැයි විචාර බුද්ධියක් ඇති අයගෙන් විමසා නොබැලිමේ වරදට හසුවෙනවා. පුවත්පත්වල කොටස් වශයෙන් පළකෙරෙන නවකතාද බොහෝවිට දුබලයි. විශිෂ්ට නිර්මාණත් පුවත්පත් සඟරා හරහා මතුවී තිබෙනවා. රුසියානු ගත්කරු ඩොස්ටොව්ස්කිගේ අපරාධය හා දඬුවම මුලින්ම සතිපතා සඟරාවක කොටස් වශයෙන් පළවූවක්.

• ඔබ තරුණ වියේ මාක්ස්වාදියෙක්. නමුත් මෑතක සිට බෞද්ධ පොත් විශාල ප්‍රමාණයක් ලියා තිබෙනවා.

මම හිතනවා බෞද්ධයකුටත් ඉතා පහසුවෙන් තේරුම් යන දේශපාලනය සමාජවාදයයි. සමාජවාදියකුට ඉතා පහසුවෙන් ළංවිය හැක්කේ බුදුදහමටයි. ඒ දෙකම තනන්නේ උතුම් මිනිසුන්. මා 2000 වර්ෂයේදී සූත්‍ර පිටකය කියවීමට පටන් ගත්තා. එහි රසයෙන් සිත පිරුණා. ඒ රසය කැටිකොට බෝසත් කතා නමින් පොත් 112ක් පමණ මේ වනවිට ලියා තිබෙනවා.

 කුසුම්සිරි