2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

බර්ටි - සයිබර් අවකාශයේ කෙටිකතා පරිවර්තනයක්

2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00101

දේ. වි. ගාල්ලගේ, කලක සිට අන්තර්ජාලය පීරමින් නව සාහිත්‍ය ධාරාවන් පාඨක ප‍්‍රජාවට තිළිණ කිරීමට කැප වී සිටින ලේඛකයෙකි. මේ වනවිට කෙටිකතා කෘති දෙකක් හා පද්‍ය සංග‍්‍රහයක්ද දේවි අතින් සිංහලට නැගී තිබේ. මුල් කෙටිකතා සංග‍්‍රහය ඇස් ගැසිල්ලෙන් පසු නමින් 2016 දී නිකුත් විය. අප විමසුමට ලක්වන බර්ටි නම් මේ කෘතිය ඔහුගේ දෙවන පරිවර්තනයයි. මෙය 2020දී පළ විණ. 2018 වසරේ ප‍්‍රකාශිත මගේ සිහින යාය සයිබර් කවි එකතුව රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයටද නිර්දේශ වූයේය.

බර්ටි කතා එකතුව මගින් දේවි අපට සයිබර් අඩවියේ පළ වන නවතම කෙටිකතා  රුසක් හඳුන්වා දෙයි. ඔහුගේ මෙම සාහිත ප‍්‍රයත්නයේ වැදගත් ලක්ෂණය වනුයේ එම කෙටිකතා පමණක් නොව ඒවායේ රචකයන්ද නවීනයන් වීමය. පරිවර්තක විසින් කරනු ලැබ ඇති කෙටි හැඳින්වීමේදී මෙම කතාකරුවන් සැවොම පාහේ නව පරපුරට අයත් වූවන්  සේම නැවුම් සාහිත්‍ය ධාරා තැනීමේ නිමග්නව සිටිනවුන් බවද පැහැදිලි වේ. එබැවින් සිය ප‍්‍රයත්නය ඔස්සේ ලෝක කෙටිකතා කලාවේ නව ප‍්‍රවණතා හඳුන්වා දීමට  දේ. වි. ගාල්ලගේ කටයුතු කර තිබීම පාඨක සමාජයේ මතු නොව කෙටිකතා රචනයේ නිරතව සිටින්නන්ගේද අමන්දානන්දයට හේතු වනු ඇත.

දේවිගේ අලුත් පරිවර්තන සංග‍්‍රහයේදී අපට හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් වන්නේ සයිබර් අවකාශ්‍ය පරිහරණය කිරීමෙහිලා තවමත් පෙරමුණ ගෙන සිටිනුයේ බටහිර ලේඛක ලේඛිකාවන් බවය. මෙහි අන්තර්ගත කතා අතරින් 6ක්ම ඇමරිකානුවන්ගේ නිර්මාණ වන අතර 3ක් එංගලන්තයට අයත් වේ. එක් කතාවක් ඉන්දියානු ලේඛකයකුගේ කතා සංග‍්‍රයකින් උපුටා ගෙන තිබේ. නවීන තාක්ෂණය මෙන්ම සන්නිවේදන මෙවලම් භාවිතය අතින් අප රටද ඇතුළු ආසියානු කලාපයේ සාහිත්‍යකරුවන් කිසියම් පසුබෑමකට ලක්ව සිටිනා අයුරක්ද මෙමගින් ගම්‍ය වේ. එසේත් නොමැතිනම් සයිබර් අවකාශයේ  පළ වන ආසියානු කලාපීය කතා පරිවර්තනය කිරීමට තරම් උචිත ඒවා නොවෙතිය යන නිගමනයට එළඹීමට සිදු වේ.

කෙසේ වෙතත් දේවිගේ නවතම පරිවර්තන කතා එකතුවේ ලාංකික ලේඛක, පාඨක  ප‍්‍රජාවට කිසියම් සාහිත්‍යමය ආස්වාදයක් සපයන නිර්මාණ කිහිපයක්ම සංගෘහිතව පවතින බව පැවසිය යුතුය. රතු, කහ සහ දම් නමින් එහි දෙවනුවට එන කෙටිකතාව බර්ටි කතා එකතුවේ මා සිත් ගත් කතා කිහිපය අතරින් එකකි. බ්‍රිතාන්‍යයේ බී.බී.සී. ගුවන් විදුලි සේවයේ  මාධ්‍යවේදිනියක වන ඇන්ඩ්‍රියා ස්මිත් විසින් රචිත මේ කතාව වඩාත් මා සිත් ගත්තේ වර්තමානයේ අප රටේ මහත් සංවාදයකට ලක්ව තිබෙන කැකිල්ලේ කොමිෂන් ආදි යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාදාමයන් වෙතද මෙම කතාව  මගින් ආලෝක ධාරාවක් එල්ල කරන බැවිනි. දේවි මෙම කෙටිකතාවේ සන්දර්භයත් යටිපෙළත් මනාව වටහාගෙන අද අප රටේ පවතින සමාජ යථාර්ථය සමඟ ගලප්පා ඇති සෙයක් පෙනේ. 

සමාජ අපචාරයට පත්වන හිරිමල් යොවුන් වියේ පසුවන කොලු ගැටයින් දෙදෙනකු වටා මේ කතාව ගොඩනැගී තිබේ. යෞවනයන් මුලා කොට සිය කාමුක අවැසිතාවන් සපුරා ගන්නා මිනිසකු ඔහුට ගොදුරු වන ළාබාල යොවුනකු විසින් ඝාතනය කෙරෙයි. එහෙත් අධිකරණය විසින් දඬුවම් පමුණුවනු ලබන්නේ ඝාතනය සිදු කළ යෞවනයාට නොව කාත් කවුරුත් නැති ඔහුගේ අතිජාත මිත‍්‍රයාටය. මේ නිර්මාණයේදී ලේඛිකා ඇන්ඩි‍්‍රයා විසින් පාඨක හෘදය සාක්ෂිය හමුවේ බරපතළ පැනයක් මතු කරනු ලබයි. එනම් දේපළවල හා නීතියේ ආධිපත්‍ය උසුලන පංතිය විසින් යුක්තිය පසිඳලීමේ අභිමානවත්  වදන් දෙක දඩමීමා කරගෙන ඉතිහාසය පුරා සිදුකර ඇත්තේ සමාජයේ යටි පතුලේ රුඳී සිටින අසරණයන් දරුණු අපරාධකරුවන්ගේ හා ම්ලේච්ඡයන්ගේ ලැයිස්තුවලට ඇතුළත් කර විනාශ කර දැමීම පමණක් බවකි.

සංගීතය එන්නේ කොහි සිටද සංගීතය ගොස් ඇත්තේ කොතැනටද? මේ දිගු තේමාව යටතේ එන කෙටිකතාවද මසිත කැළඹූ අපූරු නිර්මාණයකි. මේ කතාව තේමාත්මක වශයෙන් මෙන්ම අන්තර්ගතය වශයෙන්ද  ඉහත සාකච්ඡා කළ රතු, කහ සහ දම් නම් කතාවට හාත්පසින්ම වෙනස්ය. අප මිත‍්‍ර දේවි කතා තෝරාගැනීමේදී පෙන්නුම් කරන පරිචය පිළිබඳ කදිම සාධකයක් වශයෙන්ද මේ කෙටිකතාව හඳුන්වනු කැමැත්තෙමි. මේ කතාව ලියන එලෙන් චූ නම් තරුණ ලේඛිකාව ගැනද වචනයක් ලිවිය යුතුය. මැලේසියාවේ ඉපිද අමරිකාවේ  අධ්‍යාපනය ලබා වත්මන සිංගප්පූරුවේ ජීවත් වන  ඇය මේ කෙටිකතාව මගින් අමතනු ලබන්නේ අපගේ අධ්‍යාත්මයටද යන පැනය කතාව කියවා නිම වූ සැණින් ම’සිත මගෙන් විමසා සිටියේය. 

දේ. වි. ගාල්ලගේ නම් ලේඛකයා හා පරිවර්තකයා තම පැසුණු බව පෙන්නුම් කළ තවත් කදිම අවස්ථාවක් ලෙස මෙම කෙටිකතාව මම දකිමි. සැබවවින්ම මෙය හෘදයංගම නිර්මාණයකි. මතුපිටින් බලන කළ මෙහිදී අපට දැකිය හැක්කේ අතිශය පුද්ගල කේන්ද්‍රීය කතා පුවතකි. එසේ වුව මේ තරුණ කතුවරිය එම පුද්ගලානුභූතිය සමාජ කේන්ද්‍රය වෙත රුගෙන යන්නේ නිර්මාණශීලී රචිකාවියකු සතු දැඩි සංයමය පරිකල්පනීය රචනා විලාසය ඔස්සේය. ගැහැණියක යනු මඳ පවනකිනුදු සසල වන නමුදු මාරුතයක් හමුවේ වුව නොබිඳී සිටින ලතාවක් බඳු යයි කිසියම් දාර්ශනිකයකු විසින් පැවසුණ රුවන් වැකිය මේ කතාව කියවා අවසන් වනවිට මා මතකයට නැඟුණේ නිරායාසයෙනි. මෙහි එන සංගීතවේදිනිය සංගීතය නම් පුළුල් අවකාශය තුළ කිරිල්ලියක මෙන් නිදහසේ සැරිසැරුවද තම රෝගී සැමියා හමුවේ සාම්ප‍්‍රදායික කුලවමියක් වන ආකාරය එලෙන් චූ ලේඛිකාව සිතුවමට නගනුයේ අප සිත්සතන් සසල කරවමිනි.

ග‍්‍රන්ථනාමයද රුගත් බර්ටි ද නූතන තාක්ෂණික මෙවලම් මත යැපෙන්නට සැරසෙන මිනිස් පරපුර චෛතසික අභ්‍යාසයකට පොලඹවනසුලු රචනයකි. විද්‍යාත්මක ජයග‍්‍රහණයන් සැමවිටම මානව සංහතියේ භෞතික ජීවිතය සැපවත් කළද ආධ්‍යාත්මික වශයෙන් ශුන්‍යත්වයක් කරා ඇදගෙන යන ආකාරය මේ කතාවෙන් කදිමට චිත‍්‍රණය කෙරේ. මෙයද ලෝක බලවතා ලෙස නම් දරන ඇමරිකානු දේශය නියෝජනය කරන ලේඛක ජොන් ලැන්ග්ෆර්ඩ්ගේ නිර්මාණයකි. රොබෝවකුට කෙමෙන් වසඟ වන තම බිරිඳ හමුවේ අසරණ වන සැමියකු දෙස හෙලූ සානුකම්පිත බැල්මක් හැටියටද මේ කතාව අර්ථ දැක්විය හැකිය. මතු දවසකදී හැඟීම්-දැනීම් සහිත රොබෝ පරපුරක් බිහි වී මිනිස් ලෝකය උඩු යටිකුරු කරනු ඇතැයි යන උත්ප‍්‍රාසවත් කියමනද යටි පෙළ ඔස්සේ සිහින් හුයක් මෙන් දිවෙන ආකාරයක් කතාව අවසානයේ දිස් වේ.

ඉහත විමසුමට ලක් වූ කතා කිහිපයට අමතරව මතක අස්වැන්න, අලුත් ආගම, යටිබිම, ජීවිතයේ ආපස්සට, කෝරා, ආගන්තුකයන් හා ජපන් බිරිඳ ආදි කතා පෙළක්ද දේවිගේ නවතම පරිවර්තන කෘතිය වන බර්ටිහි දක්නට ලැබේ. අලුත් ලේඛකයන් පිරිසක්ද සමග ලෝක සාහිත්‍යයට අලුතින් එකතු වන කෙටිකතා රැසක් රස විඳින්නට අවකාශ සලසන බර්ටි කෘතිය පාඨක-විචාරක අවධානයට ලක්විය යුතු සාහිත ව්‍යායාමක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

කමල් පෙරේරා

 

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00