දෙවියන් වහන්සේගේ දවස අදය. සබත් දවසද එයයි. ශුද්ධ වූ දවසද එයමයි. ඒ දවස ඉරු දිනයයි. නමුත් ඒ දවස අපට සුවිශේෂී වූයේ ඒ දවස අප මීගමුව පීරූ දවස වූ හෙයිනි. උදය දහයේ කනිසම වැදී අඩහෝරාවකට පසු අපි ඉරුදින මීගමුවේ අසිරිය දකින විඳින පරමාර්ථයෙන් ගමන ඇරඹීමු. ඊට හේතුවක් තිබේ. සඳුදා සිට සෙනසුරාදා තෙක් මුහුදු යන, මාළු කරෝල සමඟ අව් කාටකේ හරඹ කරන මීගමුවාසී බහුතර ජනතාව මෙන්ම මීගමුවාසී සියලුම ජනතාව පාහේ පල්ලි ගොස් හොඳින් කා බී සප්පායම් වෙන, සරලවම කියතොත් තෙලට මිරිසට කා බී කට්ටිය සෙට්වෙන දවස, ගිමි හරිමින් ජීවිතය විඳින්නට සොයාගන්නා පැය විසිහතර සති අන්ත ඉරිදාව වන නිසාය.
ඉරිදාට මීගමුවේ ඒ සංස්කෘතික ජීවිතයේ හැඩරුව සොයන රිසියක් අපටද ඇතිවිය.
මෙයට පෙර එක් වරක් පැමිණ තිබූ නිසා එදා තරම් අද කලබලයක් නැති වග නගරයට සේන්දු වන මුල් මොහොතේම දැනිණ. එහෙත් කලබලයෙන් ගොනා බැඳි කරත්තයක දර පටවාගෙන දර කෑල්ලක් තරම් කෙසඟ කළු ශරීරයත් ඇති මිනිසා ගොනා දක්කාගෙන යයි. ඒ මීගමුවේදී පළමුවෙන්ම නෙත නතර වූ තැනය. කලබලය ඇත්තේ මිනිසාටද ගොනාටද නිශ්චය කිරීමට තරම් නිනව්වක් නොතිබුණත් එතැන මොකක්දෝ කලබලයක් නම් පැවතිණි.
කරත්තකරැගෙන් වගතුග විමසන්නට සිත් වුවත් කරත්තකරු හා දොඩමළු වීමට නොහැකි වූයේ හීයකට වඩා වේගයෙන් කරත්තකරු ගොනා දක්කාගෙන ගිය බැවිනි. මීගමුවට පුංචි රෝමය නම් අන්වර්ථ නමක් පටබැඳී ඇත්තේ මීගමුවේ වෙසෙන ජනතාවගෙන් වැඩි පිරිසක් කතෝලික බැතිමතුන් වන බැවිනි. ඉරිදා උදෑසන දේව මෙහෙයට, සැන්ඳෑ දේව මෙහෙයට පල්ලියට නොයන කෙනෙක් මීගමුවෙන් සොයාගැනීම දුෂ්කරයැයි සිතෙන්නේ මුහුද හා බැඳි සම්ප්‍රදායන් ගරුකොටගත් ඒ බහුතර ජීවිත අධ්‍යාත්මයෙන්ම දෙවියන් හා බැඳී සිටින බැවිනි. පල්ලියට යා යුතුය. රැකියාවල් අත්හළ යුතුය. නෑදෑයන් එකතු විය යුතුය. ක්‍රීඩා කළ යුතුය. කෑ යුතුය. බී යුතුය. ජීවිතය ගැන, රස්සාව ගැන සෙනසුරාදා තෙක් ගොඩගැසුණු බොහෝ දේ ගැන කතා කළ යුතුය. ඒ ඉරිදාවේ හැඩරුවය.
මහ මඟ මිනිසුන් නොහඳුනන නමුත් කතා කර මෙම මොහොතේ හඳුනාගත් කීපදෙනෙකුගේ මඟ දැක්වීම මත වැල්ල වීදියට අපි පැමිණියෙමු. එහිදී විශාලතම හා ප්‍රදේශයේ ප්‍රධාන පල්ලිය වන ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර වෙරළට ආසන්නව පරිසරයේ පිහිටා තිබුණි. සියලුම වැඩ කටයුතු ඇරඹිණ. ආගමික වතාවත් ඉටුකිරීම හෙවත් ආගමට මුල්තැන දෙන පුරුදු නිසා අපද මෙම දෙව් මැඳුරේ ප්‍රධාන පියතුමා මුණගැසී ආශීර්වාද ලබාගත්තෙමු.
එහෙත් ඒ යනවිටත් ඒ මුහුණ මත මහන්සියක සේයාවක්වත් නොතිබිණි. එය එක්තරා පුදුමයකි. ඒ වනවිටත් දේවමෙහෙය තුනක් අහවර කර නිස්කාංසු සුවයෙන් සිටි පියතුමාගේ මුවන මත දිස්වූයේ ශාන්තප්‍රිය සේයාවක් මිස ෙවහෙසක ළකුණක් නොවේ. බයිබලය කියන පරිදි දෙවියන් වහන්සේට මෙම ලෝකය මැවීම සඳහා දවස් හයක් ගත වී ඇත. පසුව එක් නිවාඩුවක් ලබාගෙන ඇත. ඒ නිවාඩු දවස ඉරිදා දවසක් වීම නිසා ක්‍රිස්තියානි බැතිමතුන් සෑම සතියකම ඉරිදා දවස නිවාඩුවක් සේ වෙනම ආගමික ජීවිතයක් ගත කරයි. එය ශුද්ධ වූ දවස ලෙස හඳුන්වයි. එය දෙවියන් වහන්සේට කරන ගෞරවපූර්ව පූජාවකි. මෙම ගෞරවය හා භක්තිය නිසා රෝමානු කතෝලික ජනතාව ඉරැදින අනෙක් දිනවලට නොව වෙනස් ලෙස ගත කරයි. ඊට ඔවුන් සැරසෙන්නේ සෙනසුරාදා රුයේ සිටය. එනම් මුහුදු ගිය සියලුම ධීවරයෝ ගොඩබිමට පැමිණිය යුතුය. පසුව පසුදා පූජා පැයෙන් එක් පූජාවකටවත් සහභාගී විය යුතුය. තවද නෑදෑයන් සමඟ සුහදව සිටීම, ක්‍රීඩා කිරීම වැනි දෑ කරමින් ජීවිතය සැහැල්ලුවෙන් ගත කළ යුතුය. පූජකතුමා අපට පැහැදිලි කර දුන්හ. පූජකතුමාගෙන් සමුගත් අපි පල්ලියේ ඉස්තෝපුවට ආවෙමු. ඉස්තෝපුවේ තීරුවක් දිගේ පුටු තබාගෙන යොවුන් තරුණයෝ පිරිසක් රුස්ව රුස්වීමක් පවත්වමින් සිටියහ. ඔවුන් කවුරැන්දැයි අපි විමසීමු. ඒ තරුණ සමිතියයි.
ඇන්ටන් රෝමෙස් හා ඉෂාන් මල්ෂාන්ත යන ඒ සමිතියේ සභාපතිවරුන් ඉරිදාට මීගමු අසිරිය බලන්නට පැමිණි අප සමඟ පල්ලියේ සිට ගමනේ ඉතිරි භාගයට අප හා එක්විය.
පළමුවම එතැනින් අප ගියේ වැල්ල වීදිය වෙරළටය. එහි පුංචි දරුවන් සැහැල්ලුවෙන් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් සිටී. ඒ අතර කීපදෙනෙකු රංචු ගැසී තැන තැන කතා බස් කරමින් සිටියෝය. එකම එක පුංචි බෝට්ටුවක පමණක් දැල් බේරමින් හා පටවමින් දෙදෙනෙක් සිටියෝය. එනම් පෙරදා රැයෙහි රැගෙන ආ දැල්වල පැටලුම් ඇර බෝට්ටුව තුළට අසුරමින් සිටීමයි. ඒ හැරුණු කල විශාල වශයෙන් මස් මාංශ අනුභව කරන පිළිහුඩුවන් වැනි කුරුල්ලෝ පියාඹමින් සිටියෝය.
වෙරළ පාළුය. වෙනදාට ඇති මිනිස් හඬ සමූහය අතුරුදන්ය. ඝෝෂාවක් නැත. රළ නඟන දළ රළ පමණක් වෙනදා මෙන්ම මහෝඝයක්ව නැග එයි. තැන තැන ධීවර බෝට්ටු ගොඩගසා ඇත. ඒ නිහඬ බව විඳගත් අපි එතැනින් නැවත පාරට පැමිණියෙමු. අප ඊළඟට ගියේ වැල්ල වීදිය මාළු වෙළෙඳසැලටත් එතැනම තිබූ කරවල වෙළෙඳපළටත්ය. එතැන මුණගැසුණු ටිරෝන් අයියා කරවල මුදලාලි කෙනෙකි. ඔවුන්ට මඟුල් ගෙදරකට මළගෙදරකටවත් යාමට ඒමට නොහැකි තරමට ජීවිතය කරවල සමඟ බද්ධ වී ඇත. මුළු මීගමුව නගරයම හුදකලාවේ නිවාඩුව ගත කරන ඉරිදාත් ඔවුන් රුකියාවේ නිරත වී සිටින්නේ අද දවසේ නිස්කාංසු සුවයෙන් ඇලුණු මීගමුවේ හෙට දවස නිරුපද්‍රිතව ගෙවන්නට නම් අද දවසේත් ඔවුන් කරවල සමඟ ඒ ඔට්ටුව ඇල්ලිය යුතු බැවින්යැයි අපට සිතුණි.
මීගමුවේ පල්ලියට සම්බන්ධව විවිධ සමිති 20ක් පමණ පවතී. ඔවුන් එක් එක් වැඩ කටයුතු ස්වකැමැත්තෙන් භාරගන්නා අතර ඉතාමත් කැපවීමෙන් කරන බව සඳහන් කරයි. ඇන්ටන් ඉතිරි කර ඉෂාන් වෑන් රථයෙන් බැස ගියේද ඔය අතරයි. ඔහු ව්‍යාපාරිකයෙකි. ඇන්ටන් පෞද්ගලික සමාගමක රැකියාවක් කරයි. එහෙත් සියලු වැඩ නතර කර ඉරිදාට පල්ලියේ වැඩ කටයුතු සොයාබලා ඉටුකරයි. අද සවස ප්‍රධාන පූජාව සැලසුම් කිරීම ලක ලෑස්ති කිරීමද ඔවුන් අතින් සිදුවෙයි. මේ නිසා ඇන්ටන්ද තව මොහොතකින් අප හැර යයි.
ක්ෂණික යහළුකමක් ඔස්සේ ගොඩනැගුණු මේ පයුරු පාසානම අප රුගෙන ගිය දුර ඉතා දිගය. පළලය. ගැඹුරුය. අතීතය වර්තමානය ගැන අප නොදත් බොහෝ තොරතුරු ඇන්ටන් අපට කීය. පසුව අපි දූෙව් පාලම උඩින් ලෙල්ලම ලෙස හඳුන්වන මාළු ගොඩබාන ධීවර වරායට ගියෙමු. එය කලපුවකි. එතැනටම යන මෙම පාලම උඩ විවිධ තරාතිරමේ අය බිලී කොකුවලින් මාළු ඇල්ලීමේ නිරතව සිටි අතර ගැහැනු කෙනෙකු දරුවෙකු සමඟ ඈතින් සිටියේය.
ලෙල්ලම තුළ සෙල්ලමකටවත් මාළුවෙකු දැකගත නොහැකි විය. ඒ ඉරිදාට මිනිසුන් නිදහස සුව සේ භුක්ති විඳින නිසාය. එහෙත් එයට යාබද දූෙව් පාලම උඩ ඉන්නා බිලී පිති සමඟ සිටින අය එතැන සිටිනා මාළු ප්‍රමාණයට වඩා වැඩියැයි මට සිතිණ. මාළු බිලී බාමින් සිටි කාන්තාව හා දරැවා ළඟට ළංව කතාබහ කළේ මෙම වෙනස කුමක්දැයි දැනගැනීමටය. අැය ගුරැවරියකි. තම පුතාත් තම ස්වාමි පුරාෂයාත් සමඟ බිලීබෑමට පැමිණ ඇත්තේ වෙන්නප්පුවේ සිටය. එය ඔවුන්ගේ මානසික තෘප්තියයි. ඔවුන් එය කරනුයේ ක්‍රීඩාවක් සේය. බිලී පිත්ත පැටලුණු විට එකිනෙකාට උදව් කරගනිමින් ඉතා සහයෝගයෙන් ඔවුන් සිටිනා අයුරැ දුටු මට සිහිපත් වූයේ ඉංග්‍රීසි චිත්‍රපටයක ජවනිකාවකි. දහවල් ගෙවී හවස් වරැවද උදාවූ ඇසිල්ලේ අප දහවල් ආහාරය ගැනීම සඳහා තැනක් සොයමින් පැය භාගයක් පමණ මීගමුව නගරය වටා ඇවිද්දෙමු. ඔහු පැවසූ ආකාරයට ඉරිදාට නිවෙස් තුළ කෑම උයා පිහාගෙන සියල්ලෝ එකට ආහාර අනුභව කරන නිසා කිසිදු හෝටලයක් ව්‍යාපාරයක් නගරය තුළ බිම් මට්ටමේ නොපැවතිණි. කෙසේ හෝ අප ආහාර ලබාගෙන ඇන්ටන් මිතුරාට සමුදුන්නේ හවස පූජාවේදී හමුවීමේ ප්‍රතිඥාවක්ද සමඟය.
පසුව මෝර වළට ගිය අපට දිස්වූයේ පවුල් පිටින් ඇවිත් ක්‍රීඩා කරමින් මුහුදු ජලය ස්නානය කරනා අයුරැය. එහි සුන්දරත්වය විවිධ ගොඩනැගීම් නිසා ගිලිහී ඇත. පසුව අප මීගමුව වෙරළ තීරයට ගොඩ වැදුණේ අඳුරත් එළියත් එකට මුසුව අඳුර වැටියෙන් ගලා ආ මොහොතකය. දහවල තරමට කාර්යබහුල නොවූවද තරමක කාර්යබහුලත්වයක් තිබිණ. එයට හේතුව මේ පාස්කු සමය වීමයි.
මාර්තු 1 වැනිදා පටන් ගත් පාස්කු අවසන් වූයේ අප්‍රේල් 8 වැනිදාය. ඒ සමයේ සියලුම රෝමානු කතෝලික ජනතාව කිසිදු පවු වැඩක් නොකිරීමට වගබලා ගත යුතුය. ඒ දේව නියමයයි. එනම් මස් මාංශ මත්පැන් ආදී දේවල්වලින් ඈත්ව පාස්කු සඳහා පිරිසුදුව සිටිය යුතුය. ඒ දේව නියමයට අවනත විය යුතු ඉරිදාවන් හිදී හැර යෑම ඉරිදා දවසක්ම ඔවුන්ගේ විනෝදයේ දවසයි. එදා දවස නොනිදා පහන් කරනා දවසයි. එහෙත් පාස්කුවට සියල්ලෝම හිතට එකඟව කටයුතු කරන බැවින් පුංචි රෝමය පාස්කුවේ උදානයේ ශාන්ත සිරියක් උසුලයි. දුන්න දුනුගමුවෙත් ඊතල කීතලගමුවෙත් රාළ මීගමුවෙත් මුවා සබරගමුවෙත් යැයි අසා ඇති කතාවක් ඒ් මොහොතේ මගේ මතකයට නැගුණත් අපට කිසිම රාළ කෙනෙකුනම් මුණගැසුනේ නැත. මීගමුවේ මහ මුහුද - දෙවියන් විසින් මාළුන් මවා ජීවිතය සරිකර ගනු පිණිස දුන් අපූර්වතම තෑග්ගක් වැන්න. මහෝඝයක් වී රළ නගන ශබ්දය නොලියූ නොකියූ බොහෝ දෑ පවසනවාදෝයි අපට සිත්වුණි. ඒ මුහුද උඩින් අහසේ සඳ නැගෙන තෙක් අපි මීගමුවේ සිටියෙමු. රාත්‍රී දොළහට මේ ඉරිදාව අවසන්ය. සඳුදාට සුපුරැදු ජීවිතය හා ඔවුන් මෙන්ම අපිද එක්විය යුතුය. එහෙයින් ඒ ජීවන සටනට සැරසෙනු රිසින් අපි කොළොම්තොට කරා ගමන් ඇරඹීමු.
නුවන් හෙට්ටිආරච්චි
සේයාරූ l සමන්ත ප්‍රදීප් විල්තෙර