සම්මානනීය ලේඛිකා රූපා ශ්‍රියානි ඒකනායක
පරිපාලන සේවයෙන් සාහිත්‍යයට එළැඹි රූපා ශ්‍රියානි ඒකනායක පාඨක ප්‍රසාදය දිනාගත් නවකතා මෙන්ම කෙටිකතා කෘතිද ලියා තිබේ. 2012 දී ස්වර්ණ පුස්තක සම්මානය හිමිවුණේ ඇගේ සිටුවර පුවත නවකතාවටයි. 2007 දී ඇය ලියූ තරු බඹසර ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ අතර දුටිම් නෙතින් කසුප් නිරින්දෝ නවකතා කෘතියට 2010 දී ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමි විය. 2018 බෞද්ධ සාහිත්‍ය සම්මානය හිමිවුණේ රූපා ශ්‍රියානිගේ සෝබන මාලියා නවකතාවටයි. 2019 දී ඇය ලියූ බලන් පුර සිරි නෙත් වසා නවකතාව ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශ විය. ඇගේ අලුත්ම නවකතාව භේරුණ්ඩ කැදැල්ල පසුගියදා මරදාන සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් කෙරිණ.
ඔබ මේ කෘතියට භේරුණ්ඩ කැදැල්ල යන නම යොදා තිබෙනවා. භේරුණ්ඩ පක්ෂියා යනු දෙපසට ඉරී ගිය කල්පිත පක්ෂියෙක්. එවැනි නමක් පොතට යෙදුවේ ඇයි කියලා විස්තර කළොත්?
භේරුණ්ඩ යනු දෙපසට වෙන්වුණු හිස් දෙකක් ඇති කල්පිත පක්ෂියෙක් තමයි. භේරුණ්ඩ පක්ෂියා බොහෝවිට සඳහන් වන්නේ හින්දු දේවකතාවල. ඒවායේ භේරුණ්ඩ නිරූපණය වන්නේ ඉතා ශක්තිමත්, විනාශකාරී, යුදයට කැමති පක්ෂියෙකු විදියටයි. මේ නිසාම අද පවා ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ කොඩියට භේරුණ්ඩ පක්ෂියාගේ අලංකාර චිත‍්‍රයක් යොදාගෙන තියෙනවා. මාගේ නවකතාවට භේරුණ්ඩ කැදැල්ල යන නම යොදාගත්තේ විරුද්ධ දිසාවන් දෙස බලාගෙන සිටින හිස් දෙකක් ඇති පක්ෂියෙකු නවකතාවේ එන කතානායකයාගේ චරිතය සංකේතවත් කිරීමට ගැලපෙන්නේ යැයි මට සිතුණ නිසා. මෙහි එන වරුණ නම් චරිතය, සාහිත්‍ය නිර්මාණයක් සොරාගන්නා ලේඛක චරිතයක්. ඒ නිසාම ඔහු ලෝකයෙන් සැඟවී යාමට සමහර විටෙක උත්සාහ කරනවා. සමහර විටෙක තමා කළ හොරකම ගැන පශ්චත්තාප වෙනවා. තමන්ගේ සාහිත්‍ය කොල්ලය ගැන විවිධාකාරයෙන් සිතනවා. පිටින් පෙනෙන සාහිත්‍යධරයා නෙවෙයි ඔහු තුළ සැඟවී සිටින්නේ. මේ නිසයි මා හිස් දෙකේ පක්ෂියෙකුගේ කැදැල්ලක් ලෙස ඔහුගේ කුටුම්බය හඳුන්වන්නේ.
සම්මාන ලබාගත් සමහර පොත් පවා අනුන්ගේ පොත් බලාගෙන ලියපුවා බවට පසුගියදා හෙළිදරව් වුණා. මෙහිත් දිවයන්නේ අනුන්ගේ පොතක් තමන්ගේ නමින් පළ කරපු කතුවරයෙකුට තමා අහිමිවීම ගැන කතාවක්. මෙසේ නිර්මාණ කොල්ලය අපට අලුත් දෙයක් නොවෙයි නේද?
නිර්මාණ හොරකම යනු ඉතා ඛේදනීය තත්ත්වයක්. මොකද මිල මුදල් හෝ බඩු භාණ්ඩ හොරකම් කරනවා වගේ නෙවෙයි, කලා නිර්මාණයක් සොරාගැනීම. එය කෙනෙකුගේ රසඥතාව සොරාගැනීමක්. නිර්මාණ කොල්ලය යනු එක් රටකට පමණක් ආවේණික සංසිද්ධියක් ලෙස ගිණිය නොහැකියි. අනාදිමත් කාලයක සිට මෙවැනි සොරකම් සිදුවෙනවා.
ඔබ කිවූ පරිදි නිර්මාණ කොල්ලය අපට අලුත් දෙයක් නොවුණත් සිංහල නවකතාවට මෙවැනි වස්තු බීජ යොදාගැනීම අලුත් දෙයක් විදියටයි මා කල්පනා කළේ. මෙවැනි සිද්ධි නවකතාවල කතා වස්තු ලෙස යොදාගැනෙනු දකින්නේ ඉතා කලාතුරකින්.අලුත් වස්තු බීජ හා සංකල්ප නවකතාවට හඳුන්වා දිය යුතු කාලයක්, මෙය. හැමවිටම දෝෂාරෝපණ, විවේචන නවකතාවට එල්ල කරන අයගේ එක් මැසිවිල්ලක් තමයි, නවකතාවලට එකම විදියේ ගතානුගතික කතා වස්තු යොදාගන්නා බව. සැබැවින්ම මේ තත්ත්වය වෙනස් විය යුතුයි. මේ කතාව පාඨකයාට නවමු අත්දැකීමක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.
නිර්මාණ මංකොල්ල කෑමට වඩා තමන් තුළ සිටි තමන්ට අනන්‍ය ලේඛකයා අවදිකර ගැනීම වඩාත් වැදගත් බව මෙහි යටිපෙළෙන් පැවසෙනවා නේද?
ඇත්තෙන්ම, මාගේ නවකතාවේ මුඛ්‍ය තේමාව මෙයයි.
සෑම මිනිසෙකු තුළම නිර්මාණකරුවෙකු දකින්න පුළුවන්. ඒ සැඟවී තිබෙන සහජ ප‍්‍රතිභාව අවදි කරගෙන තමන්ගේ සිතිවිලි කපා කොටා ඔප මට්ටම් කොට භාෂාව නමැති මෙවලම මගින් එය ලෝකයාට සන්නිවේදනය කිරීමයි ලේඛකයා කරන්නේ. තමන්ට අනන්‍ය වූ අනුභූතීන් හා රසඥතාව පදනම් කොටගෙන ලියන නවකතා හා කෙටිකතා එකිනෙකට වෙනස් වන්නේ ඒ නිසා. එබැවින් වෙනත් කෙනෙකුගේ ශෛලියක් හෝ ආඛ්‍යාන රටාවක් අමු අමුවේ කොපි කිරීම තරම් අවාසනාවන්ත තත්ත්වයක් ලේඛකයකුට තවත් නෑ. නමුත් අප හොඳ ලේඛකයන්ගේ පොත පත හැදෑරිය යුතුයි. විවිධ රටවල, විවිධ යුගවල බිහිවන උත්කෘෂ්ඨ ලේඛකයන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන දැනුවත් විය යුතුයි. ඔවුන්ව ගුරුකොට ගත යුතුයි. එහෙත් තමාගේ සහජ හැකියාවන් මෙන්ම, නිර්මාණයේ දී ඉස්මතු වෙන තම ස්වාධීනත්වය එයින් පළුදු කොට නොගත යුතුයි යන පාඩම මේ නවකතාවෙන් උකහා දක්වන්න මා උත්සාහ කළා.
නිර්මාණ හොරකම නිසාම මේ ලේඛකයා විනාශ වෙනවා නේද?
අනෙකෙකුගේ නිර්මාණය තමන් සතු කරගත් දා සිට වරුණ සිත අභ්‍යන්තරයෙන් මහත් පීඩාවකට ලක්වන නිසා ඔහුට තවදුරටත් සාහිත්‍ය නිර්මාණයේ යෙදීමට නොහැකි වෙනවා. මෙය මනෝ විද්‍යාත්මක තත්ත්වයක්. සිතේ මේ තත්ත්වය බටහිර ලේඛකයන් හඳුන්වන්නේ ‘රයිටර්ස් බ්ලොක්’ (Writer’s block) කියලා. එවැනි තත්ත්වයකට එක හේතුවක් තමයි ලේඛකයකු මානසික වශයෙන් ඉමහත් පීඩාවකට පත්වීම. වෙනදා මෙන් ස්වාධීනව තම සාහිත්‍ය නිර්මාණයේ යෙදීමට මේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වන වරුණට හැකියාවක් නැතිව යන්නේ තමන්ගේ කි‍්‍රයාව ගැන මානසික පීඩාවකට පත්වන නිසා. මෙයින් මා උත්සාහ කළේ ද තමන්ගේ අනන්‍යතාව ලේඛකයකුට රන් වටින බව කියා පෑමටයි.
අලුත් පරම්පරාව හා පැරණි පරම්පරාව අතර ගැටුමකුත් මෙහි නිරෑපිතයි. ඒ ගැන කිව්වොත්?
මෙය මා කතා කරන්නේ ඉතා සියුම්ව. වරුණගේ දියණිය ඇතුළු අනෙක් පාත‍්‍ර වර්ගයා මේ සිද්ධිය දෙස බලන්නේ විවිධාකාරයට. දියණිය වන මදුමතීගේ ජීවිතයේ නොයෙක් හැළහැප්පීම්වලටත් මේ සිද්ධිය බලපානවා. එහෙත් වරුණට ඉතා හිතවත් නන්දිතා නම් ගැහැනිය උපේක්ෂාසහගතව මේ දෙස බලනවා. වරුණට යම් සැනසීමක් ලැබෙන්නේ ද ඇයගෙන් පමණයි. පරම්පරා ගැටුම ඉතා සියුම්ව මෙහි විග‍්‍රහ වන නිසාම එවැනි දෙයක් නවකතාවේ යටිපෙළින් දිවෙන බව වටහාගැනීමට මේ කතාව නිවී සැනසිල්ලේ කියවා විග‍්‍රහ කළ යුතු වෙනවා.
අද විශාල තරුණ පිරිසක් නවකතා ලියනවා. ඔවුන් මුලින්ම මුහුණුපොතට ලියන කතා පසුව පොත් වශයෙන් පළ කරනවා. නමුත් සම්භාව්‍ය සාහිත්‍යය, උසස් සාහිත්‍ය කෘති ඇසුර නම් ඔවුන් කරන බවක් පෙනෙන්නෙ නැහැ. ඒ ගැන ඔබට නිරීක්ෂණය වුණාද?
පොත පත ලිවීමට තරුණ පිරිස පෙළඹීම ඉතා හොඳ ප‍්‍රවණතාවක්. සමාජ මාධ්‍ය හරහා නොයෙක් දේ තරුණ පරපුර ලියනවා. එහෙත් ඉතා දුක්ඛිත කාරණයක් තමයි මේ බොහෝ ලියැවිලිවල අන්තර්ගතය හා ඒ සඳහා යොදාගන්නා භාෂාවේ ඇති දුර්වලකම. අපේ සම්භාව්‍ය ගද්‍ය පද්‍ය කෘති ඉතා රමණීයයි. ඒවා ලොව අන් කවර සාහිත්‍ය කෘතිවලට ද නොදෙවැනියි. ඇයි මෙය අපි තේරුම් ගන්නෙ නැත්තෙ කියන එක ප‍්‍රශ්නයක්. තවමත් ලෝකයේ පිළිගන්නා දෙයක් තමයි සම්භාව්‍ය සාහිත්‍ය කෘති කාලය, දේශය අතික‍්‍රමණය කරමින් සැමදා බැබලෙන බව. අඩුගානෙ අපේ පැරණි පොත් පත් එකක් දෙකක්වත් අප හොඳින් කියවා තියෙන්න ඕනෑ. අපේ පැරණි සාහිත්‍යයට අකෘතඥ වුණු අපි වගේ ජාතියක් තවත් ලෝකෙ නැතිව ඇති. නවකතා සාහිත්‍යය ගත්තොත්, ලියෝ ටෝල්ස්ටෝයි, පියදෝර් දොස්තොවෙස්කි, ඩී.එච්. ලෝරන්ස්, මැක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකොෆ් වැනි අසහාය ලේඛකයන් ලිවූ මහා ශ්‍රේෂ්ඨ නවකතා වගේ ඒවා අපේ සිංහල සාහිත්‍යයේ නොතිබෙන්න පුළුවන්. ඒත් අඩුම ගානෙ මාර්ටින් වික‍්‍රමසිංහ, කේ. ජයතිලක, එදිරිවීර සරච්චරන්ද්‍ර, ගුණදාස අමරසේකර වගේ සාහිත්‍යධරයින් ලිවූ අපේ කුඩා රටට ආඩම්බර විය හැකි පොත පත අපට තිබෙනවා. මේවා අප අනිවාර්යයෙන්ම කියවිය යුතුයි. මුහුණුපොත් ලියවිලිවල තියෙන්නෙ හදිස්සියක්. ඒවා නිවී හැනහිල්ලේ කියවන්න කාටවත් වෙලාවක් නෑ. මොකද ඊළඟට බලන්න රෑප පෝලිම් ගැහිලා තියෙනවා. ඒ හින්ද මුහුණුපොතේ සාහිත්‍යය ලියන්නෙත්, කියවන්නෙත් උඩින් පල්ලෙන්. මුහුණුපොතේ ලේඛකයන් අතළොස්සක් හෝ අපේ පැරණි සාහිත්‍ය කෙසේ වෙතත් සමකාලීන ජාත්‍යන්තර සාහිත්‍ය කෘති හදාරා ඇති බව පේනවා. මෙය සතුටට කරුණක්.
තරුණ පෙළ පොත් නොකියවුවත් මුහුණුපොතෙන් ඕපාදූප කියවනවා. ඔවුන් තුළ රසඥතාව වර්ධනය කර ගැනීමට කළ යුත්තේ කුමක්ද?
ඕපාදූප දෙඩීමට හා ඇසීමට මිනිසා නමැති සත්වයා බොහොම කැමතියි. ඉස්සර කාලෙ ඕපාදූප කිව්වෙ ළිඳ ළඟ. එහෙම නැතිනම් කෝපි කඩේ. ගමේ බෝක්කු උඩ. ඕපාදූප සීමා වුණේ බොහොම කුඩා කණ්ඩායමකට. දැන් තියෙන්නෙ නවීන තාක්ෂණය හරහා ඕපාදූප කීම. ඒක ලේසියි. කිසි විළිබියක් නැතිව ඒවට මුහුණුපොතෙන්ම ප‍්‍රතිචාර දක්වන්න පුළුවන්. මේවා කියන්නේ ශිෂ්ට සමාජය විසින් පිළිකෙව් කරන අන්තිම අසභ්‍ය භාෂාවෙන්. ඇඟිලිවලින් දුවමින් ඕපාදූප ඔළුවෙ පුරවාගන්න එක තමයි අලුත්ම ප‍්‍රවණතාව. මේවයින් රසයක් විඳීමත් රසඥතාව තමයි කියා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ නිසා රසඥතාව යන වචනයෙන් දෙන අරුතත් දැන් වෙනස් වෙලා.