දහසය වැනි ශතවර්ෂයේදී මෙරට කන්ද උඩරට රාජධානියේ සිරකරුවෙක්ව සිට ඇති බ්‍රිතාන්‍ය ජාතික “රොබට් නොක්ස්” නැවතී ගිමන් නිවූ බව පැවසෙන අනුරාධපුර, නාච්චාදූව ප‍්‍රදේශයේ (කළුවිල) නම් ගමෙහි පිහිටි ඉපැරුණි (මී ගස) ඉකුත් මැදින් පුර පසළොස්වක පොහොයදා ඉදිරී වැටිණි. මෙම ගස ආසන්න වශයෙන් වසර 350ක් පමණ පැරුණි බව ජනප‍්‍රවාදයේ කියවේ. රොබට් නොක්ස් විසින්ම මෙරට ජන ජීවිතය හා ඔහු මෙහි ගෙවූ ජීවිතය අළලා පසුකාලීනව ලියා ඇති කෘතිය මගින්ද මේ කරැණ සනාථ කළ හැකිව තිබේ.
කළුවිල ගමේ ඉපැරැණි වැවට ඔබ්බෙන්, අනුරාධපුර - නාච්චාදූව ප‍්‍රධාන මාර්ගයට යාබදව විසල් මී ගස පිහිටා තිබිණි. පෙරළුණු මී ගසේ හරස්කඩ උස අඩි හතරයි අඟල් අටක් පමණ වූ බව ගැමියෝ පවසති. ඒ උස අඩි 24 ක් දිගට යනතෙක්ම එක හා සමානව පැවැති බව ඔවුහු හෙළිකරති. කළුවිල ගම්වාසී “පී.ටී. අමරජීව මහතා” පැවසුවේ මෙවැනි කතාවකි.
“පහුගිය පෝය දවසේ උදේ අටහමාරට විතර තමයි ගහ පාර හරහා පෙරළුණේ. සතියක් විතර තිස්සේ ගහ ටිකක් විතර ඇලවෙලා තිබුණා. ඇත්තටම ගහ මේ විදිහට පෙරෙළෙනකම් කිසිම කෙනෙක්ගේ අවධානයක් තිබුණේ නෑ. හරිනම් මේ ගහ පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට නම්කරන්න තිබ්බ ගහක්. එහෙම කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. ගමේ මිනිස්සු දෙවියන්ට වතාවත් කෙරුවේ, කිරි ඉතුරුවේ මේ ගහ යට. දැන් මාස හයකට විතර කලින් වාරිමාර්ගෙන් ඇවිත් ඒ වැඩත් නැවැත්තුවා. මිනිස්සු මොනතරම් පවුකාර වුණත් ගහ පිංකාරයි. නැත්නම් නිතරම මිනිස්සු යන එන පාරේ කවුරුත්ම නැති වෙලාවක ගහ මේ විදිහට පෙරළෙන් නෑනේ.”
වර්ෂ 1660 අප්‍රේල් මස 04 වැනි දින අහම්බෙන් මෙබිමට ගොඩබැස දෙවැනි රාජසිංහ රජ සමයේ වර්ෂ දහනවයකුත් මාස හයකට ආසන්න කාලයක් මෙරට සිරකරැවෙක්ව සිට වර්ෂ 1679 සැප්තැම්බර් මාසයේදී “ස්ටීවන්” නම් සිය සගයෙක්ද සමඟ රොබට් නොක්ස් තම මවු රට වන බ්‍රිතාන්‍ය බලා පලාගොස් ඇත. කන්ද උඩරට මහනුවර සිට අනුරාධපුරයට විත් එතැන් සිට මන්නාරමට ගොස් පසුව කොළඹට පැමිණ ඉන් නැව් නැග ඔවුහු පලාගොස් ඇත.
මෙසේ පලායන ගමනේදී හමුවූ අනුරාධපුර, නාච්චාදූව ප‍්‍රදේශයේ එවකද ජනාවාසව පැවති “කළුවිල” නම් ගමක් පිළිබඳව රොබට් නොක්ස් විසින් රචිත “An Historical Relation of the Island of Ceylon” කෘතියෙහි දක්වා ඇත. මෙම කෘතිය පසුකාලීනව ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් “එදා හෙළදිව” නමින් සිංහල බසට පෙරළා ඇත. අනුරාධපුර නගරය සොයා යන ගමනේදී කළුවිල ගම මැදින් ගමන් කළ බවත්, එහිදී රජුගේ නියෝජිතයෙකු ලෙස සිටි “ගම්පතියෙකු” හමුවු බවත් කෘතියෙහි සඳහන්ව ඇත. ඒ වග කෘතියෙහි &අනුරාධපුරයට පලා ගියෙමි” නම් පරිච්ජේදයෙහි පහත පරිදි දක්වා ඇත.
“දැන් මාර්ගය වැටී ඇත්තේ “කළුවිල” ප‍්‍රධාන පාලකයාගේ වසම මැදිනි. මෙම පාලක නිලධාරියා එහි විශේෂයෙන්ම වාසය කරන්නේ එම ප‍්‍රදේශය පසු කර යන එන මගීන් පරීක්ෂා කර බැලීම සඳහා විය. පළමුකොට මෙම පාලකයා වූ කලී අප විසින් කිසි කලෙක නොදක්නා ලද අප නොහඳුනන අමුත්තෙකි. දෙවැනිකොට ඔහුගෙන් ගැලවීගෙන යා හැකි මඟක් නැත. බැලූ බැල්මට අප මාංචු නැතිව සිටිනා සිරකාරයන් බව ඔහුට නිරායාසයෙන්ම අවබෝධ වන්නේය. ඉඳින් එය එසේ වුවහොත් අපට කවර දෙවියන් ගේ සරණ ද?”
“රොබට් නොක්ස්” හා ඔහුගේ සගයා ලෙස සිටි බව කියැවෙන “ස්ටීවන්” මෙසේ පැමිණ ගම්පතියා හමුව, ඔහු හා සුහදව දින තුනක් “කළුවිල” ගමේ ගතකොට ඇති බවත්, වෙළෙඳුන් ලෙස පෙනී සිටි බවත් සඳහන් වේ. පෙරළී යන තෙක්ම වසරට දෙවරක් මෙම මී ගස ඵල දැරූ බවත්, එය බොහෝදෙනෙකුගේ හිතසුව පිණිස වූ බවත් ගැමියන් පවසති. රොබට් නොක්ස් සිය කෘතියෙහි දක්වා ඇති කළුවිල ගමෙහි ප‍්‍රධාන පාලකයා විසු බව පැවසෙන නිෙවසෙහි නටබුන් අදද ගම්මැද්දේ ශේෂව ඇති බව ගැමියෝ පවසති. ගල් පුවරු, ගල් කණු ආදියෙන් යුතු එම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කොට ඇතත්, එය මේ වනවිට කැලයෙන් වැසුණු සර්ප විමානයක්ව පවතින බවද ඔවුන් පවසති.
ඇදවැටුණු ගස ඉවත් කිරීම සඳහා පැමිණ සිටි රාජ්‍ය දැව සංස්ථාවේ වැඩබිම් නිලධාරියෙකු වන “පී.එම්.පී. පතිරාජ” මහතා පැවසූයේ ගසක කඳෙහි වර්ධක ස්ථර ප‍්‍රමාණය අනුව ගසෙහි ආයු කාලය තීන්දු කළ හැකි බවය. ඒ අනුව ගැමියන් පවසන පරිදි මෙම මී ගසේ ආයු කාලය වසර 400 කට ආසන්නව පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකි බව ඒ මහතා කීය. ගසේ මුල පද්ධතිය ක‍්‍රමානුකූලව දුර්වල වීම හේතුවෙන් මෙසේ ගස පෙරළෙන්නට හේතුවී ඇති බව හෙතෙම කීය.
මෙරට කවර හෝ තැනක මේ සා පැරුණි, යම් ඓතිහාසික වටිනාකමක් සහිත “මී” ගසක් තිබිය නොහැකි බව මෙහි ගැමියන්ගේ විශ්වාසයයි. එහෙයින්ම මින් ඔබ්බට ගිය වටිනාකමක් මේ සඳහා දිය හැකිව තිබූ බව ඔවුනගේ අදහසයි. එහෙත් සිදුවූයේ වෙනකක් බව ඔවුහු පවසති.
I කතාව හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග