2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මරුට අත වනන ඉගිලෙන ත්‍රීෙරා්ද රථ

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

කොළඹ ගොඩනැගිලි වැඩබිම්වල වෙහෙස මහන්සි වී මාස ගණනාවක් සේවය කළ දර්ශන මධුශංක තරුණයා නොඉවසිල්ලෙන් පසුවූයේ අලුත් අවුරුද්ද තම පවුලේ සාමාජිකයන් සමඟ සැමරීමටය. විසිහය හැවිරිදි දර්ශන, දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පදිංචිව සිටින තම සොහොයුරියගේ පවුලේ සාමාජිකයන් සඳහා තෑගිබෝගද මිලදී ගෙන මෙම ගමන පිටත්වූයේ ඔහුගේ ත්‍රිරෝද රියෙනි. ඉරිදා රාත්‍රියේ තම ගමන ඇරඹූ මධුසංඛ පැය කීපයකින් තම සහෝදරියගේ නිවසට ළඟාවීමේ බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත.

ඔහු සමඟ ත්‍රිරෝද රියේ විසි හතර හැවිරිදි ඔහුගේ බිරිඳ අසංකි යශෝධා, ඔවුන්ගේ දෙහැවිරිදි නෙත්සරණි දියණිය, ඔහුගේ මව වන ජයංගනී ප්‍රේමචන්ද්‍රත් සිටි අතර ඔවුන් මෙම ගමන ඇරඹුවේ මධ්‍යම රාත්‍රිය පසුවනවාත් සමඟය.
කොළඹ කුරුණෑගල පාරේ බෝයගනේ ප්‍රදේශයේදී පාන්දර 1.30ට පමණ අවාසනාවන්ත ලෙසින් දර්ශන මධුශංකගේ ත්‍රිරෝද රථය බරපතළ අනතුරකට ලක්වීය. කොළඹ බලා එමින් තිබූ වැලි පැටවූ ටිපර් ලොරියක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම ත්‍රිරෝද රථය සුණු විසුණු විය. ජීවත්වීමේ වාසනාව තිබුණේ මධුශංකගේ බිරිය වූ අසංකිට පමණි. ඇයද බරපතළ තුවාල ලබා සිටියාය.

මෙයාකාරයටම තවත් බිහිසුණු ත්‍රිරෝද රථ අනතුරක් බිබිලේදී සිදුවීමෙන් දෙදෙනෙක් මිය ගියහ. එහිදී එම ත්‍රිරෝද රථයද ගැටී තිබුණේ පික් අප් ට්‍රක් රථයකය.

මේ දිනවලදීම බදුල්ලේදී තිදරු පියකු කහඉර මතදීම ජීවිතක්ෂයට පත්වූයේ ත්‍රිරෝද රථයක් ඔහු මතට කඩා වැදීම හේතුවෙනි.

මේ සිදුවීම් කීපය මෑත කාලයේදී ත්‍රිරෝද රථ හේතුවෙන් මහමඟ සිදුවුණු බරපතළ අනතුරු කීපයක් පමණි. සතියකට ජීවිත දහයක් පමණ බිලිගන්නා රිය අනතුරු මේ ආකාරයට දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. වගකිව යුත්තෝ නින්දෙන් ඇහැරීමට පටන්ගෙන ඇත්තේ මෙම බරපතළ අනතුරු වැඩිවීමක් සමඟමය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති සිසිර කෝදාගොඩ මහතා (සන්ඩේ ටයිම්ස්) පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් පවසනුයේ ත්‍රිරෝද රථ වඩාත් ආරක්ෂාකාරී වාහනයක් බවට පත් කිරීමට අවශ්‍ය වෙනස්කම් හඳුන්වා දෙන බවය.

සියලුම ත්‍රිරෝද රථවල ඇති යකඩ රාමු සියල්ලක්ම ස්පොන්ජ්වලින් ආවරණය කර වැසිය යුතුයි. මඟීන් ගමන් ගන්නා ආසනයේ දකුණු පස අතිරේක රාමු දෙකක් සවිකළ යුතුයි. සෑම මගී ආසනයකටම ආසන පටි සවිකළ යුතු අතර එමගින් අනතුරකදී ත්‍රිරෝද රථයෙන් මගීන් එළියට විසිවීමෙන් ආරක්ෂා විය හැකියි. මගී ආසන අසල පාද රඳවාගත හැකි ඉඩකඩ තරමක් ඉහළට සකස් කළ යුතුයි කෝදාගොඩ මහතා සඳහන් කරයි.

අප්‍රේල් මස 24 වැනි සඳුදා ත්‍රිරෝද රථ සංගම් හමුවී මෙකී වඩාත් දියුණු ආරක්ෂාකාරී ක්‍රම හඳුන්වා දෙනු ලබන අතර අදාළ රෙගුලාසි මේ වනවිට ගැසට් කර තිබේ.

“දැනට පවතින ත්‍රිරෝද රථ සඳහාද ඒවායේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරන්නට හැකිවන පරිදි යෝජනාද ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා” කෝදාගොඩ මහතා පැවසීය.

තවද කෝදාගොඩ මහතා අලුත් ආරම්භයක් ගැනද හෙළිකිරීමක් කරයි.

“යහපත් මගීන් ප්‍රවාහන වැඩපිළිවෙළක් අපි හඳුන්වා දෙනවා. එහි අත්හදා බැලීමක් ලෙසින් තෝරාගත් ත්‍රිරෝද රථ 100ක් සඳහා නිල ඇඳුමක් ලබා දෙනවා. මේ ඇරඹුමෙන් ඉලක්ක කරනුයේ මගීන්ට නිසි සැළකීම සඳහා රියදුරන් දැනුවත් කිරීමයි. එසේම අලුත් රෙගුලාසි පිළිබඳව ඔවුන්ට දැනුම්දීමයි.”

ත්‍රිරෝද රථ රියදුරෝද මගීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කළ යුතු බව පිළිගනිති. අපට හමුවූ එල්.ආර්. සරත් කුමාර සඳහන් කරනුයේ වසර දොළහක් තිස්සේ තමා ත්‍රිරෝද රථ රියදුරකු ලෙසින් සේවය කරනා බවය. ඊට පෙර තමන් මේසන්වරයකු ලෙස කටයුතු කළ බවද ඔහු සඳහන් කරයි.

අලුත් රෙගුලාසිවලට අනුව නව වෙනස්කම්වලට සහය නොදක්වන ත්‍රිරෝද රථ රියදුරන් දඬුවම්වලට පවා ලක්විය හැක. හොරණ පොකුණුවිට ප්‍රදේශයේ සිට කොළඹට හයර් රැගෙන සතියකට දෙවතාවක් පැමිණෙන සරත් කුමාර නව නීති පැනවීම හා දඬුවම් පිළිබඳ කැමැත්තක් නැත.

“හැම පොඩි දේටම අපිට දඩ ගහනවා” ඔහු කියයි.

ත්‍රිරෝද රථ සඳහා අනුමත වේගය වන පැයට කි.මී. හතළිහේ සීමාව තමා කිසිදාක ඉක්මවා නොයන බව ඔහු සඳහන් කරයි.

ඉසුරු සම්පත් රැකියා දෙකක නිරත වන්නෙකි. ඔහු වසර හයක කාලයක සිට ත්‍රිරෝද රථ රියදුරකු වන අතර ඇනවුම් ගෙන පැන්ට්‍රි කබඩ් සෑදීමද කරයි. ඔහුගේ විශ්වාසය වනුයේ මෙම රථවාහන රෙගුලාසි තද වැඩි බවය.

“අපිට මියුසික් සෙටප් එකක් ත්‍රිරෝද රථයේ හයි කරගන්න බෑ. ඒක වරදක්. හෙඩ් ලයිට් දාගෙන රිය පදවන්න අපිට අවසර නෑ” ඔහු පවසයි. ඔහු සඳහන් කරනුයේ ඩිම් ලයිට් යොදාගෙන වාහනය පැදවීම අනතුරුදායක බවය. පිරිසක් විසින් සිදුකරනු ලබන වැරැදි හේතුවෙන් නීති රීති දැඩිවී ඇති බව ඔහුගේ අදහසයි.

“මාලිගාවත්ත පැත්තේ මත්පැන් බී රිය පදවන රියදුරන් මම දැක තිබෙනවා. රාත්‍රී කාලයේදී ඔවුන් දැඩි ලෙස බීමතින් රිය පදවා රිය පෙරළාගත් අවස්ථාද තියෙනවා...” ඉසුරු සම්පත් පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඉසුරු ප්‍රකාශ කරනුයේ එවැනි රියැදුරන් සියලුදෙනාම දුෂ්කරතාවයන්ට ඇද දමන බවය.

රට පුරා ත්‍රිරෝද රථ මිලියන 1.1ක් ලියාපදිංචි කර ඇති අතර එයින් 75%ක් පමණ යොදාගනු ලබනුයේ මගී ප්‍රවාහනයටය. මේ නිසා මගීන්ගේ ආරක්ෂාවට රෙගුලාසි පැනවීම වඩාත්ම වැදගත් වී තිබේ. රථවාහන පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කරනුයේ පසුගිය මාස කීපය තුළදී ත්‍රිරෝද රථ ලියාපදිංචිය වර්ධනය වී ඇති බවය. පෙබරවාරි මාසයේදී පමණක් ත්‍රිරෝද රථ 4,602ක් අලුතින් ලියාපදිංචි වී ඇත.
තවදුරටත් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කරනුයේ ත්‍රිරෝද රථ සඳහා පැයට කි.මී. 40 වේග සීමාවක් පනවා ඇතත් ඇතැම් ත්‍රිරෝද රථ පැයට කි.මී. 80 දක්වා වේගය වැඩිකර ධාවනය කරන අවස්ථා තිබෙන බවය. 
2015 වසරේදී මාරාන්තික රිය අනතුරු 328ක් සිදුවී එයින් මරණ 378ක් සිදුවී තිබේ. 2016 වසරේදී වාර්තා වූ මාර්ග අනතුරු සංඛ්‍යාව 372කි. ඒවායින් මියගිය සංඛ්‍යාව 405කි. රියැදුරු පුහුණුව මදිකම රිය අනතුරු මේ ආකාරයෙන් ඉහළ යාමට එක් හේතුවක් බව ඔහුගේ මතයයි.

හෙඩ්ලයිට් තහනම් නීතිය ගැන ඔහු පවසනුයේ රාත්‍රී කාලයේදී ධාවනය වන සෑම වාහනයක්ම එසේ ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කළහොත් එමඟින් බරපතළ අනතුරු රාශියක් ඇතිවිය හැකි බවය. ඉදිරියෙන් පැමිණෙන වාහන පැහැදිලි නොවීම ඊට හේතුව බවද ප්‍රනාන්දු මහතා පැවසීය.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා වාහනවලින් පිරීගොස් ඇති මාර්ග තමන්ට අනාරක්ෂිත බවට පැමිණිලි කරයි.

“බොහෝ දෙනෙක් ත්‍රිරෝද රථ මිලදී ගන්නේ ජීවත්වීම සඳහායි. මහමඟ ධාවනය වන ත්‍රිරෝද රථ දෙවර්ගයක් තියෙනවා. එකක් පෞද්ගලික අයිතිකරැවන්ගේ ත්‍රිරෝද රථ. දෙවනුව කුලියට රුගෙන ධාවනය කරන ත්‍රිරෝද රථයි” ඔහු සඳහන් කරයි.

(Sunday times) පුවත්පත ඇසුරෙනි.
♦ දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරෑ l පුෂ්පකුමාර ජයරත්න

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00