2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පස්ස ගිනිගන්න ලෙඩේ

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1772

තරුණ මහලු භේදයකින් තොරව හැමදෙනා තුළම හටගත හැකි රෝගයක් වන අර්ශස් රෝගය එදිනෙදා වැඩ කටයුතුවලට බෙහෙවින්ම බලපෑම් ඇති කරන රෝගී අවස්ථාවකි. මෙවැනි රෝගයකින් පෙළෙන පුද්ගලයන් නිතරම පාහේ නොසන්සුන්තාවයක් පෙන්නුම් කරන අතර බොහෝවිට ඔවුන් හැසිරෙන්නේද ආවේගකාරී ස්වභාවයෙනි. අද අපේ වෙදකමෙන් අර්ශස් රෝගය ගැන කතා කරන්නට සිතුවේ එයද සමාජයේ බහුලවම දැකිය හැකි රෝගයක් වන නිසාය. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය චමිත් චන්ද්‍රසේකර මහතායි. 

ආයුර්වේද මතයට අනුව අර්ශස් රෝගය හටගන්නේ ගුදයේ මාංශපේෂීවල සිදුවන අධික වර්ධනය වීමක් නිසයි. අපේ ශරීරයේ විවිධ ස්ථානවල මාංශ අංකුර හටගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව ගුද ප්‍රදේශයේත් මාංශ අංකුර හටගන්නවා. ශරීරයේ වෙනත් ස්ථානවල මාංශ අංකුර හටගත්තම අපි ඒවා හඳුන්වන්නේ චර්ම කීල ලෙසයි. ගුදයේ ඇතිවන මාංශ අංකුර අර්ශස් විදිහටයි දක්වන්නේ.

ප්‍රධාන වශයෙන්ම ගත්තොත් ගුදයේ මාංශපේෂි වර්ග තුනක් තියෙනවා. ආයුර්වේදයේදි මෙම මාංශපේෂි හඳුන්වන්නේ ගුදවලි ලෙසයි. ප්‍රවාහිනී, විසර්ජනී හා සංවරනී යන මෙම ගුදවලි ආශ්‍රිතව ඇතිවන අංකුර තමයි අර්ශස් කියලා හඳුන්වන්නේ.

රෝග වර්ගීකරණය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ආකාරයට වාත, පිත, කප යන දෝෂ තුන සමතුලිතව පවතින තාක්කල් යම් පුද්ගලයකු රෝගී වන්නේ නැත. එහෙත් එම දෝෂ තුනෙහි යම් යම් විෂමතාවයන් ඇතිවන්නේ නම් එම විෂමතාවයන් හේතුවෙන් සිදුවන වෙනස්කම් නිසා රෝග හටගැනේ. අර්ශස් ඇතිවීම කෙරෙහිත් වාත, පිත, කප යන දෝෂ තුනේම විෂමතාවයන් හේතු වේ.

මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම ආකාර කිහිපයකටම වර්ගීකරණය කිරීමක් සිදුකොට ඇති අතර ආයුර්වේදයේ ප්‍රධාන ආචාර්යවරුන් වන චරක ආචාර්යවරයා හා සුශ්‍රැත ආචාර්යවරයා රෝගය හටගැනෙන ආකාරය පිළිබඳව විස්තර කොට ඇත.

චරක ආචාර්යවරයා පවසා ඇති ආකාරයට වාතජ, පිත්තජ, කපජ යන දෝෂයන්ගෙන් ඇතිවන අර්ශස් අවස්ථා මෙන්ම මේ ත්‍රිත්වයම එකතුවීමෙන් ඇතිවන සන්ධිපාදිත නම් අර්ශස් රෝගී අවස්ථාවක්ද ඇත. ඊට අමතරව රක්තය දූෂණය වීම නිසාද සහජ, එහෙමත් නැතිනම් උපතින්ම ඇතිවන අර්ශස් අවස්ථාවන් ගැනද සඳහන් කර ඇත. එනම් තම පරම්පරාවේ කාට හෝ අර්ශස් රෝගී තත්ත්වයක් පැවතුණේ නම් එය ඊළඟ පරම්පරාවටද ගමන් කිරීමේ හැකියාව ඇත.

සුශ්‍රැත ආචාර්යවරයාද මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ වාතජ, පිත්තජ, කපජ යන දෝෂයන්ට අමතරව වාතජ - පිත්තජ, කපජ - පිත්තජ ආදී වශයෙන් දෝෂ දෙකක් එක්වීමෙන්ද අර්ශස් රෝගය ඇතිවිය හැකි බවයි.

මීට අමතරව බාහිර හා අභ්‍යන්තර ලෙසද අර්ශස් රෝගය වර්ග කෙරෙන අතර බාහිර අර්ශස් අවස්ථාවේදී ගුදයේ බාහිර ප්‍රදේශය පරීක්ෂා කිරීමෙන් මාංශ අංකුර දැකගැනීමේ හැකියාව ලැබේ. අභ්‍යන්තර අර්ශස් රෝගී අවස්ථාවේදී මාංශ අංකුර බාහිරව දර්ශනය නොවන අතර ගුදය අභ්‍යන්තරයේ සිදුකරන පරීක්ෂා කිරීම්වලදී එය හඳුනාගත හැකිය.

රෝගය හටගන්නේ

අර්ශස්වලදී සිදුවන්නේ ගුදය ආශ්‍රිතව ඇති රුධිර නාලයක් විශාල වී අදාළ මාංශපේෂිත් සමඟම ඉදිරියට වර්ධනය වීමයි. මෙවැනි රෝගයක් හටගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ අග්නිමාන්දයයි. එනම් මද ගින්නයි.
වාතජ, පිත්තජ හා කපජ යන දෝෂ තුනේ විෂමතාවයන් හෝ බාහිර හේතුවක් නිසා අපේ ආහාර ගැනීමේ හා ආහාර ජීර්ණය වීමේ හැකියාව අඩුවීම හැඳින්වෙන්නේ අග්නිමාන්දය ලෙසයි. අර්ශස් සඳහා ප්‍රතිකාර කිරීමේදී මූලික වශයෙන්ම කළ යුත්තේ අග්නිමාන්දය යන තත්ත්වය වළක්වා ගැනීමයි. එනම් ආහාර ලබාගැනීම හා ජීර්ණය වීම නිසියාකාරව පවත්වාගැනීමයි.

ඉස්සො දැල්ලො කකුළුවෝ කන්න එපා

මිනිසාගේ ශරීර ස්වභාවය ගත් විට වාතජ, කපජ, පිත්තජ යන ප්‍රකෘති ස්වභාවයන්ගෙන් යුක්ත වන අතර මේ එක් එක් ප්‍රකෘති ස්වභාවයන්ගෙන් යුත් පිරිස් තම තමන් ලබාගන්නා ආහාර ගැනද සැලකිලිමත් විය යුතුය. නිදසුනක් ලෙස මුහුණේ කුරුළෑ අධික, නිතරම පිපාසය දැනෙන පුද්ගලයකු පිත්තජ ප්‍රකෘතිතාවකින් පෙළෙන්නකු විය හැකි අතර පිත යන දෝෂය මඟහැර ගන්නා ආහාර ගන්නවා වෙනුවට පිත වර්ධනය කරන ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ වැනි ආහාර ලබාගන්නේ නම් සිදුවන්නේ තමන්ගේ තිබෙන දෝෂය තව තවත් වැඩිවීමයි. එය හඳුන්වන්නේ විරුද්ධ භෝජන වැළඳීම ලෙසයි. විරැද්ධ භෝජන වැළඳීමද අර්ශස් රෝගය ඇතිවීමට හේතුවකි.

නිතර ස්ත්‍රි සේවනයත් හේතුවක්

දණහිස් හකුලුවාගෙන වැඩි වේලාවක් එකතැන ඉඳගෙන සිටීම, අධික ලෙස ස්ත්‍රී සේවනය, නිතරම අශ්වයෝ ඇත්තු පිට යෑම, තද පෘෂ්ඨවල වැඩි වේලාවක් ඉඳගෙන සිටීම, මළ මුත්‍ර වේග ධාරණය (මළ මුත්‍ර පිටකිරීමට අවශ්‍ය වුවද එය නිතරම දරාගෙන සිටීම), අප ලබාගන්නා ආහාරවල ලී කෑලි, ගල්කැට ආදිය තිබී ඒවා මළ සමඟ පිටවීමේදී ගුද මාර්ගය තුවාල වීම ආදී හේතු නිසා අර්ශස් රෝගය හටගැනීමේ හැකියාව ඇත.

මළබද්ධය අර්ශස් රෝගයේ අවස්ථාවක්ද?

ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මළබද්ධය හා අග්නිමාන්දය යන අවස්ථා දෙක සියයට 75ක් පමණම රෝග සඳහා හේතු වේ. අර්ශස් රෝගියකු හටත් අනිවාර්යයෙන්ම මළබද්ධය තිබිය හැක. එහෙත් මළබද්ධය තිබූ පමණින්ම එය අර්ශස් රෝගී අවස්ථාවම වන්නේද නැත.

පිරිමින්ට වැඩියි

කාන්තාවන් හා පිරිමින් යන දෙපාර්ශ්වයටම අර්ශස් රෝගය වැළඳෙන අතර මෙහිදී විශේෂ හේතු සාධකයක් නොමැති වූවත් පිරිමින් අතර මෙම රෝගය වැඩිපුර හමුවීමේ ප්‍රවණතාවයක් ඇත. ලංකාව වැනි රටක රැකීරක්ෂා සඳහා වැඩිපුරම පිරිමි පාර්ශ්වය යොමුවීම නිසා ඔවුන්ගේ රැකීරක්ෂා, ආහාර රටා, නිසි පරිදි නිදානොගැනීම ආදිය ඇතැම්විට මේ සඳහා බලපෑ හැකිය.

අර්ශස් ඇතිවිට වැඩිපුර තරහ යනවාද?

අර්ශස් රෝගයෙන් පෙළෙන පුද්ගලයකුට ඔහුගේ දෛනික කටයුතු කරගෙන යාමේදී මතුවිය හැකි කායික හා මානසික අපහසුතා නිසා ඇතැම්විට වැඩිපුර තරහ යාමේ ස්වභාවයක් පැවතිය හැක. එහෙත් විද්‍යාත්මක පසුබිමක සිට විමසා බැලීමේදී ඒ සඳහා විශේෂ වූ හේතු කාරණා දැකගත නොහැක.

වෙනත් රෝගවල බලපෑමෙන් අර්ශස් ඇතිවිය හැකිද?

මුලින් සඳහන් කළ අග්නිමාන්දය රෝගයක් ලෙසද රෝග ලක්ෂණයක් ලෙසද හඳුනාගත හැකිය. මෙය රෝගයක් ලෙස සැලකීමේදී එහි අවසන් ප්‍රතිඵලය අර්ශස් අවස්ථාව විය හැකිය. ඊට අමතරව පරිකර්පිතා රෝගය, ගුදය ආශ්‍රිතව සිදුකෙරෙන ශල්‍යකර්ම නිවැරදිව සිදුනොකිරීම ආදිය නිසාද අර්ශස් රෝගය හටගත හැක. 

අර්ශස් හොඳ කරන්න පුළුවන්ද?

අර්ශස් රෝගය සාමාන්‍යයෙන් සැලකෙන්නේ සුවකිරීමට අපහසු රෝගයක් ලෙසයි. මේ සඳහා දීර්ඝ කාලයක් ගතවන අතරම රෝගය සුවකර ගැනීමට වෛද්‍යවරයාගේ මෙන්ම රෝගියාගේද දැඩි කැපවීම අවශ්‍යය. කෙසේවෙතත් සහජයෙන් ඇතිවන අර්ශස් ප්‍රභේදය හැරෙන්නට අනෙක් සෑම අර්ශස් රෝගී අවස්ථාවක්ම ඇත්තේ සුවකරගත හැකි අවස්ථාවේ වේ.

කොහිල නියම බෙහෙතක්

කොහිල යනු තන්තු බහුල ආහාරයක් බැවින් අර්ශස් රෝගීන් හට එය ඉතා ගුණදායකය. මෙවැනි ආහාර හරහා මළබද්ධය දුරුකරන්නා සේම මළ පිටවීමද පහසු කෙරේ. මීට අමතරව වැටකොලු, පතෝල, වට්ටක්කා, පැපොල් වැනි තන්තු බහුල ආහාරයන්ද මෙවැනි රොගීන්ට ගුණදායකය.

ගුණදායක ආහාර

♦නිවිති,♦කොල්ලු,♦බාර්ලි, එළකිරි,♦මුංඇට
,රතුලූනු ,♦මුදවපු කිරි,♦තම්බපු කඩල
, ♦ඌරුමස්
♦රතු පැහැ නැති සුදු පැහැයෙන් යුත් සැර නැති මාළු වර්ග
මෝල්ට්, කෝපි වැනි පානයන් අර්ශස් රෝගීන් සඳහා කිසිසේත්ම නුසුදුසුය.

දැනගත්ත ගමන් බෙහෙත් බොන්න

මෙම රෝගය මුලින්ම හඳුනාගැනීම හරහා සුවකර ගැනීම පහසු වන අතර රෝගයේ පූර්ව රූප ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවේදීම වෛද්‍යවරයකු වෙත යොමුවීම වඩා වැදගත්ය.

නිවෙසේදීත් ගොඩ වෙදකම්

මෙම රෝගයේදී රෝගියා පත්වන අපහසුතාවයන් මඟහරවා ගැනීමට නිවසේදීම සිදුකරගත හැකි ප්‍රතිකාර කිහිපයක්ම ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා නිරතුරුවම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට වගබලාගත යුතුය.

අවධාහනය ප්‍රතිකාර ක්‍රමය අර්ශස් රෝගීන්ට පමණක් නොව ගුද රෝග බොහොමයකට හොඳ ප්‍රතිකාරයක් වන අතර මෙහිදී සිදුකරන්නේ තම්බාගත් ඖෂධ කිහිපයක මුසුවක් බේසමකට දමා ඒ මත ඉඳගෙන සිටීමයි. මාංශ අංකුර පිටට පෙනෙන්නට තිබෙනවා නම් පංච පල්කළ (නුගපොතු, අට්ටක්කා පොතු, බෝපොතු, ගොරක පොතු, වේවැල් (මාවේවැල්) කසාය සාදා බේසමකට දමා උදේ හවස පැය භාගයක් පමණ ඒ මත ඉඳගෙන සිටීමෙන් සුවදායී බවක් ලැබේ. මේ හරහා මළබද්ධය, රුධිර ගැලීම ආදිය මඟහරවා ගත හැක. මීට අමතරව රුධිර ගලන ස්වභාවයේ ඇත්නම් ලුණුවිල කොළ ගෙන තල තෙල්වලින් මලවා එය අදාළ ප්‍රදේශයේ බැඳීමද සිදුකළ හැක. මෙයින් රුධිර වහනය අඩුවේ. එසේම නාරායන, නීලගාදී වැනි තෛල ආලේපනයද සිදුකළ හැක. බඳින ලද හාල්පිටි පොට්ටනියක් ලෙස සකසා එය මඳක් රත්කර අංකුර තැවීමද සිදුකළ හැක.

♦ හේමමාලා කුමාරි රාජකරුණා

අර්ශස් රෝගියකුගේ ලක්ෂණ

යම් රෝගයක් හඳුනාගැනීමේදී එහි පූර්ව රූප ලක්ෂණ හා රූප ලක්ෂණ කෙරෙහි අවධානය යොමුකරන අතර පූර්ව රූප ලක්ෂණවලදී යම් පුද්ගලයකු හට එම රෝගය හටගැනීමට හැකියාවක් පවතින බවට නිගමනය කළ හැකි අතර රූප ලක්ෂණ හරහා ස්ථිරවම එම රෝගය පවතින බවට හඳුනාගත හැක.

අර්ශස් රෝගයේ පූර්ව රූප ලක්ෂණ වන්නේ උණ, ඇඟපත වේදනාව, පිපාසය, දැවිල්ල, සිහිය නැතිවීම, මළපහ කරන විට ද්‍රව මළත් සමඟ රුධිරය පිටවීම ආදිය දැකිය හැක. රූප ලක්ෂණ, එනම් රෝගය ඇතිවූ විට රෝගියාට ආහාර ගැනීමේ අපහසුතා, දිරවීමේ අපහසුතා, මළ පිටනොවීම, මළ පිටවුණත් එය දැඩි වේදනාකාරී වීම, මළ පිටවීමට පෙර හෝ මළ පිටවූ පසු රුධිරය පිටවීම ආදිය දැකිය හැකිය. මෙම රෝග ලක්ෂණද එක් එක් අර්ශස් ප්‍රභේදය අනුව වෙනස් වේ.

ආහාර පාලනය අනිවාර්යයි

ආහාර පාලනය අර්ශස් රෝගියකු විසින් අනිවාර්යයෙන්ම කළ යුත්තකි. විශේෂයෙන්ම අර්ශස් රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී යම් පුද්ගලයකු හට ඇති අර්ශස් ප්‍රභේදය අනුව ප්‍රතිකාර සිදුකෙරෙන අතර මේ එක් එක් ප්‍රභේදය සඳහා ලබාගත යුතු ආහාරද වෙනස් විය හැකිය. 

විශේෂයෙන්ම ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, කකුළුවෝ, අච්චාරු, සෝස් වැනි සියලුම ආහාර අර්ශස් රෝගියකු විසින් නැවැත්විය යුතුය. මෙවැනි ආහාර දිගටම ලබගැනීමෙන් සිදුකරන ප්‍රතිකාරවලින් ඵලක් නොවන අතර රුධිරය වහනය වීමද නැවැත්විය නොහැකි වේ. මීට අමතරව කොස් ඇට, වම්බටු වැනි ආහාරවලින් වැළකී සිටීමද කළ යුතු වේ. එසේම ආහාර ලබාගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර ලබාගැනීමද කළ යුතු වේ. එසේම ආහාර වෙලාවට ගැනීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. මේ ආකාරයට ආහාර ලබාගැනීමේ දී එහි පෝෂණය සම්බන්ධයෙන්ද සැලකිලිමත් විය යුතු අතර හැකිතාක් තිරිඟු පිටි බහුල ආහාරවලින්ද වැළකී සිටිය යුතුය.

රෝගයෙන් වැළකීමට නම්...

මෙවැනි රෝග හටගැනීමෙන් වැළකීමට හැකි තරම් පෝෂ්‍යදායී ආහාර වර්ග ලබාගැනීම, කොළ පැහැති එළවලු වර්ග ආහාරයට ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම, නිතර  එකම ඉරියව්වෙන් නොසිටීම (ඉඳගෙන හෝ හිටගෙන සිටීම), ව්‍යායාම්වල නිරත වීම, හිතේ තරහ මරහ ඉවත් කර නිතරම සතුටින් සිටීම, හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම ආදී සියල්ලක්ම සිදුකළ යුතුය.

 

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00