2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මීගමු ධීවර ගමක සුන්දර විලාසාරක්කු Villa sarakkuwa

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 230

පමුණුගම කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මුහුදුබඩ කුඩා ධීවර ගම්මානයක්. එහි සුන්දර වෙරළ තීරය නිසා සංචාරකයින් ඒ වෙත ඇදී ආවත් එය සංචාරක ගමනාන්තයක් විදිහට නම් ප්‍රසිද්ධ වෙලා නැහැ. මේ අපූරැ ගැමි පරිසරයේ පිහිටලා තියෙන තවත් කුඩා ධීවර ගමක් තමයි සාරක්කුව කියන්නෙ.

මේ කුඩා ගමට ඒ නම ලැබීම පිටිපස්සෙත් අපූරු කතන්දරයක් තියෙනවා. ලන්දේසින් පෘතුගීසීන් එක්ක ලංකාවෙ මුහුදුබඩ පළාත්වල අයිතිය වෙනුවෙන් යුද්ධ කරපු කාලෙදී මීගමුව ලන්දේසින් අතට පත්වුණාම සරක් කියන පෘතුගීසි ජාතික නාවිකයා හැංගිලා හිටිය ගම් ප්‍රදේශය තමයි සාරක්කුව නමින් අද හඳුන්වන්නෙ. ඔහු හැංගිලා හිටියා වගේම මේ ගමේ ඉඳන් මීගමුව කලපුවට හොර රහසේ ඇළක් කපලා ඒ හරහා ඔහු පැනලා ගිය බවත් සාරක්කුව ගමේ ජනතාව අතර තියෙන ප්‍රවාදයක්.

මේ වගේ පසුබිමක් තියෙන සාරක්කුව ගමේ පිහිටලා තියෙන අපූරු සංචාරක නවාතැනක් තමයි විලා සාරක්කුව. මීගමුව - හැඳල මාර්ගය අසල මේ කුඩා හෝටලය පිහිටා තිබෙන්නේ මීගමුව කලපුවට යාබදවයි. 2014 වසරේදී ඇරඹුණු මේ හෝටලයේ සියලු නවීන පහසුකම් සමඟ වායු සමීකරණය කරන ලද කාමර 3ක් තිබෙනවා. 

කුඩා ප්‍රමාණයේ හෝටලයක් වුණත් ඔවුන් ලබාදෙන උසස් මට්ටමේ සේවාවත් අවට පරිසරයේ සුන්දරත්වයත් නිසා බොහෝ විදෙස් සංචාරකයින් මෙම ස්ථානයට ඇලුම් කරනවා. 

කලපු මායිමේ කඩොලාන ගාලට යාබද ව නිර්මාණය කරලා තියෙන පිහිනුම් තටාකයත් මේ හෝටලයට තවත් සුන්දරත්වයක් එක්කරනවා. ඒ වගේම ඊට යාබදව බාබකියු උදුනකුත් එළිමහන් මුළුතැන්ගෙයකුත් පිහිටලා තිබෙනවා. 
විලා සරක්කුව වෙත එන සංචාරකයන්ට මසුන් ඇල්ලීමේ අත්දැකීම විඳ ගැනීමටත් පාපැදිවල නැඟී අවට සිරි නැරඹීමටත් පුළූවන්. මෙතැන සිට මීගමුව නගරයට ඇත්තෙත්  බොහොම පොඩි දුරක්. ඒ නිසා ලන්දේසි ඇළ, ලෙල්ලම මාළු වෙළෙඳපොළ, ලන්දේසි කොටුව, මුතුරාජවෙල වගේ තැන් ගොඩක් දැකබලා ගන්නත් අවස්ථාව තිබෙනවා. 

- සනත් වීරසූරිය
සේයා රූ - නීල් සිරිවීර

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00