බල්ලා, පූසා, හරකා, මී හරකා, බූරුවා, ඌරා, කුකුළා ආදී වචන, මිනිසාගේ ශබ්ද කෝෂයට එකතු වූයේ බොහෝ ඈතක සිටය. ඒ අතුරින් බල්ලා, පූසා පමණක් නොව කුකුළාද ගෘහස්ථ සත්වයන් ලෙස සැළකිය හැකිය. බල්ලෙක්, පූසෙක් නැති ගෙයක් දොරක් නැති තරම්ය. අනෙක් සතුන් නම් හැදෙන්නේ, නිවෙසින් පිටතය. එහෙත්, මා කලකට පෙර සිටි නිවෙසට, අසල්වැසි නිවෙසේ කවුළුවකින් නිතරම වාගේ හරකුන් දක්නට ලැබුණි. ඊට හේතුව වූයේ එම නිවෙසේ හිමිකරුවා, පශු වෛද්‍යවරයකු වීමය. පිටපළාත්වලින් ගෙන එන රෝගීන්ට නේවාසික ප්‍රතිකාර කිරීම සඳහා එම නිවෙසේ කාමරයක් දෙකක් වෙන්කර තිබුණි.
පශු වෛද්‍ය මහතාගේ භාර්යාව හොඳ වර්ගයේ බලු පැටවුන් විකිණීමේ සුළු ව්‍යාපාරයක් කළාය. ඒ නිසා ඔවුන්ගේ ගේට්ටුවේ, මෙබඳු දැන්වීමක් දක්නට විය.
Buy one – get one free
(එකෙන් මිලදී ගන්න විට, තව එකෙක් නොමිලේ.)
දඩයම් යුගයේ සිටම, සුනඛයා නොහොත් බල්ලා මිනිසාගේ හිතවතෙකි. එසේ වූ පළියට මිනිසා තවකෙකුට තම මිතුරෙකු හඳුන්වා දෙන විට, අනේ ඒ මිනිහා බල්ලෙක් වගේ මට හිතවත්* යැයි කියන්නේ නම් නැති. බලු හිතවත්කම්, වෙනම වර්ගයකි.
මිනිසා, බල්ලා සමඟ කතා කරයි. එහෙත් බල්ලා කිසිවිටෙකත් මිනිසා සමඟ කතා නොකරයි. හේතුව, මිනිසාට මිස බල්ලාට භාෂාවක් නැතිවීමය. එහෙත් ඌට සංඥා භාෂාවක් ඇත. බල්ලා හිතවත්කම පාන්නේ වලිගය වැනීමෙනි. කුසගිනි දැනුණු විට බුරයි. ආගන්තුකයකු දුටු විට, වෙනත් විදිහකට බුරයි. චුංපාන් යන විට, උඩු බුරලයි.
මිනිසා සතු පුදුම පුරුද්දක් ඇත. එනම් තමාට හිතවත් සතුන්ගේ නම්, වෙනත් පුද්ගලයන්ට බැණ වැදීම හෝ අපහාස කිරීම සඳහා යොදා ගැනීමය. බලු වැඩ, හරක් වැඩ, ඌරු වැඩ වැනි යෙදුම් භාෂාවට එක්වන්නේ ඒ අනුවය. ඊට අමතරව තමුසෙ මහ බල්ලෙක් බුරුවෙක් වගේ කතා කරන්න එපා. ඌරෙක් වගේ හැසිරෙන්න එපා වැනි අපහාසාත්මක කතාද භාවිතයට ගැනුණි. ඒ අසරණ සතුන්, ඒ බවක් දනී නම්, මිනිසා සමඟ ඇති සියලු හිතවත්කම් සබඳකම් වහාම ක්‍රියත්මක වන පරිදි, නවතා දමනවාට සැකයක් නැත.
සතුන්ගේ නම් කියා බැණ ගැනීම්වලට පංති භේදයක්, ජාති භේදයක්, පක්ෂ භේදයක් නැත. මුළු මහත් රටකට, ජාතියකට ආදර්ශයක් විය යුතු. ලොකු ලොකු තැන්වලද සතුන්ගේ නම් කියනු අසන්නට ලැබේ.
විනයක් නැති රටකට අනාගතයක්ද නැතැයි කියමනක් ඇත. එසේනම් රට කරවන තැන්වල සිටින ඇත්තන් තුළ විනය ආරක්ෂා විය යුතුය. එය එසේ නොවන්නේ නම්, ගිහි විනය පිළිබඳ සමුළුවක් පවත්වා නීතිරීති මාලාවක් සම්පාදනය කරගත යුතුය.
එහිදී අංක එකට නියම කරගත යුත්තේ, සතුන්ගේ නම් කියමින්, මිනිසුන්ට පරිභව කිරීමෙන් වැළකී සිටීමය. කිසිවෙක් එසේ සතෙකු යොදාගන්නේ නම්, ඊට හේතු දැක්විය යුතුය. නිදර්ශන සැපයිය යුතුය. එසේ නොකළහොත් සත්ව හිංසා හෝ සත්ව අයිතිවාසිකම් පනතක් යටතේ දඬුවම් කළ යුතුය. දඬුවම් කාලයෙක් පසු, නැවත සමාජයට මුදා හරිනවිට, ගෙල වටා, බලු කර පටියක් පැළඳවිය හැකිය. එවිට බලුකතා, ගොන් කතා කියූ උදවිය, අනෙක් මිනිසුන්ගෙන් තෝරා බේරාගත හැකිය.
සුද්දන්ගේ පාලන කාලයේ, උන් අපට ඇඟ බද්ද, ඉස්තෝප්පු බද්ද පමණක් නොව බලු බද්ද නම් වූ, අමන බද්දක්ද පැනවූහ. මෙකී බලු බද්දද, බලු කතා කියන උන් සඳහා නැවත පැනවිය හැකිය. සත පහක වැඩක් නොකර ලක්ෂ ගණනින් ලබන වැටුප්වලින්, එම බදු කපා, මහා භාණ්ඩාගාරයටම හැරවිය හැකිය.
හරුප, කුණුහරුප, හබ්බ, කුණු හබ්බ, නිකං කුණු හරුප හා තිත්ත කුණු හරුප ආදිය එක් කළ විට, එතැන උපදින්නේ අසභ්‍ය වදන් කෝෂයකි. ගොන්, බලු, වල් බූරු කතාද ඊට එක් කළ විට (උප ග්‍රන්ථයක් වශයෙන්) අගනා අසභ්‍ය සාහිත්‍ය වංශයක් බිහිකළ හැකිය.
ඇතැම් අසභ්‍ය වචන, අසභ්‍ය නොවන්නේ යැයි කෙරුණු, භාෂාත්මක විවරණයක්ද, පහුගිය කාලේ දියවන්නාව පැත්තෙන් අසන්නට ලැබුණි. එහි සිටින භාෂා ප්‍රේමීන්ගේ මුලිකත්වයෙන්, දියවන්නා මහ පොතෙන් කපාහැරෙන සියලු හරුප කතා එක්තැන් කොට වෙනම පොතක් කළහොත්, එය අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා හේතුවනු නොඅනුමානය. අහසින් වැටෙනා එක් දිය බිඳක් හෝ මුහුදට යා නොදී රැක ගතයුතු යැයි මහ පැරකුම්බාවන් කියූවාක් මෙන්, මහජන මුදලින් යැපෙන මහ සභාවල කියැවෙන හරුපයක්, බලු කතාවක් හෝ අපතේ යා නොදී රැකගැනීම නොවටනේද?
සභා ගර්භයේදී කියැවෙන හොඳම හරුපය හෝ බලු කතාව සඳහා, වර්ෂිකව සම්මානයක් පිරිනැවීමද සුදුසු යැයි යෝජනා කළ හැකිය. සුනඛ භාෂා ශුරී, වෘෂභ ශිඛාමනී, අසභ්‍ය තිලක වැනි යෙදුමක් ඒ සඳහා යොදාගත හැකිය. (කොතැන සිටියත්, දක්ෂයා අගය කළ යුතුය. ඒය අනාගත පරම්පරාවට ආදර්ශයකි.)
දියවන්නාවේ ගැටුම් සමථයකට පත්කිරීම සඳහා, තවත් යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. පාර්ලිමේන්තුවද Working From Home* (නිවසේ සිට වැඩ කිරීම) ක්‍රමයට හුරුකළ යුතුය. එය කොරෝනා කාලයට පමණක් නොව, සදාකාලයටම වන්නේ නම් මුළු මහත් සිරිලංකා වාසීන්ගේම හිතසුව පිණිස වනු ඇත.
- කපිල කුමාර කාලිංග