2021 ජුලි 24 වන සෙනසුරාදා

තණ්හාය ජායතී සෝකෝ

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 288

වාසිබෝලන්තයේ විසූ එක්තරා පුද්ගලයෙක් බොහෝ වෙහෙස මහන්සි වී, ධනවත් ව්‍යාපාරිකයෙක් බවට පත්වූයේය. කොතෙක් මිල මුදල්, දේපල තිබුණත් ඔහුගේ තණ්හාවේ නම් කෙළවරක් වූයේ නැත. මරණ මංචකයේ සිටියදී පවා ඔහු කල්පනා කළේ මුදල් ගැනමය.

ව්‍යාපාරිකයාට පුතුන් තිදෙනෙක් සිටියහ. වැඩිමලා ලිපිකරුවෙකි. දෙවැන්නා විදුහල්පතිවරයෙකි. තෙවැන්නා දේශපාලනඥයෙකි. අවසන් මොහොතේදී තම පුතුන්ගෙන් ඉල්ලීමක් කළ ව්‍යාපාරිකයා තම තමන්ට පුළුවන් හැටියෙන් මෘත දේහයේ දෑත මත මුදලක් තබන මෙන් පැවසීය.

පියා මියගිය පසු ඔහුගේ අවසන් ඉල්ලීමට ගරු කළ වැඩිමල් පුතා - ලිපිකරුවා - පැමිණ මෘත දේහයේ දෑත් මත රුපියල් ලක්ෂයක මුදලක් තැබීය.
දෙවැනුව පැමිණි විදුහල්පති පුතා රුපියල් දෙලක්ෂයක් තැබීය.

තෙවැනුව පැමිණියේ දේශපාලක පුත්‍රයාය. මෘත දේහය මත වූ මුදල් දෙස බැලූ ඔහු රුපියල් පන් ලක්ෂයක චෙක් පතක් ලියා, එය සිය පියාගේ දෑත මත තබා, එහි තිබූ තුන් ලක්ෂයක මුදල් තම සාක්කුවේ දමා ගත්තේය.
මා මේ කතාව කියූවේ දේශපාලනඥයන්ගේ තරම කීමට නොව තණ්හාවේ හැටි ගැන අවබෝධ කරවීමටය. කෙසේ වෙතත් තමන්ගේ පියාටත් පොකට් ගහන පොලිටික්ස්ලාද නැතුවා නොවේ.
ගඟ යන ඇත් කුණෙහි වැසූ කපුටාගේ කතාවද තෘෂ්ණාධික බවේ විපාක කියා දෙන්නකි. ජනප්‍රිය බණ කතාවක් වන එය අසා සිටින උපාසක උපාසිකාවෝ දෙව්ලොවට ඇසෙන්නට සාදුකාර දෙති. එහෙත් සමහරුන්ට ඒ කතාබහ අමතක වී ඉඩමට, පර්ච් එකට, වැටට, පාරට, කොස්ගෙඩියට මිනීමරා ගනිති.

ගඟ දියේ ආ ඇත්කුණේ වැසූ කපුටාට එය රස වැටුණෙන් මුහුදට යන තෙක්ම දැනුණේ නැත. අවසානයේ කපුටාද මුහුදට වැටි මත්ස්‍යයන්ට ගොදුරක් විය.
හිමාලයේ වාසය කළ ඍෂිවරයෙක් කිසියම් අවශ්‍යතාවකට අහසින් ගමන් කරද්දී මුහුද මත පාවෙන කපුටු පිහාටු දකී. නුවණැසින් බලන එතුමාට සිදුව ඇති දෙය පැහැදිලි වෙයි. පසුව ඍෂිවරයා මේ කතාව ගිහියන්ට දේශනා කරයි. එය අසන්නට පැමිණ සිටි රාජ්‍යයන් සතක රජවරු සත් දෙනෙක් රජකම අතහැර පැමිණ පැවිදි වූ බවද බණකතා සාහිත්‍යයෙහි දැක්වෙයි. ඒ කාලේ රජවරු එසේය. දැන් කාලේ නම් උදේ සිට සවස දක්වා බණ ඇසුවත් රජකම තබා ඇමැතිකමවත් දමා යන කෙනෙක් නම් නැත. ඒ නිසා සියලු තණ්හාවන්ට වඩා බල තණ්හාව ලොකු යැයි සිතිය හැකිය.

එහෙත් කෝටි ප්‍රකෝටි වටිනා යාන වාහන, සුපිරි මන්දිර, පදවි තානාන්තර යන මේ සියලු දෑ ස්ථාවර දේවල් නොවන බව බලවතුන්ට නිකමටවත් සිහි නොවෙයි. සදාකාලිකව මෙලොව සිටින්නට පැමිණි අමරණීයයන් යැයි සිතමින් බලයට, ධනයට පොරකති. මෙහි ඇති ඛේදවාචකය වන්නේ තෝරු මෝරු පොරකන විට ඊට මැදිවන අප වැනි හාල්මැස්සන් තැලී පොඩිවී නෑසී යාමය.

ජීවත්වන මිනිසුන්ට මරණානුස්මෘතිය නැතිවීම නොහොත් මාරයා අමතකවීමද තණ්හාවෙන් පොදි බැඳ ගැනීමේ සිරිතට හේතුවකි. කොවිඩ් වසංගතයෙන් සිදුවූ එක් හොඳක් නම් කාට කාටත් මාරයා සිහිපත් වීමය.
මට, මාරසිංහ නම ඇති මිත්‍රයන් දෙතුන් දෙනෙක් සිටි අතර පුදුමයකට මෙන් ඔවුන් සෑමදෙනාම මාරයාටවත් බය නැති ජාතියේ මිනිස්සුය. එක් මාරසිංහ කෙනෙක් %මාර හයේ^ පාරවල් ගැසීමේ හපනෙකි. තව මාරසිංහයෙක් විප්ලවවාදියෙකි. මාරයාටවත් බය නැතිව සිටි පුද්ගලයකු වුවද ඔහු අකාලයේ මාරයාට බිලි විය. තුන්වෙනි මාරසිංහයා ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙකි. ඔහු ප්‍රතිවාදියාට නොකවුට් පහර එල්ල කිරීමේ ශූරයෙකි. ඔහු තමන්ගේ සටන් උපක්‍රමය පිළිබඳව මෙසේ කීවේය.
මම හිතනවා මට ළංවෙන්න යන්නෙ මාරයා කියලා. මගේ නම මාරසිංහනෙ. මම මොකටද මාරයට බයවෙන්න කියල හිතනවා. එතකොට මට මාරාවේශ වෙලා ඉස්සර ඉන්න මාරයාට ගහගෙන ගහගෙන යනවා.* බොක්සිං මාරේද අකාලයේ මියගියේ කිසිවකුට හැමවිටම මාර පරාජය කළ නොහැකි බව ලොවට කියාපාමිනි.
මාරයාට ඇති මර බිය නිසාදෝ සමහරු ඔහුට ගෞරවාන්විත ලෙස කතා කිරීමට පෙළඹුණහ. ලංකාවේ ප්‍රථම සිංහල නාඩගම ලෙස සැලකෙන &ඇහැළේපොළ* ලියුවේ උඩරට විසූ පිලිප්පු සිංඤ්ඤොය. ඔහු විසින් නාඩගම් ශෛලියෙන් ලියූ ගීතයක් ලෙස සැළකෙන නිමල මෝක්ෂ ප්‍රකාශ* ගීතයෙහි මාරයා ගැන සඳහන් වන්නේ &මාර උන්නැහේ* යනුවෙනි.
ආර බලැති මාර උන්නැහේ 

බෝම වික්‍රම ඇති ඒ උන්නැහේ
ගිරි මේඛල හස්තිරාජ - පිට පැන නැගි මාර උන්නැහේ....
මාරයාට උන්නැහේ කියමින් ගරු නම්බු දුන් නමුදු පිලිප්පු සිඤ්ඤෝ උන්නැහේවද මාරයා රුගෙන ගියේය.
අප සමාජය තුළ අධ්‍යක්ෂවරු බොහෝය. ඒ අතර සමාගම් අධ්‍යක්ෂවරු, කලා අධ්‍යක්ෂවරු, චිත්‍රපටි හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු ආදී වශයෙන් විවිධ වෘත්තිකයෝ වෙති. මේ සියලුදෙනා අතරින් නැතිවම බැරි අධ්‍යක්ෂවරයෙකු වන්නේ &ෆියුනරල් ඩිරෙක්ටර්* නොහොත් අවමංගල්‍ය අධ්‍යක්ෂය. ඕනෑම ලොක්කකුගේ අවමඟුල් පෙරහැරේදී ඉදිරියෙන්ම යාමේ අවස්ථාව ඔහුට හිමිවෙයි.
බැලූ බැල්මට ඔවුන්ගේ අත්දැකීම් ශෝකාකූල යැයි සිතිය හැකි නමුදු රසවත් සිද්ධීන්ද නැතුවාම නොවේ.
එක්තරා අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකුට මෘත දේහයක් රුගෙන තරමක් දුර පළාතකට යාමට සිදුවිය. අතරමගදී ගමන් වෙහෙස යාමටත් එක්ක තැබෑරුමක මොහොතක් ගත කළ ඔහු නැවත ගමන් ආරම්භ කළේය. ඉදිරිපස අසුනේ සිටි ඔහු නිදි කිරන්නට විය. එක්වරම අවමංගල රථයේ පිටුපසින් දිගුවූ අතක් ඔහුගෙ උරහිසට තට්ටුවක් දැම්මේය.

මහත්තයා, මට ගින්දර ටිකක් දෙනවද?
අවමංගල අධ්‍යක්ෂවරයාට ඉහින් කණින් දාඩිය දැම්මේය. තැබෑරුම අසල සිටි වෙරිකාරයෙක්ද රථයට ගොඩ වී ඇති බව දැනගත්තේ පසුවය.

විදේශ රැකියාවක යෙදෙන මහතෙකුගේ භාර්යාව මිය ගියාය. ඒ මහතා මෙරට අවමංගල්‍ය ශාලාවකට කතා කර තමා ඉක්මනින් එන බවත් එතෙක් මළසිරුර ඇය ජීවත්ව සිටි කාලයේදී මෙන්ම ස්වභාවිකව සකස් කර තබන ලෙසත් දැන්වීය. අවමංගල්‍ය අධ්‍යක්ෂක මියගිය කත ගැන අවශ්‍ය තොරතුරුද ලබා ගත්තේය. සිය රට ආ අර පුද්ගලයාට දැකගත හැකිවූයේ, ජංගම දුරකථනයද කණේ තබාගෙන පෙට්ටියේ වැතිර සිටින බිරිඳගේ මළ සිරුරය.

 කපිල කුමාර කාලිංග