සුප්‍රකට ඉන්දීය රංගධර අමිතාබ් භච්චන්, සිය පුතු අභිෂේක් සමඟ ආහාර ගනිමින් සිටි මොහොතක ඔහුට මෙසේ පැවසීය.
පුතා.. අපි මේ කන බොන දේවල් පිටුපස ඉන්නෙ අපේ චිත්‍රපට නරඹන රසික ජනතාව බව කවදාවත් අමතක කරන්න එපා.
දැනට සිරගතව සිටින, ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ හා නළු රන්ජන් රාමනායක, එහි සිට ලියූ ලිපියකද ඒ කතාව සඳහන් කර තිබුණි. තමන්ට ආහාරය පවා ලබාදෙන්නේ, රසිකයන් විසින් බව (ඔවුන් චිත්‍රපට නැරුඹීමට වැය කරන මුදලින්) කෑම මේසයේදී සිහිපත් කිරීම, බච්චන් වැනි මහා නළුවකු තුළ සිටින නිහතමානී මනුෂ්‍යයා පිළිබිඹු කරවන්නකි.
කෑම මේසයේදී, අතැඟිලි බැඳ, තමන්ට ආහාරය ලබාදීම පිළිබඳව, දෙවියන් වහන්සේට ස්තූති කිරීම, ලෝකයේ කිතුනු බැතිමතුන්ගේද අගනා සිරිතකි.
අන්‍ය ආගමිකයනටද එය කළ හැකිය.
මාක්ස්වාදීනටද එම සිරිත අනුගමනය කළ හැකිය. තමන්ට ආහාර ලබාදෙන, ගොවි - කම්කරු ජනයාට ස්තූතිය පළ කිරීමෙනි.
ආහාර යනු, කෑම මේසයට ඉබේ පහළවෙන දේවල් නොවේ. නිපදවන්නාගේත්, භුක්ති විඳින්නාගේත් වෙහෙස මහන්සියෙන් ලැබෙන්නකි.
දේශපාලනඥයන්ටද, කෑම මේසයේදී, මෙසේ කල්පනා කළ හැකිය.
මට මේ ආහාර ලබාදෙන්නේ, මට ඡන්දය දුන් ජනතාවයි.
ඒ අතරම, ඔහුට අවශ්‍ය නම් මෙසේද මෙනෙහි කළ හැකිය
පාර්ලිමේන්තු ආපන ශාලාවේදී හෝ නිවෙසේදී මට රස බොජුන් භුක්ති විඳිය හැකිය. එහෙත් මගේ ඡන්දදායකයන්ගෙන් බහුතරය, එදා වේල සඳහා බොහෝ වෙහෙසෙති. මා මෙසේ කුස පුරවාගන්නා අතර, ඡන්දදායකයන්ගෙන් බොහෝ දෙනා, පාන් කැබැල්ලකින්, රොටියකින්, තෝසයකින් කුසගින්න මැඩ ගනිති. කහට කෝප්පයක් බී, නිදි පැදුරට යන මන්දපෝෂිත දරුවන්ද මේ රටේ නැතුවා නොවේ.
මා වාසනාවන්තයෙකි. එහෙත් මට වාසනාව උදා කළ, ජනතාවගෙන් බහුතරය අවාසනාවන්තයෝය.
මා ආහාරයට ගන්නා සෑම බත් ඇටයක් වෙනුවෙන්ම ජනතාවට ණයගැති විය යුතුය. ඒ වෙනුවෙන් ඔවුන්ට කෘතඥ විය යුතුය. සේවය කළ යුතුය.
මට මෙන්ම ඔවුන්ට, රසවත් හා පෝෂ්‍යදායී ආහාර ලබාගත හැකි ආර්ථික මට්ටමක් ගොඩනැගිය යුතුය.
එසේ නොකරන තාක් කල්, මා මේ කන ආහාර, මට පත්තියන් නොවනු ඇත.
සෑම ආහාර වේලකට පෙරම, මෙසේ ජනතාවාදී මැතුරුමක යෙදෙන මෙන්, අපේ දේශපාලනඥයන්ට යෝජනා කළහොත්, ඔවුන් අපට පයිත්තියන් දැයි අසනු නිසැකය.
සිරි ලංකාව තුළ දේශපාලනයද වෘත්තියකි. බඩ රස්සාවකි. එය සේවයකැයි සිතන්නේ බයියෝ සහ ටොයියෝ පමණකි. දේශපාලනයෙන් හරිහම්බ කිරීම, සූරා කෑමක් නොවේ. ඒවා පරණ කතාය.
ඔවුන්ට ලැබෙන විශාල වැටුප්, යාන වාහන, නිවාස, විදේශ සංචාර සහ වෙනත් වරප්‍රසාද නීත්‍යානුකූලය. ඒවා ඔවුනට ලැබෙන්නේ ජනතා වරමිනි.
අපේ හොරා අපිට හොඳා යැයි කීමට තරම් භක්තිවන්ත ඡන්දදායකයන් (පාක්ෂිකයන්) සිටින රටක, දේශපාලකයාගේ බත්පතට එබී බැලීම, හිරේ විලංගුවේ වැටෙන දෙයක් වීමටද ඉඩ ඇත.
සිරි ලංකාව වැනි රටකට, මිනිසුන්ගේ කුස පිරවීමට වඩා වැදගත් වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමය. එසේ නොකළහොත්, ජාත්‍යන්තරයෙන්ම කොන් වී නව නිග්‍රහයට පත්වීමට ඉඩ තිබේ. අනිත් අතට, මේ රටේ මිනිසුන්ට, ඕනෑ වසක් විසක් කා, දිවි රුකගත හැකි බව, කවුරුත් දනිති. ඒ නිසා බඩ දෙවනුව, රට පළමුව යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුය.
කෙසේ වෙතත්, කෑම පිළිබඳ කතන්දර, නිර්වචන බොහෝය. කෑමට පෙර කතා මෙන්ම කෑමට පසු කතාද වෙයි.
ධර්මසිරි බණ්ඩාරනායකගේ ඒකා අධිපති නාට්‍යයේ එන, ඒකාධිපතියා, සිය මැති ඇමැත්තන් අමතා මෙසේ කියයි.
උඹලා ඕන දෙයක් ඉල්ලපල්ලා. හැබැයි රට විතරක් ඉල්ලන්ඩ එපා. ඒක මට කන්ඩ ඕනෙ.
ප්‍රේක්ෂකයෝ සිනාසෙති. අත්පොළසන් දෙති. ගෙදර යති. ඉන් පසු, අර ඒකාධිපතියාගේ ඉල්ලීමට ඉඩ දෙති.
%දියසේන කුමාරයා^ යනු සිරි ලාංකික මිනිසුන්ගේ සිහින කුමාරයෙකි.
ඔවුහු ඔහු එනතුරු බලා සිටිති. වරින් වර දියසේනලා පහළ වුවද, ඒ වෙස්මුහුණු ලා ගත් බොරුකාරයෝය.
සැබෑ දියසේන කුමාරයෙක් නම්, ඔහුට තෙල් මිල අඩු කළ හැකි විය යුතුය. බඩු මිල, ගෑස් මිල අඩු කළ හැකි විය යුතුය. ගුරු වැටුප් වැඩි කිරීමද කළ හැකිය. කොරෝනා භීතිය දුරු කළ හැකිය. ජනතාවට සහන ගෙනෙන, දුන් පොරොන්දු ඉටු කරන කාලයේ බජට් තැනිය හැකිය.
සිරි ලාංකිකයා තවමත් බලා සිටින්නේ, අන්න ඒ සැබෑ දියසේන එනතුරුය.
එක්තරා රටක ඇමැතිවරයෙක්, රාජකාරි කටයුත්තක් සඳහා, මානසික රෝහලකට ගියේය. එහි සිටි රෝගියෙක්, ඇමැති දැක මෙසේ ඇසීය.
ඔබතුමා කවුද?
රෝගියාට විහිළුවක් කිරීමට සිතූ ඇමැති මෙසේ කීය.
මම තමයි දියසේන කුමාරයා.
ඒ ඇසූ, මානසික රෝගියා හඬ නගා සිනාසුණේය.
පරිස්සමින්! ඕක කියන්න ගිහින් තමයි මාත් මෙහෙට ආවේ.
කපිල කුමාර කාලිංග