2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

තවත් මාරක කොරෝනා ප්‍රභේදයක්

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 214

හදිසි ක්ෂණික විපත් ඇතිකරන්නා වූ යුරේනස් අඟහරුට අයත් මේෂ රාශියෙහි සිකුරුට අයහපත් බෙරන නැකතේ ගමන් කරමින් සිටියදී 2021 අගෝස්තු මස 19 වැනි ගුරු දින තම සුපුරුදු ගමනින් මිදී ආපසු ගමන් අරඹයි. 2022 ජනවාරි 16 වැනි ඉරු දින දක්වාම යුරේනස් මෙලෙස වක්‍රව ගමන් කරනු ඇත. මෙයින් මුළු විශ්වයටම ඉතා අයහපත් වකවානුවක් ඇතිවන තත්ත්වයක් උද්ගත වනු ඇත. යුරේනස් වක්‍රවීම නිසා විදේශීය වශයෙන් ඇතිවන බලපැම විමසා බැලීමේදී බලවත් රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන්ට ඉතා අයහපත් ප්‍රතිඵල ලැබෙන අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයන් කඩා වැටීමක් මෙන්ම ගොඩනැගිලි, උස් මහල් හා කර්මාන්තශාලාවල හදිසි ගිනිගැනීම් හා පිපිරීම්ද වාර්තා වෙයි. මගීන් 60කට වැඩි පිරිසක් රුගත් ගුවන් යානයක් ගිනිගෙන හෝ පිපිරීමකට ලක් වී විනාශ වී යාමක්ද වාර්තා වෙනවා ඇත. ජනප්‍රියතාවයෙන් ඉහළ කාන්තාවකට මාරක විපතක් සිදුවෙයි. තවද දැනට පැතිර යන කොරෝනා රෝගය තව තවත් තීව්‍ර වෙමින් නව ප්‍රබල මාරකත්වය වැඩි කොරෝනා ප්‍රභේදයක් ඇතිවී මිනිස් ජීවිත විශාල ලෙස බිලිවෙන අතර එන්නත් කිරීම්වලින්ද ඵල නොලැබේ. ජනජීවිත විනාශ වන කාලයක් උදාවෙයි. බොහෝ විදේශ රටවල් සංචරණ සීමා පනවමින් තම රටවල් වසා දමන කාලයක් බවට පත්වනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී අප රට තුළ රථවාහන අනතුරු වැඩිවීමත් බිහිසුණු දුම්රිය අනතුරු ඇතිවීමත් දුම්රිය මුහුණට මුහුණ ගැටීමක්, පිපිරීමක් සමඟ බස් රථ අනතුරුද ඇති වේ. කැලෑ ගිනිගැනීම් ද ඇතිවන අතර කෘෂිකර්මාන්තයට බාධා ඇතිවෙමින් ඉඩම් ගොවිතැන් කුඹුරු පාළු වෙමින් පුරන් වී යන කාලයක් ද වේ. රජයට ඉතා අයහපත් සිදුවීම්වලට මුහුණදීමට සිදුවන අතර කොරෝනා අවදානම ඉහළ යාමත් අලුත් නව කොරෝනා ප්‍රභේදයක් පැතිර යාමත් මරණ ඉහළ යාමත් නිසා රට තුළ සංචරණ සීමා නැවත වරක් පැනවීමට සිදුවන කාල වකවානුවක් බවට පත්වෙයි. සංචරණ සීමා පැනවුවත් කොරෝනා වෛරසය රටේ ජනතාව ඉතා අසරණ තත්ත්වයට පත් කරමින් දිනෙන් දින මරණ ප්‍රමාණය වර්ධනය කරනවා ඇත. රාජ්‍ය නායකයකුටද මාරකයක් යෙදෙනු ඇත.

මේෂ - ව්‍යාපාරවලට හොඳ නැහැ

ඔබට යහපත් නැත. ඔබගේ ශරීර ශක්තියට බාධාවීම් ඇතිවන අතර පවුල් දිවියේද ප්‍රශ්න කරදර ඇතිවෙයි. ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයකු නම් ඉතා අයහපත් ඵලද ඇතිවනු ඇත.

වෘෂභ - ලේ විෂවීම්

ඔබ ද මෙම වකවානුව තුළ ඉතා පරිස්සම් විය යුතු අතර ඔබට වෛරස රෝග වැළඳීමේ හැකියාව ඇති අතර ශරීරයේ ලේ ආශ්‍රිත පීඩාවක්ද ඇතිවනු ඇත.

මිථුන - හදිසි කරදර

දේශපාලන කටයුතුවල නිරත වී සිටින ඔබට අයහපත් වන කාලයක් වන අතර දරුවන් ලැබීමට සිටින මව්වරුන්ද ඉතා පරිස්සම් විය යුතුය. ඔබගේ ලැබීම් මාර්ගවලට හදිසි කරදර ද ඇතිවනු ඇත.

කටක - අයහපත් නැහැ

ඔබට අයහපත් බලපෑමක් ඇති නොවනු ඇත. සාමාන්‍ය පරිදි ඔබගේ කටයුතු සිදුකරගත හැකිවන අතර සේවා ස්ථානයෙහි සේවකයකු සමඟ මතගැටුමක් ඇතිවිය හැක.

සිංහ - ගමන් විපත්

සහෝදරයකුට අයහපත් කාලයක් වනු ඇත. කෙටි ගමන්වලින් විපත් ඇතිවන බැවින් කල්පනාකාරීව ගමන් යා යුතු කාලයකි. අත් පා ආශ්‍රිතව පීඩාවක්ද ඇතිවනු ඇත.

කන්‍යා - හදිසි අනතුරු

ඔබට ඉතා අයහපත් වන අතර හදිසි අනතුරුවලින්ද විවිධ රෝගවලින්ද ඉතා පරිස්සම් විය යුතු කාලයකි. ශරීරයේ ලේ ආශ්‍රිත පීඩාවක්ද මතුවනවා ඇත.

තුලා - ගිනිගැනීම්

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට සැඟවුණු සතුරු පීඩා ඇතිවීමත් ව්‍යාපාරික ස්ථානය ආශ්‍රිතව හදිසි විදුලි කාන්දුවක් හෝ ගිනිගැනීමක්ද විය හැකි කාලයකි.

වෘශ්චික - පරෙස්සමෙන්

ඔබට ද ඉතා අයහපත් වන අතර හදිසි ශරීර පීඩාද ඇතිවේ. සෑම අතින්ම ඉතා පරිස්සම් විය යුතු කාලයක් වේ. දුර ගමන්වලින්ද හදිසි ප්‍රශ්න ඇතිවන අතර සතුරු පීඩාද උද්ගත වන කාලයකි.

ධනු - හදවත් රෝග

දරුවන් ලැබීමට සිටින අය පරිස්සම් විය යුතු අතර හෘද රෝග පවතින අයද ඉතා පරිස්සම්ව සිටිය යුතු කාලයක් වේ. විරුද්ධ ලිංගික බැඳීම්වලටද බාධා එල්ල වනවා ඇත. 

මකර - සුළු සුළු ප්‍රශ්න

ඔබට අයහපත් නොවන අතර පදිංචි ස්ථානයේ සුළු සුළු ප්‍රශ්න මතුවනු ඇත. අලුතින් වාහන මිලදී ගැනීම් නොකළ යුතු කාලයක් ද වේ.

කුම්භ - සතුරු පීඩා

සහෝදරයන් සමඟ මතගැටුම් ඇතිවිය හැකි අතර කලා කටයුතුවල නිරත වී සිටින අය පරිස්සම්ද විය යුතු කාලයක් වේ. ඔබට එරෙහි සතුරු පීඩාවක් ද ඇතිවන සමයක් වේ.

මීන - ධනය වැය වේ

ඔබට අයහපත් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවන කාලයක් ද වේ. ඇසුරු කරන අයගෙන් ඉතා පරිස්සම් විය යුතු අතර තම තැන්පත් ධනය ද අනවශ්‍ය ලෙස වියදම් වනවා ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල