මිහිකත පෙනෙන නොපෙනෙන හැම ඉසව්වකම තම අණසක පැතිරවූවෝ මිනිස්සුය. මේ ලෝකය තව තවත් ඉදිරියටම පවත්වා ගැනීමට රුචි නම් විනාශව යමින් තිබෙන වර්තමානය, අනාගතය උදෙසා සංවර්ධනය කළ යුතුය. ඒ සඳහා තැබිය යුතු, පහසුවෙන්ම තැබිය හැකි සරලම පියවර වන්නේ අනාගත මනුෂ්‍ය පරම්පරාවන්ගේ පීතෘ පරම්පරාව වන මේ දරුවන්ගේ ඇස් පෑදීමය. කාගේදෝ දහමක දේශනාව පරිදි මේ ලෝකයේ මනුෂ්‍ය පරම්පරාවේ උපත මුල්ම මිනිසා සහ ගැහැනිය නම් අනාගත පරම්පරාවේ මුල්ම ගැහැනිය සහ මිනිසා මිල්කා සහ රාසායැයි සතුටින් ඔරේනස් මුව විවර කළේය.
දරුවෙනි, ස්වභාවධර්මය නම් වූ දෙවියන් වහන්සේගේ පරමාර්ථය එය පවත්වාගෙන යාමය. මොලොව ඇති සියලු ශාක සහ සත්ත්ව ප්‍රජාවෝ බිහිවුණේත්, ව්‍යාප්ත වුණේත් පැවතෙමින් පවතින්නේත්, ස්වභාවධර්මයේ තුල්‍යතාව රැකගැනීම උදෙසාය. මුවා ජීවත්වන්නේ සිංහයාගේ ආහාර පිණිසය. ගහ කොළ හැදෙන්නේ මුවාගේ ආහාරය පිණිසය. කිසිවක් සාධාරණ හෝ අසාධාරණ නැත. කිසිවක් කිසිවකට සාපේක්ෂද නැත. ඒ ස්වභාවධර්මයේ නියමයයි, නීතියයි. දුර්වලයා පරාජයට පත්වීමද, ප්‍රබලයා ජයග්‍රහණය කිරීමද මෙහි පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය. ප්‍රබලයා පාගා මරා, දුර්වලයා නගා සිටුවීමට මිහිමත කිසිදු අවශේෂ ජීවියෙකු උත්සාහ කළේ නැත. ඒ සඳහා උත්සාහ කළ එකම ජීවියා මිනිසාය. මාගේ ගුරුවරයාණන් වහන්සේගේත්, පෞද්ගලිකව මගේත් පිළිගැනීමේ හැටියට මිනිසා යනු ස්වභාවධර්මයට වැරදුණු එකම තැනය. මේ සක්වළෙහි තුල්‍යතාව බිඳදැමූ එකම ජීවී කොට්ඨාසය මිනිසා සහ උන්ට නෑකම් ඇති ඊට වඩා දියුණු සක්වළ ග්‍රහලෝක ජීවීහුය. එය ඉතා දීර්ඝ කතාවකි. අපේ මාතෘකාව ආදරය බැවින් අපි ඒ කතාව පසුවට තබා ආදරයට එමුග මිනිසා හැරුණු කළ මිහිමත ජීවීන් වන මිනිසාට වඩා නොදියුණු සෑම අංශු මාත්රජීවියෙකුගේ පටන් අතිවිශාල ජීවය දක්වාම ජීවිතය සහ ජීවත්වීම උදෙසා බලපැවැත්වෙන එකම පරමාර්ථයක් වෙයි. එය නම් තමන්ගේ වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරිමයි. කුරා කුහුඹියාගේ පටන් අලිසතුන් දක්වාවූ ජීවීන් ජීවත් වන්නේ කුමකටද?
ඔරේනස් ප්‍රශ්නයක් විචාළේය.
දෙදෙනාම නිහඬය.
කුමකටද රාසා
ඔහු නොදනිතැයි හිස වැනුවේය.
මිල්කා
නොදනිමි ස්වාමිනී
සියලුම ජීවීහු ජීවත්වන්නේ සංවාසය සඳහාය. පැටවුන් බිහිකිරීම සඳහාය. උන් උන්ගේ ජීවිත කාලය පුරාම සිදුකළේත්, සිදුකරන්නේත්, සිදුකිරීමට නියමිතව ඇත්තේත් හැකි පමණ තම වර්ගයා බෝ කිරීමය. පැටවුන් බිහිකිරීමය. උන් අහාර ගන්නේ වාසස්ථාන තනා ගන්නේ, ඒවා තුළ ලගින්නේ පැටවුන් බෝ කිරීම නැමැති ප්‍රධාන කර්තව්‍යය වඩාත් පහසු කරගැනීම උදෙසාය. මොළය නොදියුණු, කුතුහලයක් නැති සෑම ප්‍රාථමික ජීවියෙකුම සියල්ල කරන්නේ සංවාසය සඳහාය. ඩිම්බ, ශුක්‍රාණු, යුක්තානු, කළල, දාම ක්රියාවේ අතරමැදි වහල් සේවකයන් මෙන් මේ සෑම ජීවියෙකුම තමන්ගේ කර්තව්‍යය ඉටුකරන්නේය. එය ජීවිතයේ රාජකාරිය සේද, දේවකාරියක් සේද සිතමින් ඔවුහු මැසිවිලි නොනගා වෙහෙසක් නොබලා නැහැයි බැහැයි නොකියා අනලස්ව තම තම ප්‍රමාණයෙන් තමන්ගේ රාජකාරි ඉටු කරන්නාහ. කුරා කුහුඹු ජීවීන් ලක්ෂ ගණනින්ද, ජලජ මත්ස්‍ය ජීවීන් කෝටි ප්‍රකෝටි ගණනින්ද, අලි ඇත් ජීවීන් විසිතිස් ගණනින්ද තම ජීවිත කාලය තුළදී දිනාගත් උරුමකරුවන් මේ මිහිකතට දායාද කරන්නේය. ඒ සෑම ජීවියෙකුම තමන්ට පැවරූ රාජකාරිය මැනවින් ඉටුකොට මිහි මතට බරක් නොවී කරදරයක් හිසරදයක් නොවී ස්වභාවධර්මය නැමැති දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ඉතසිතින් චුත වන්නාහ. එහෙත් මිනිසා නම් වූ ලෝක පාලක යැයි සිතා සිටින තමන්ටම ජගතා යැයි කියාගන්නා මනෝපකාරික “උමතු” දඩබ්බරයා මේ සියලු ඉගැන්වීම්වලින් පිටපැන්නා වූද, ස්වභාවධර්මයේ නීති අතික්‍රමණය කළා වූද සතෙකි. හේ නම් තොපගේ පරම්පරාවේ ආදිතමයාය. අපි ආදරය ගැන කතා කරන්නට පෙර තොපගේ පරම්පරාව ගැන ඉතිහාසය කියවා බැලිය යුතුය. ආදරය ගැන උගෙනීමට නම් ආදරය ලෝකයට බිහිකළ, ආදරය ගැන පුරසාරම් දෙඩූ, ආදරය ගැන කවි කතා ලියූ, ආදරය නිසා දිවිපරදුවට තැබූ, ආදරය ජීවිතයම යැයි කියූ දෙවියන් පවා නොදත්, ආදරය දෙවියන්ට ඉගැන්වූ තොපගේ මිනිස් පරම්පරාවේ ඉතිහාසය දැනගතයුතුය. එවිට මෙය පැහැදිලිවනු ඇත.
ස්වාමීනි, ඔබ වහන්සේ පවසන්නට යන්නේ අපගේ ඉතිහාස කතාවද?
එසේය රාසා... කිම ගැටලුවක්ද?
නැත ස්වාමීනි, පවසනු මැන රාසා හරි බරි ගැහී හිඳගත්තේය.
දෙවියන් වහන්සේ රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණීය ආත්මයක් ඇතුළු කළා යැයි කියන පුරාවෘත්තයක් බැබිලෝනියාව, ඇසිරියාව, ඊජිප්තුව හා යුදෙයාව පැත්තෙන් ඇසෙයි. තව තව බොහෝ කතා තැන් තැන්වලින් ඇසෙයි. එහෙත් දරැවෙනි, මාගේත් මගේ ගුරුවරයාණන් වහන්සේගේත් ඉගැන්වීම්වලට අනුවල මිනිසා සහ සතුන් අතර ඇති සාමානත්වය දකින අපි කිසිදාක සර්වෝත්තමයෙකු විසින් මිනිසා නොමැවූ බව පිළිගත යුතුමය. එය එහෙම පිටින්ම ස්වභාවික සම්භවයක් වන්නේය.
ඔරේනස් වදාළේය.
ස්වාමීනි, එසේ නම් අප උපන්නේ කෙසේද?