2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

පාඩම් පොතක් - පන්තියක් නැති ෆින්ලන්ත ඉස්කෝලෙ

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 440

ලෝකයේ පින්වන්තම ඉස්කෝල ඇත්තේ කොහේදැයි යන ප්‍රශ්නයට තිබෙන්නේ එකම එක නොවරදින පිළිතුරකි. ඒ ෆින්ලන්තයේ බවය. ෆින්ලන්තයේ දරුවෝ තමන්ගේ මේ හරි අපූරු පින්වන්ත ඉස්කෝල වෙත යන්නේ බොහෝ කැමැත්තෙනි. මේ ඉස්කෝලවල වැදගත්ම තැනැත්තා නැතිනම් ලොකුම ලොක්කා තමන් වන හෙයිනි. කොටින්ම අපේ රටේ මෙන් නොව ෆින්ලන්ත ඉස්කෝලවල තමන් ඉගෙන ගන්නේ මොනවාද? ඒ දවසේ කොයි වේලාවේද? කාගෙන්ද? ඒ සඳහා ඕනෑකරන ආධාරක මොනවාද? වගේම තමන් ඩෙඟා නටන්නේ නම් ඒ දවසේ කොයි වේලාවේද වැනි තීන්දු තීරණ සියල්ලම ගන්නේ ළමයින්මය. පොත් කඳු පිට ගසාගන හුස්මක් කටක් නොගෙන අම්මා තාත්තාගේ සිහින සැබෑ කරන්නට කොඳු කැඩෙන තරග දිවීමක යෙදෙන ළමා කාලය අහිමි අපේ ළමයින්ට නම් ඉස්කෝල යනු වධාකාගාරයකි. නමුත් ෆින්ලන්තයේ පින්කර ඇති ළමයින්ට නම් ඔවුන්ගේ ඉස්කෝල සුරපුරයකි. එහේ එහෙම වෙන්නත් මෙහේ මෙහෙම වෙන්නත් හේතුව කිමෙක්ද?

ෆින්ලන්තයේ පාසල්වල ඇත්තේ අමුතු අධ්‍යාපන ක්‍රමයකි. කොටින්ම ලෝකයේ අන් හැමදෙයක් ගැන මෙන්ම අධ්‍යාපනයද මෙන්න මෙසේ විය යුතු යැයි උපදෙස් දෙන අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය මොඩලයේ උඩු යටිකුරු කළ ක්‍රමවේදයකි. මේ නිසාම  එය මුළුමනින්ම ශිෂ්‍ය මූලික අධ්‍යාපන ක්‍රමයක්ව තිබේ. රටේ දේශපාලන ලොකු ලොක්කන්ට හෝ කොටින්ම අම්මා තාත්තාට හෝ ඕනෑ දේ නොව, තමන්ම තමන්ට ඉගෙන ගන්නට අවශ්‍ය මොනවාදැයි තෝරා බේරාගන ඒ සඳහා ගුරුවරුන් ඇතුළු ඉස්කෝලේ සැප සම්පත් තමන්ට අවශ්‍ය විදියට යොදාගැනීම සඳහාමේ ක්‍රමයේදී දරුවන්ට අවස්ථාව සලසා තිබේ. එසේය කියා තමන්ගේ මට්ටම් තම්මැට්ටම් යැයි ශිෂ්‍යයන්ට ඕනෑ කුදයක් ගහගන්නට දී මැහුමක් ගෙතුමක්, ටියුෂන් පන්තියක් දෙකක් කරගන කර අරින්නට එරට ගුරුවරුන්ට අධ්‍යාපන ලොක්කන්ට නොහැකිය. ඔවුන්ද සැමවිටම ඉගෙන ගනිමින් ඕනෑම අවස්ථාවක සිය පාසල් දරුවන් වෙතින් මතුව ඉදිරිපත් වන හිතාගන්නටවත් බැරි ගැටලු විසඳා දෙන්නට දැනුමෙන් සන්නද්ධව සිටිය යුතුය. 

මේ නිසා ෆින්ලන්ත ඉස්කෝලවල ගුරුවරයෙක් වන්නට ලැබෙන්නේ එහෙමත් පින්වන්ත හාදයකුටම පමණි. කොටින්ම බාලාංශයට උගන්වන ගුරුවරයාටත් මාස්ටර් ඩිග්රියක් තිබිය යුතුමය. ඒ නිසාම ෆින්ලන්තයේ ගුරැකම සැලැකෙන්නේ දොස්තරකම තරම්ම අත්‍යවශ්‍ය සුවිශේෂී ඉහළ පෙළේ නම්බුකාර රස්සාවක් හැටියටය. ඒ නිසාම ඒ රටේ මේ කියන අපූරැ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ අංක එකේ සුපිරිම අධ්‍යාපනය ලෙස වාර්තා තබා හමාරය.

ෆින්ලන්තයේ ශිෂ්‍ය මූලික වූ මෙම අධ්‍යාපන ක්‍රමය 1970 බඳු ඈත කාලයක සිට ඇරුඹුනකි. මේ කියන ගෝලයා ලොක්කා කරන හරි අපූරු ඉස්කෝල නිසා ගුත්තිල මූසිල සටන් එරට ඇවිලී නැත. සෑම වසරකම ජාත්‍යන්තර මට්ටමේ තරග විභාගවලදී අංක එක නැතිනම් මුල් තැනට එන්නට ෆින්ලන්ත පින්වන්ත දරුවන්ට මේ ක්‍රමය නිසා පින පහළ වී තිබේ. එහෙයින්ම ෆින්ලන්තය තමන්ගේ මේ අපූරු අධ්‍යාපන මොඩලය තව තවත් වෙනස් කරන්නට පර්යේෂණ කරමින් කටයුතු කරමින් සිටියි. මේ නිසාම අපේ රටේ කට කහනවාට වගේ කිව්වාට ෆින්ලන්තයේදී නම් ළමයින්ට අධ්‍යාපන අංශයේදී ලැබෙන්නේ හොඳම දේම තමා. 

ඒ අරමුණින් ෆින්ලන්තය පසුගිය වසරේ (2016) අගෝස්තුවේ නව අධ්‍යාපන සැලැස්මක් හඳුන්වා දුන්නේය. එය ලෝකයේම ආන්දෝලනාත්මක කතාබහකට මගපුරන ආකාරයේ පෙරැළියකි. කොටින්ම ජනමාධ්‍ය මේ ගැන කෙතරම් කුලප්පු වූවාද යත් ඔවුන් එය වාර්තා කළේ ෆින්ලන්තය පැරුණි අධ්‍යාපන විෂය ධාරා වීසි කර දමයි කියනා තඩි හෙඩ්ලයින් යොදමිනි. 

ඒ පැහැදිලි කිරීම අනුව තවදුරටත් ඉතිහාසය, සාහිත්‍යය, ඉංග්‍රීසි, කලා, ගණිතය ආදී පරණ පන්නයේ විෂයය ධාරා ෆින්ලන්ත ඉස්කෝලවල භාවිතා වෙන්නේ නැත. ඒ වෙනුවට තමන් කැමති කාලීනව වැදගත් කිසියම් සංසිද්ධියක්, ගැටලුවක් අල්ලාගන එයට පිළිතුරු සොයන්නට අනෙකුත් විෂය ධාරාවලින් තමන්ට අවශ්‍ය පමණට කරැණු කාරණා බෙදාහදා ගන්නට දරුවන්ට අවස්ථාව සලසා තිබේ. හැබැයි මෙය තම තම නැණ පමණින් කරනා කටයුත්තක් නොවන්නේ ඒ සඳහා හොඳින් කරුණු කාරණා දන්නා අත්දැකීම් සරු ඒ නිසාම දරුවන්ගේ ගෞරවය ආදරය දිනාගත් වෘත්තීය මට්ටමේ ගුරැවරැන්ගේ ආධාර තමන්ට ඕනෑ ආකාරයට ඕනෑම වෙලාවක ලබාගන්නට අවස්ථාව සැලසී ඇති හෙයිනි. පසුගිය වසරේ හඳුන්වා දුන් මේ සංසිද්ධි මූලික කරගත් ඉගැන්වීම් රටාව දැන් නැගලාම යන වැඩක් බවට පත්ව ඇති බව එරටින් වාර්තා වේ. එය කොතරම් නැගලා ගොසින්ද කීවොත් අමෙරිකාව ඇතුළු අනෙකුත් දියුණු රටවලත් අවධානය මේ අපූරැ අධ්‍යාපනය වෙත යොමුව හමාරය.

ෆින්ලන්තයේ මේ සංසිද්ධි මූලික කරගත් අධ්‍යාපනය අපට සරලව විස්තර කළ හැක්කේ එදිනෙදා මතුවන ගැටලු සඳහා තමන්ම විසඳුම් සොයායාමට තමන් උගත් විෂයය දැනුම නිර්මාණාත්මකව භාවිතා කිරීම ලෙසමය. මේ කියන සංසිද්ධිය යුරෝපා සංගමයේ අනාගතය, ලෝක දේශගුණික විපර්යාසය, ජනාවාස ගැටලුව වගේ එදිනෙදා මතුවන බරපතළ කාරණයක් වන්නට හැකිය. මේ ගැටලු විසඳීම සඳහා තමන්ට අවශ්‍ය අනෙකුත්  විෂය දැනුම ලබා ගනිමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ෆින්ලන්ත දරැවන්ගේ අධ්‍යාපන නවෝදයේ අරමුණ බවට පත්ව තිබේ. 

මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අදහස් දක්වන අධ්‍යාපන නිලධරයෙක් එය අර්ථ දක්වා ඇත්තේ අමෙරිකාව අනුගමනය කරන දේ මුළුමනින්ම උඩු යටිකුරු කිරීමක් හැටියට. මේ නිසා තරගකාරීත්වය, දැඩි පාලනය, ප්‍රමිතිකරණයට ලක්වූ විභාග, ඒ නිසා ඇතිවන දැඩි මානසික පීඩාව, අඩු සුදුසුකම් සහිත ගුරැවරු, යල් පැනගිය අධ්‍යාපන උපක්‍රම සහ විෂයය වෙනුවට ෆින්ලන්තයේ නව ක්‍රමය මගින් එකට එක්ව සහයෝගයෙන් පොදු අරමුණක් ජය ගැනීම සඳහා කටයුතු කරන සිසුන්ට ඉතා ඉහළම සුදුසුකම් සහිත වෘත්තීය ප්‍රවීණ ගුරැවරුන්ගෙන් නිබඳව ලැබෙන උණුසුම් සුහදශීලී ආධාර අනුබල දිරිගැන්වීම් යටතේ ජීවයෙන් පිරි උද්‍යෝගිමත් අධ්‍යාපනයකට මග පෑදී තිබේ.

අවුරැදු 7 සිට 16 දක්වා වයස් මට්ටම්වල දරැවන් සඳහා ෆින්ලන්තයේ පාසල්වල දැන් මේ ක්‍රමය ක්‍රියාත්මකය. එරට නගර සභා 320 තුළ ඇති සෑම පාසලකම මේ නවීන ක්‍රමය සඳහා වෙන්වූ පන්ති අරඹා තිබේ. මෙහිදී අධ්‍යාපන බලධාරීන් යැයි කියාගන්නා නිලධාරීන්ගේ අත පෙවීම මේ අලුත් සංසිද්ධි මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයේදී දක්නට නොලැබේ. ඒ ඒ පළාතේ හැටියට තම තමන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලුවල ආකාරයට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස්කර යොදා ගැනීමේ අයිතිය ගුරැවරැන්හට හිමිව තිබේ. ඒ නිසා පොදු විෂය නිර්දේශයකට කොටුවීමක් නැත. එහෙයින්ම මේ නිසා විවිධ පාසල්වල ඉගැන්වීම් කටයුතු ක්‍රමවේදය එකිනෙකට හාත්පසින්ම වෙනස්ව තිබේ. මේ ක්‍රමය තුළදී අවසන් ප්‍රතිඵලය ලෙස ලෝකය ගැන එහි සංකීර්ණතාව ගැන හොඳ අවබෝධයක් ඇති පොදු විෂය කරැණු වලින් හොඳහැටි සන්නද්ධ ඒවා යොදා ගනිමින් ප්‍රායෝගිකව ගැටලු විසඳීමට‍ සමත් හොඳ සජීවී බවක් උරැම දැනුම පිරි තරැණ බලකායක් බිහිකිරීම සිදුවන්නට නියමිතය.

ෆින්ලන්තය මේ විප්ලවකාරී අධ්‍යාපන ක්‍රමය හඳුන්වාදීම සඳහා කටයුතු කිරීමේදී රාජ්‍ය වශයෙන් මැදිහත් වන සලකා බලන ප්‍රධාන කාරණා හතරක් තිබේ. මුලින්ම ඔවුන් තෝරා පත්කර ගන්නේ ඉහළම සුදුසුකම් ලැබූ හොඳම පුහුණුව ලැබූ අංක එකේ ගුරැවරැන්ය. ඒ වගේම ඔවුන් මුල් ළමා වියේ අධ්‍යාපනයේ ඇති වටිනාකම තේරැම්ගෙන ඒ සඳහා වැඩි අවධානයක් යොමුකර තිබේ. ඊළඟට ඔවුන් පරිපාලන බලය විමධ්‍යගත කරමින් පළාතේ හැටි හැටියට අවශ්‍යතා අනුව කටයුතු කිරීමේ නිදහස පාසල්වලට ලබාදී තිබේ. අනෙක් ප්‍රධාන කාරණාව වන්නේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය හැමදේම දරැවන්ට නොමිලේම ලබාදීමයි. මේ නිසා අම්මා තාත්තාට දරැවන්ගේ අධ්‍යාපනය ගැන කරැ කුරැ ගාන්නට සිදුවන්නේ නැත. එරට සලසා ඇති පහසුකම් අනුව සෑම දරැවකුටම නිල ඇඳුම් නොමිලේ ලැබේ. අධ්‍යාපන පොත්පත් ආධාරක උපකරණ සියල්ල නොමිලයේය. ඒ සමගම ප්‍රවාහනය සහ කෑම බීමද නොමිලයේය. පාසලේ වැඩි කාලවේලාවක් වෙන්කර ඇත්තේ සංගීත නැටුම් චිත්‍ර යන ස්වභාව අධ්‍යයන කටයුතු සඳහාය. ඒ අතරම ළමයින්ටත් අලින්ටත් එක තැන ඉන්නට බැරි බව වටහාගන ඇති ෆින්ලන්ත අධ්‍යාපන ලොක්කෝ ඔවුන්ට හිතූ වේලේ ඕනෑ ඕනෑ හැටියට පන්ති කාමර තුළ දුව පැන ඇවිදින්නට මෙන්ම ඕනෑ නම් ගෙදර වගේ ඇඳක වැතිරී බිම දිගාවී ඉගැනීමේ කටයුතුවල යෙදීමට උපරිම නිදහස ලබාදී තිබේ. ඒ වාගේම ප්‍රධානතම කාරණාව වන්නේ යුරෝපයේ උතුරැ කොනේ රැසියාවට ආසන්න යුරෝපා සංගමයට අයත් සීමා රාජ්ජය වන මේ දියුණු රටේ පාසල් තුළ පාසල් දරැවන් අත ස්මාර්ට් දුරකතන, ලැප්ටොප් සහ පරිගණක දක්නට නොමැතිවීමයි. ඔවුන්ට දකින්නට ලැබෙන එබඳු එකම තාක්ෂණික උපකරණය වන්නේ ගුරැවරයාට අයිති ස්මාර්ට් කළු ලෑල්ලත්, (ඇත්තෙන්ම මෙය සුදුය) ගුරැවරයාගේ පුද්ගලික පරිගණකයක් පමණි. ඉතින් මේ නිසාම ෆින්ලන්ත රටේ පින් ඇති දරැවෝ අධ්‍යාපනය අතින් ලෝකයේ අංක 1 බවට පත්වන්නට තමන්ගේ පාසල් වෙත යන්නේ සිය කැමැත්තෙන්මය.

 සුගත් පී. කුලතුංගආරච්චි