ලොව හොඳම සියලු දේ හිමිවිය යුත්තේ දරුවන්ටය. එය එසේ වුවත් ආර්ථිකයේ ඇති සමහර විෂමතා නිසා සමහර මව්පියන්ට තම දරුවන්ට හොඳම දේ තියා අවැසිම දේවත් රැගෙන දීමට වත්කමක් නැත. තවත් සමහර මව්පියෝ දරුවන් වෙනුවෙන්ම ඔවුන්ට නුවමනා දේ පවා රැගෙන දීමට පෙළඹෙති. ලෝකය විශ්ව ගම්මානයක් කරා යන ගමනේදී ජංගම දුරකතනය යනු ගසට පොත්ත සේ සම්බන්ධිත උපාංගයකි.
1973 වසරේදී මාර්ටින් කූපර් විසින් ජංගම දුරකතනය සොයාගැනීමත් සමඟ අද වනවිට සියලු තාක්ෂණයන්ගෙන් සමන්විත නා නා විධ ජංගම දුරකතන වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇත. ජංගම දුරකතනයක් අත නොමැති කෙනෙක් සෙවීමත් මේ වනවිට කළුනික සෙවීමක් පමණි. විශේෂයෙන්ම පාසල් වියේ දරුවන් අතර ජංගම දුරකතන භාවිතය බහුලවීමක් බොහෝ ගැටලුවලට මග පාදන්නක් වී ඇත. කඩදාසි ඔරු පා කළ ඇළේ දොළේ වෙල් ඉපනැල්ලේ දුව පැන නැටූ අති සුන්දර ළමා කාලය මේ ජංගම දුරකතන මගින් ගිලගෙන ඇත.
දැනට දශකයකට පමණ පෙරාතුව ළමයින් බස් රියක දුම්රියක ගමන් කළේද පොතක් පතක් කියවමිනි. එහෙත් අද වනවිට දකින්නට ඇත්තේ දුරකතනයකට මුහුණ ඔබාගෙන එහි සමාජය හා සම්බන්ධවී යන ළමයින් පමණකි. විශේෂයෙන්ම පාසල්වලට දරුවන් විසින් ජංගම දුරකතන රැගෙන ඒම මගින් බොහෝ ප්‍රශ්න ගැටලු පැන නැගුණු බව අපි අසා ඇත්තෙමු.
දරුවෝ තම මූලිකම කටයුත්ත වන අධ්‍යාපනය පසෙක ලා දරුවන් ජංගම දුරකතන ඔස්සේ සිය විනෝදය හඹා යති. අඩු වයස් ප්‍රේම සබඳතා ඇතිවීම මෙන්ම ළමා අවදියේම අයථා ක්‍රියාකාරකම්වලට පෙළඹීමටත් ඒවා බෙදාගැනීමටත් ළමෝ මෙම ජංගම දුරකතන මගින් ඉඩ ප්‍රස්තාව ලබාගත් බවට අපට ඕනෑතරම් සාක්ෂි ඇත. සමාජ සංස්කෘතික කාරණාවන්හිදී ජංගම දුරකතන විසින් සිදුකර ඇත්තේ යහපතට වඩා අයහපත් කාරණා බව සමහරුන්ගේ චෝදනාවකි. ණය වී හෝ දරුවන්ට ජංගම දුරකතන මිලට රැගෙන දෙන දෙමව්පියන් මෙරට සුලබය. එහෙත් ලොව හෙල්ලූ ප්‍රකෝටිපති මිනිසා සිය දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කර තිබෙන බව ඔබ දන්නවාද?
මෘදුකාංග නිෂ්පාදනයෙන් ලොව දිනූ ලොව හෙල්ලූ ලෝකය දෙස වෙනත් මානයකින් බැලූ සියලුම දේ සපිරි මෙම කෝටිපති මිනිසා වන්නේ විලියම් හෙන්රි ගේට්ස් හෙවත් බිල් ගේට්ස්ය. දරු තිදෙනෙකුගේ පියෙක් වන මොහු වයස 14 වන තෙක් සිය දරුවන්ට ජංගම දුරකතන භාවිතා කිරීම තහනම් කර ඇත. දාහතරෙන් පසුව ඔවුන්ට දුරකතනය භාවිතා කිරීමට අවස්ථාවක් ලැබුණ දුරකතනය සමඟ ඔවුන් ගත කළයුතු කාලය සීමාසහිත කර ඇත. රාත්‍රි කෑම මේසයට තම දරුවන් ජංගම දුරකතනය ගෙන ඒමද ඔහු විසින් තහනම් කර තිබේ. මෙයින් පෙනෙන්නේ ඔහු දරුවන් හදන ආකාරයයි. බිල් ගේට්ස්ගේ දරුවන්ට ජංගම දුරකතනයක් කිසිසේත්ම අරුම පුදුම මැජික් එකක් නොවේ. ඔහුගේ වත්කම්වල තරමේ හැටියට දරුවන්ට දුරකතන සමාගමක් වුව රැගෙන දීමට ඔහුට හැකිය. රජවරුන්ගේ රජ දරුවන් රාජකීය උණුසුමට මුවා වී සිදු කරන සමහර ක්‍රියාපටිපාටීන් පිළිබඳ සිතා බැලීමේදී බිල් ගේට්ස්ගේ දරුවෝ සිටින්නේ ඉහළින්මය. ඔවුන්ව ඒ අයුරින් මෙහෙයවන්නට කටයුතු කළ ගේට්ස් සිටින්නේත් ඉතා ඉහළින්ය.
විශේෂයෙන්ම මව්පියන් හා දරුවන් අතර තිබෙන්නා වූ අනෝන සුහදතාව හා බැඳීම ජංගම දුරකතන නිසා බොහෝ සෙයින් ඈත් වී යමක් වර්තමාන සමාජයේ පෙන්නුම් කෙරේ. සමීක්ෂණ වාර්තා නිර්ණායකයන්වලට අනුව පවුල් සංස්ථා අතර මතගැටුම් බහුල වීමටත් ජංගම දුරකතන හේතු සාධකයක් වී ඇත. බිල් ගේට්ස් ප්‍රකෝටිපති මිනිසෙක් බව සැබවි. එහෙත් ඔහු දරුවන් සැදූ පියෙකි. පියකු විසින් තම දරුවන් කෙරෙහි දැක්විය යුතු සෙනෙහස හා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඔහු විසින් ඉටු කෙරිය යුතු යුතුකම් මෙන්ම සදාචාරාත්මක හැදියාව ද ඔහු තම දරුවන්ට ලබාදෙන බවට මෙයින් අපිට මනාකොට ගම්‍ය වෙයි. නමුත් මේවා මේ හැටියට වලංගු වන්නේ ඔහු කියන ලෙසට දරුවන් වැඩ කටයුතු කරනවා නම් පමණකි.
1955 වසරේ ඇෙමරිකාවේ වොෂින්ටන්හිදී බිල් ගේට්ස් උපත ලබන්නේත් ඉහළ මධ්‍යම පාන්තික පවුලකය. ධනවත් ව්‍යාපාර, දේශපාලනය හා පවුල් පසුබිම ඔහුට ආගන්තුක නොවීය. 1975දී මයික්‍රෝසොෆ්ට් සමාගම ආරම්භ කර windows මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලොවට හඳුන්වා දුන් බිල් ගේට්ස්ගේ තත්පරයක ආදායම ඇෙමරිකානු ඩොලර් 250කි. දිනකට ඩොලර් මිලියන 20කි. වසරකට ඩොලර් බිලියන 73කි. ඔහු ලොව කෝටිපතියන්ගේ ලැයිස්තුවට එකතු වන්නේ ඔහුට වයස 22දීය. ලොව තරුණ සහ තනියම මුදල් ඉපැයූ පුද්ගලයා ලෙසින්ද ඔහු එන වර්ෂයට එක් විය. ටයිම් සඟරාව පවසන පරිදි විසිවැනි ශතවර්ෂයේ ලොව සිටින දැවැන්තම මිනිසුන් සියදෙනා අතරටද බිල්ගේට්ස් එක්ව ඇත. පුද්ගලයෙකුට ස්වකීය ජීවිතයේ හිමිවිය යුතු ඉහළම සම්මාන බුහුමන් සියල්ලන්ගෙන්ම පිදුම් ලබා ඇති ඔහු වැනි කෙනෙකුට දාව ඉපදීමටත් ඔහුගේ දරුවන් හැබෑ වාසනාවන්තයන් විය යුතුය.
බිල් ගේට්ස් ගැන මෙවැනි තතු විත්ති ආරංචි වන විට මෙවන් සිද්ධියක් කල්පිතයක් සේ බැහැර කරන්නටද අපිට සිතේ. එහෙත් එය එසේ සිදු වී ඇත්තේ නම් අපි අවිවාදයෙන්ම ඔහුව අගය කළ යුතු වේ. ජංගම දුරකතන වේවා අන් යමක් වේවා මේ සියල්ල දරුවන්ට හිමිවිය යුතුය. ඒඔවුන්ට අවැසි මොහොතේය. ඇමරිකාවේ එසේ වුවත් ලංකාවේ එසේ නොවන නිසා සමහර විටෙක ජාතියක් ලෙස අපිට කනගාටු වෙන්නටද හේතු කාරණා ඉතිරි වනු ඇත.
තනූජා ලුම්බිණි