ග්රහලොව රජු වූ රවි තමාගේ නීච රාශි භවනය වූ සිකුරුට අයත් තුලා රාශියට 2021 ඔක්තෝබර් මස 17 වැනි ඉරු දින දහවල් 1 විනාඩි 12ට පිවිසේ. එසේ පිවිස නොවැම්බර් මස 16 වැනි කුජ දින දහවල් 1 පසුවී විනාඩි 3 දක්වාම රවි නීචව තුලා රාශියෙහි ගමන් කරනු ඇත.
මෙම ග්රහ මාරුව අප රට කෙරෙහි බලපාන අන්දම ගැන අවධානය යොමු කිරීමේදී ශුභ ඵලදායක තත්ත්වයක් ඇති නොවනු ඇත. විශේෂයෙන් වැඩ කරන ජනයාට ඉතා අයහපත් වන අතර වැඩ කරන සේවකයන්ට රෝග පීඩා පැතිර යාමද වර්ධනය වෙයි. දැනට පවතින කොරෝනා වෛරස් තත්ත්වය ශීඝ්ර ලෙස ජනතාව අතර පැතිර යාමක් සිදුවේ. ආහාර විෂ වීමක් හෝ යම්කිසි විෂ දුමක් හේතුවෙන් හෝ සේවක පිරිසක් අසනීප වීම නිසා රෝහල්ගත කිරීමක් වාර්තා වනු ඇත. පාර්ලිමේන්තු මහජන නියෝජිතයකුට මන්ත්රීවරයකුට ඉතා අයහපත් වන අතර මාරකයක්ද යෙදෙනු ඇත. රජයේ ඉහළ තනතුරක් දරණ රාජ්ය ප්රධානියකුටද මාරකයක් ඇතිවන බව කිව යුතුය. ගුවන් හා දුම්රිය ප්රවාහනයට සම්බන්ධ සේවක සේවිකාවන්ටද ඉතා අශුභ වූත් මාරක විපත් ගෙන දෙන කාලයක් වේ.
මේෂ - ඉවසීම හොඳයි
පවුල් ජීවිතයේ සමගියට බාධාවීම් ඇතිවන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. භූමිය ආශ්රිත පැවති ප්රශ්න මඟහැරී යනු ඇත. පිටස්තර ගැටලුවලට මැදි නොවී සිටිය යුතු අතර ඒවා තමා වෙත පැමිණීමට ඇති ඉඩ වැඩිය.
වෘෂභ - ගමන් බිමන් පරිස්සමෙන්
මෙම වකවානුව තුළ බෝවන රෝගවලින් ඉතා පරිස්සම් විය යුතු අතර ගමන්වලින්ද හදිසි ශරීර පීඩා ඇතිවන බැවින් ගමන් යාමේදී පරිස්සම් විය යුතු වේ.
මිථුන - පපුවේ අමාරු
යම් යම් වැඩ අතපසුවීම්වලට ලක්වන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් වනු ඇත. පපුව ආශ්රිත රෝගාබාධ ඇති අය පරිස්සම් විය යුතු වේ.
කටක - අනුන්ගේ ගැටලු තමාට
අන් අයගේ ප්රශ්නවලට මැදිහත් නොවී සිටිය යුතු අතර එම ගැටලු තමා වෙත පැමිණීමේ ඉඩ වැඩි වේ. සිතේ සහනය ද අඩුවන කාලයක් වේ. ගමන්වලින් ශරීර පීඩාද ඇතිවනු ඇත.
සිංහ - දුර ගමන් යෙදේ
සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවනු ඇත. යම් යම් වැඩවල අතපසුවීම්ද ඇතිවනු ඇත. දුර ගමන් යාමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයක්ද වේ.
කන්යා - තැන්පත් ධනය වැය වේ
තම තැන්පත් ධනය වියදම් වී යන කාලයක් වන අතර තමාගේ උත්සාහයේ තරමට ඵල අත්කරගත නොහැකි වනු ඇත. බෝවන රෝගවලින්ද පරිස්සම් විය යුතු කාලයක්ද වනු ඇත.
තුලා - වැඩ අඩක් ඉටුවේ
හිස ආශ්රිත පීඩා ඇතිවන කාලයක් වන අතර මනසට වද දෙන ප්රශ්නද ඇතිවනු ඇත. තමා බලාපොරොත්තු වූ කාර්යයකින් කොටසක් ඉටුකර ගැනීමට හැකිවනු ඇත.
වෘශ්චික - විවේකීව ඉන්න
ඔබට අයහපත් වන අතර ඔබ කරන රැකියාවේ යම් යම් ප්රශ්න ඇතිවන කාලයක්ද වේ. දුර ගමන් යෙදුණද ඵල නොලබන අතර නිවෙසේ විවේකීව සිටීම වඩා වැදගත් බව සිතන්න.
ධනු - සමාජ සේවයට හොඳයි
සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර යම් යම් කටයුතුවල අතපසුවීම්ද ඇතිවනු ඇත. ගමන් බිමන්වලින් වැළකී තමාගේ ප්රමාද වූ වැඩ කටයුතු අවසන් කර ගැනීමට උනන්දු වෙයි.
මකර - සිතේ චකිතයක්
සිතේ සහනය අඩු කාලයක් වන අතර සිතේ චකිතයකින් යුක්තව කාලය ගතවනු ඇත. පවුලේ සමගියටද බාධා ඇතිවන අතර ගමන්වලින් පීඩාද ඇතිවේ.
කුම්භ - සමගිය වැදගත්
සහෝදර බැඳීම්වලට හානිදායකය. සිත් පළුදුවීම් ඇතිවන කාලයක් බැවින් පරිස්සමින් කටයුතු කරන්න. සිතේ සහනයද අඩු වනු ඇත. නිවෙසේ අය සමඟ සමගියෙන් කටයුතු කරන්න.
මීන - ආර්ථික අපහසුතා
ඔබට අයහපත් කාලයක් වේ. ගමන්වලින්ද පරිස්සම් විය යුතු අතර ආර්ථික අපහසුතාද ඇතිවනු ඇත. තමාගේ උත්සාහයේ තරමට ඵල නොලබන කාලයක්ද වේ.