රට වටකර වැට බැන්දත් කට වටකර නම් එය කළ නොහැකි යැයි පැරැණි පිරුළක් ඇත. ඒ කියුම එදාටත් ඇත්තය. අදටත් ඇත්තය. පොඩි වෙනසකට ඇත්තේ, දැන් කාලේ කට වටකර මුකවාඩම් බැඳීමට සිදුවී තිබීම පමණි.
මොන මොන නීති පැනවූවත්, මිනිසුන්ගේ කතාව තහනම් කළ නොහැකිය. උපමා කතා, කට කතා, ගම කතා, ජන කතා, සිනා කතා යනුවෙන් වර්ග කළ හැකි නිදහස් කතා බොහෝය. ඒ කතා තුළ, ඒ ඒ යුගවල, ඒ ඒ රටවල සමාජය හා දේශපාලනය, එක් එක් අයුරින් පිළිබිඹු වේ.
පරිගණකය හා ජංගම දුරකථනය බිහිවීමත් සමගම, ජන සන්නිවේදනය උඩු යටිකුරු වුණි. නොඑසේ නම් ලොකු පිම්මක්, ඉදිරියට පැන්නේය.
ඉහත දැක්වූ ආකාරයේ සියලු “ජනකතා” දැන් නිර්මාණය වන්නේත්, ප්‍රචාරය වන්නේත් අන්තර්ජාලය හරහාය. ෆේස් බුක්, වට්ස් ඇප්, ට්විටර්, මෙසෙන්ජර් යනාදී වශයෙන් හැඳින්වෙන්නේ නූතන යුගයේ “අම්බලම්”ය.
මෙකී අම්බලම්වල කියැවෙන කයි කතන්දරවලටද අයිතිකාරයෙක් නැත. කර්තෘ අඥාතය. ඒ කතා අතර, ගොන් කතා, මෝඩ කතා, පිස්සු කතා හා අමන කතාද වෙයි. එහෙත් අසන්නාට හෝ තිබෙන්නාට, අනවශ්‍ය කතා ඩිලීට් කළ හැකිය. අවශ්‍ය නම් අන් අය සමඟ (ෂෙයාර්) කර ගත හැකිය.
අනම් මනම් කීම නවතා, මෑතකදී මට අන්තර් ජාලයෙන් ඇස ගැසුණු දේශපාලන උපහාසයක්, ඔබට දීමට කැමතිය. සමහරවිට දැනටමත් මෙය කියවා තිබෙන්නටද පිළිවන. එහෙත් නැවත වරක් කියැවීමට සිත් දෙන මෙය, මා අගය කරන්නේ, එහි ඇති දේශපාලන ටොක්කට වඩා, නිර්මාණශීලී ගුණය නිසාය. කොහෙන් ෂෙයාර් වුණත්, කාගේ වැඩක් වුණත්, එය සුපිරිය. ආතල්ය. මාරය.
ඡන්දයට පෙර
නායකයා: ඔව්. නැවතත් හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙයින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි.
ජනතාව: ඔබ රට කොල්ල කනවාද?
නායකයා: අපොයි. හීනෙන්වත් එහෙම හිතන්නෙ නෑ.
ජනතාව: ඔබ අපේ දියුණුව වෙනුවෙන් කැප වෙනවාද?
නායකයා: ඔව්. ඔබ බලාපොරොත්තු වෙනවාටත් වඩා.
ජනතාව: ඔබේ පාලන කාලයේ බඩු මිල ඉහළ යයිද?
නායකයා: එයට කිසිම ඉඩක් නැත.
ජනතාව: හොඳ රුකියා අවස්ථා ඇතිකර දෙනවාද?
නායකයා: අනිවාර්යයෙන්ම. ඒ ගැන කිසිම සැකයක් නෑ.
ජනතාව: බලය ලැබුණට පසුව, රටේ සම්පත් හූරගෙන කනවද?
නායකයා: පිස්සුද? එහෙම හිතන්නවත් එපා.
ජනතාව: ඔබව අපට විශ්වාස කළ හැකිද?
නායකයා: ඒ ගැන සහතික වෙනවා. සදාකාලයටම.
ජනතාව: ඔබයි අපේ ගැලවුම්කාරයා.
නායකයෝ, බලයට පත්වූ විට වෙනස්වීම සාමාන්‍ය තත්ත්වයකි. දැන්, ඔබ මේ ප්‍රශ්නාවලිය, අග සිට මුලට කියවා බලන්න. බලයට පත්වීමට පෙර හා පසුව ලැබෙන පිළිතුරු ඔබ සිනාගන්වන අතරම, සිතීමටද යමක් ඉතිරි කරයි. මේ වසරේ අන්තර්ජාල කතාවන්ට සම්මාන පිරිනමනවා නම්, මේ කතාවද අනිවාර්යයෙන්ම නිර්දේශ විය යුතු වේ යැයි සිතමි.
මෑතකදී, මුහුණු පොතින් තවත් වැදගත් කතාවක් දුටුවෙමි. එයට සිනා නොයයි. දුක සිතෙයි. එය පකිස්ථානු අගමැති, ඉම්රාන් ඛාන්ගේ කතාවකින් උපුටා ගත්තකි. ඔහු මෙසේ පවසයි.
“තුන්වැනි ලෝකයේ ධනවතුන්, ව්‍යාපාරිකයන් අයුතු ලෙස උපයන ධනය, තැන්පත් කරන්නේ, දියුණු රටවල බැංකුවල. ඒ රටවල්, මේ කළු සල්ලි බාර ගන්නේ “සුදු සල්ලි” ලෙසින්. අපේ රටවල ජනතාව අතර තිබිය යුතු මුදල්, ඔවුන් ආරක්ෂා කර සඟවා තබනවා. ඉන්පසු අපට ණය දෙනවා. මෙය කොතරම් අසාධාරණද? ඔවුන් දුප්පත් රටවලට මෙසේ කරන්නේ ඇයි? අපෙන් කොල්ල කා ගන්නා මුදල් ආපසු නොදෙන්නේ ඇයි?” ඉම්රාන් ඛාන් මෙසේ ප්‍රශ්න කරන්නේ මහත් ආවේගයකිනි.
මෙය කළු සල්ලි යකාගේ පැන්ඩෝරා පෙට්ටිය පිළිබඳව කාටත් නොපෙනෙන ඇත්ත කතාවය. දුප්පත් රටවල “මහත් හොරුන්” රැක බලා ගන්නේ පොහොසත් රටවල “මහත් හොරුන්” විසිනි. ඔවුන් ඒ ධනය කිසිදාක ඒවායේ සැබෑ හිමිකරුවන් වන දිළිඳු රටවල ජනයාට ලබා නොදෙයි. ඒ ගැන කතා කිරීම පවා හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි. ගොයම කන්නේ, වැටත් නියරත් දෙකම එකතුවීය.
ඕපාදූප නොහොත් “ඕපස්”ද, අන්තර්ජාලයේ තවත් ජනප්‍රිය අංගයකි. මෑතකදී ඉන් අසන්නට ලැබුණු එබඳු ඕපයක් වූයේ, “මැණිකේ මගේ හිතේ” ගීතයේ මහා ජනප්‍රියත්වය, ඉන්දියානු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවය.
මේ කතාව - ඕපය - ඇසූ සැණින් සිරි ලංකාවේ සංගීත ක්ෂේත්‍රය හෙල්ලුම් කෑවේ, තවත් කොවිඩ් රැල්ලක් ළඟ ළඟ එනවා යැයි අසන්න ලැබුණු කලෙක මෙනි.
සිරි ලංකා ගායක ගායිකාවෝ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපසට රොක්වන්නට වූහ. ඔවුන් සැමගේ ඉල්ලීම වූයේ, ඊළඟ කුමන්ත්‍රණයට තමන්ගේ ගීතයක් යොදාගන්නා ලෙසය.
කපිල කුමාර කාලිංග