මාර්ටින් ලූතර් කින්ග් - යන නාමය අමෙරිකාවේ කළු ජාතිකයන්ගේ ඉතිහාසයේ මෑත යුගය ගැන කතා කරන විට, කිසිසේත් අමතක කළ නොහැකිය. කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ගැන සටන් කළ ඔහුට අවසානයේ ඒ වෙනුවෙන්ම ජීවිතය පුදන්නටද සිදුවිය.
ගුරුන්ට පමණක් නොව, මාධ්‍යවේදීන්ටද අකුරු වරදින වෙලාවල් නැතුවා නොවේ. එක්තරා අවස්ථාවක, ඉංග්‍රීසියෙන් තිබූ පුවතක වූ, Martin Luther King යන්න, මාධ්‍යවේදියකු විසින් සිංහලට නැගුවේ මාර්ටින් ලූතර් (රජතුමා) ලෙසිනි. අත්වැරදීමක් වුවද මෙය හිනා කන වැඩක් බව ඇත්තය. සාමාන්‍ය මිනිසුන්ට වඩා, මාධ්‍යවේදීන්ට සාමාන්‍ය දැනුම තිබිය යුතු යැයි කියන්නේ මේ නිසාය. තරමක් පරණ කතාවක් වූ මෙය, නැවත මතකයට නැගුණේ, අප මිත්‍ර පත්‍ර කලාවේදී චන්න බණ්ඩාර දොළපිහිල්ල, විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ අත්දැකීම් ඇතුළත් කරමින් ලියූ, (සුන්දර පත්තර මතක) කියවීමේදීය.
මාර්ටින් ලූතර්ගේ වාසගම (කින්ග්) වූ නමුදු ඔහු රජ කෙනෙක් නොවීය. එහෙත් පීඩිත කළු ජනයාට ඔහු රජෙකු හා සමාන විය. එහෙත්, උගත්, නිහතමානී පුද්ගලයකු වූ මාර්ටින් ලූතර් (රජු) ළඟ, රාජ ඌෂ්ණයද නොවීය.
රාජ ඌෂ්ණය තිබෙන්නේ රජවරු ළඟය. රජවරු ළඟින් පමණක් නොව දුරින් ඇසුරු කරන අය ළඟද, රාජ ඌෂ්ණය තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජ රාජ මහාමාත්‍ය තනතුරු සදාකාලික නොවේ. ඒවා අහිමි වූ පසු, රාජ ඌෂ්ණයද, ඇල් වතුර ගාණට නිවී යයි.
රජවරුන් ඇසුරු කිරීමද පරිස්සමින් කළ යුත්තකි. රාජ ඌෂ්ණය වැදීම, හිරු රශ්මිය මෙන් සනීපදායක නොවේ. ඕනෑම මොහොතක එයින් දැවී, හළු වී යාමටද ඉඩ තිබේ. රජවරුන් සමඟ අතේ දුරින් සිටීම නුවණට හුරු යැයි, පඬිවරුන් පවසා ඇත්තේ එහෙයිනි.
රජ කෙනකු උරහිසට අත තැබුවහොත් පරිස්සම් විය යුතුය. මක් නිසාද යත්, ඒ අතට, ඔහුගේ කම්මුලටද ළඟා විය හැකි බැවිනි. ලබ්බට තිබූ අත පුහුලටද තබන්නා සේය!
රජවරුන් සමඟ විහිළු කිරීමට යාමද භයානක දෙයකි. එහෙත් රජවරුන් විහිළු තහළුවට කැමතිය. අතීතයේ සිටම රජවරුන්, විහිළුකාරයන්ට, දහසින් බැඳි පියලි පමණක් නොව ගම්බිම් පවා තෑගි කරමින් ඔවුන් රැකබලා ගත්තේ එහෙයිනි. සමහර රජවරු, තම ඇමැති මණ්ඩලවලට පවා විහිළුකාරයන් පත් කර ගත්හ. ඔවුහු, රජතුමා පමණක් නොව, ජනතාවටද විහිළු සැපයූහ.
කෙසේ වෙතත්, රජු සිනා ගැන්වීමට මිස රජුට සිනාසීමට කිසිවකුට අවසර නැත. එසේම, හැමවිටම, රජු කරන විහිළුවලට අප කෑගසා, උඩ පැන සිනාසිය යුතුය. අප කරන විහිළුවලට රජතුමා සිනාසිය යුතුම යැයි නියමයක් නැත.
අන්දරේ යනු, රජුන්ට විහිළු කළ හොඳ කවටයකු බව කවුරුත් දනිති. “මට පෙනෙනා ලෙසට මහරජ ඉබ්බාය” යනුවෙන්, රජු උපහාසයට ලක් කිරීමට තරම් ඔහු උපායශීලී විය. දක්ෂ විය. එහෙත්, අන්දරේ කළ කී දෑ නිසා රජු උදහස් වූ අවස්ථාද හිඟ නොවීය. කාගෙත් රැවටිලි, කාරිය කෙරෙන තුරුය. රිදී කළේ රන් කොතලේ පැන් බීපු අන්දරේට, නිකම් කළේ පැන් පොදක් නැතුව ගියේ එහෙයිනි. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ ඔහුට, පලු වීර ගහක් යට අවසන් හුස්ම හෙළන්නට වූයේද එහෙයිනි.
අනික් අතට, රජකම් කළත්, කවටකම් කළත්, කළ කම් වලින් නම් ගැලවීමක් නැත.
අන්දරේලා නැති කලට, දෛවඥයෝ, අනාවැකි කියන්නෝ ඒ කාරිය කරති.
ඉන්දියාවේ සිටි රජ කෙනෙක්, සිහිනයෙන් මීයන් තුන් දෙනකු දුටුවේය. එකෙක් තරබාරුය. තවකෙක් කෙට්ටුය. තුන්වැනියා අන්ධය. පසු දින උදෑසන, රාජකීය දෛවඥයා කැඳවූ රජු, තමා දුටු සිහිනය පහදා දෙන මෙන් කීය. මඳක් කල්පනා කළ දෛවඥයා මෙසේ කීය.
“තරබාරු මීයා යනු ඔබතුමාය
කෙට්ටු මීයා යනු මාය
අන්ධ මීයා යනු ජනතාවය”
පඬුරු ලද දෛවඥයා නික්ම ගියද, රජු සෑහීමකට පත් වූයේ නැත. මාලිගය ඉදිරිපස මාර්ගයේ යන මහළු පුද්ගලයකු දුටු රජු, ඔහු කැඳවා තමා දුටු සිහිනය පහදා දෙන මෙන් කීය. මහල්ලා මෙසේ කීය.
“තරබාරු මීයා යනු දෛවඥයාය
කෙට්ටු මීයා යනු ජනතාවය
අන්ධ මීයා යනු ඔබතුමාය”
රජුට මොළේ පෑදුණේ එවිටය.
දෛවඥයන්ට වඩා හොඳින් අනාවැකි කිව හැක්කේ සාමාන්‍ය ජනතාවට බව රජවරැන්ට වැටහෙන්නේ, සිහසුනෙන් විසි වූ විටය.
උගැන්ඩාවේ ජනපතිව සිටි ඉඩි අමීන් පිළිබඳ කතා බොහෝය. ඔහු තමා හාස්‍ය ප්‍රිය කරන පුද්ගලයකු බව කියා පෑමට උත්සාහ කළේය. එක් අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කළේ, පුවත්පත්වල පළ කරන දේශපාලන කාටූන් හා තීරැ ලිපි එකතු කිරීම තම විනෝදාංශයක් බවය.
මේ බව දැනගත්, ඉඩි අමීන්ගේ පෙම්වතියක්, ඔහුගෙන් මෙසේ ඇසුවාය.
“ඔයා දැන් කාටූන් කීයක් විතර එකතු කරල තියෙනවද?”
ඉඩී අමීන් කට ඇද සිනාවක් පෑවේය.
“පන්සීයක් විතර”
“ඒව කොහෙද තියෙන්නෙ.. ඇල්බම් එකකද?”
“නෑ... තුන්සීයක් ජීවතුන් අතර නෑ. දෙසීයක් තාම හිරේ.”
විහිළු කළ යුත්තේ විහිළු දන්නා අය සමඟ පමණි. එසේ නොවන තැන, ඔබ විහිළුවක් බවට පත්වනු ඇත.
කපිල කුමාර කාලිංග