සෑම උදෑසනකම අන්තර්ජාල මාවත් ඔස්සේ කියැවීමට ලැබෙන උපහාස වැකි, කාටූන්. සිනා කතා බොහෝමයක් ඉතා නිර්මාණශීලීය. තියුණුය. රසවත්ය. ඊයේ පෙරේදා ඇස ගැසුණු එබඳු උපහාස කියුම් දෙකකි මේ.
• මුන් හොරෙන්ම ඉරත් විකුණගෙනද මන්දා. දැන් සතියකින් විතර ඉර දැක්කෙ නෑ...
• ඉංග්‍රීසියෙන් ''තර්ඩ් ක්ලාස්'' (3rd Class) වැඩ යනුවෙන් අදහස් කරන දෙයම, සිංහලෙන් ''දෙකයි පනහේ වැඩ'' යනුවෙන් වෙනස්වූයේ කෙසේද යන්න ප්‍රශ්නයකි. සමහරවිට, කවුරුන් හෝ එතැනින්ද ශත 50ක් පිල්ලි ගැසුවා විය හැකිය.
මෙම නිර්නාමික විහිළු තහළුවලින් කියැවෙන්නේ, සමාජයේ වෙසෙන පුංචි සිංඤ්ඤෝලාගේ. සිම්පල් සයිමන්ලාගේ සිතෙහි කැකෑරෙන අදහස් උදහස්ය. රට වටකර වැට බැන්දත් කට වටකර වැට බැඳිය නොහැකිය කියූ පුංචි අප්පුගේ කටේ මසුරන් (ඩොලර්) දැමීම වටී.
රජ කාලයේ සිටම, කවට කතිකයින්ගේ කට උල තියනවා යැයි අණබෙර ගසාවත්, නතර කළ නොහැකි විය. හැම රටකම, හැම ජාතියකම, හැම භාෂාවකම, පොත් ගණන් ලියන්නට ඇති තරම් සිනා කතා, උපමා කතා, කවට කවි දක්නට ඇත්තේ එහෙයිනි.
ජනසන්නිවේදනයේ වැඩි කොටසක් අන්තර්ජාලය භාරගත් දා සිට ඉහත කී ආකාරයේ කියුම් කෙරැම් වැඩිපුර දක්නට ලැබෙන්නේ, එෆ්.බී., වට්ස්ඇප්, ට්විටර් හා වෙබ් අඩවි හරහාය. ඒ අතර මඩ ප්‍රචාරද සිදුවෙයි. එහෙත් ඒවා මඩ බව දන්නෝ දනිති.
සිරි ලංකාවේ ඇතැම් මාධ්‍යයන් හා සසඳන කළ, නිදහස් මාධ්‍ය ලෙස සැලකිව හැක්කේද සෝෂල් මීඩියා නොහොත් අන්තර්ජාලයෙන් උපන් සමාජ මාධ්‍යමය. එහෙයින් ''නිදහස් මාධ්‍යවේදියා'' යන ටයිටලයද නැවත නිර්වචනය කිරීමට සිදුව ඇත.
මේ අතර රජයේ මැදිහත්වීමෙන් ජනමාධ්‍ය පුහුණු ආයතනයක් පිහිටුවීමට යන නිසා, නුදුරු අනාගතයේදීම ''චාටඩ් ජර්නලිස්ට්ස්'' නොහොත් වරලත් මාධ්‍යවේදීන් වර්ගයක්ද බිහිවීමට ඉඩ ඇත.
කලකට ඉහත නම් මුද්‍රිත මාධ්‍යවේදීන් (එකල ඔවුන් හැඳින්වුණේ පුවත්පත් කලාවේදීන් යනුවෙනි.) පසුකලෙක ඔවුන් අතරට විද්‍යුත් මාධ්‍යවේදීහුද ඇතුළත් වූහ. පෞද්ගලික මාධ්‍ය විද්‍යාල දෙක තුනක්ද මෙරට පැවති නමුත්, ඒවා දැනට සක්‍රීය නැත. මාධ්‍ය ආයතනයක පස්ස දොරෙන්වත් ගොඩ වි නැති ඇතැම් ''මීඩියා සර්ලා'' නම්, රටපුරාම සිය ''ව්‍යාපාර'' පවත්වාගෙන යති.
මෙරට පැවති සම්ප්‍රදාය වූයේ, වෘත්තීය තුළින්ම මාධ්‍ය පුහුණුව ලැබීමය. තරැණ පත්‍ර කලාවේදීන්ගේ ආචාර්යවරැන් වූයේද, අත්දැකීම් බහුල, බහුශ්‍රැත ජ්‍යෙෂ්ඨයින්මය.
ඒ පරණ කතා කෙසේ වෙතත්, වර්තමාන මාධ්‍යවේදීන්ට ක්‍රමවත් පුහුණුවක් ලබාදීම, නරක නැත. විශේෂයෙන්ම, නිවැරදිව බස හැසිරවීම හා මාධ්‍ය ආචාර් ධර්ම මනාව හැදෑරීම, මාධ්‍ය ශිෂ්‍යයන්ට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. සියල්ලටම වඩා වැදගත් වනුයේ, කොන්ද කෙළින් තබාගෙන, මැදහත් නිදහස් මනසින් වැඩ කිරීමට උගෙනීමය. එවිට මෙම ආයතනයෙන් පිටවන ''චාර්ටඩ් මාධ්‍යවේදීන්ට'' චාටර් නොවී කටයුතු කිරීමට හැකිය. වෘත්තීය ගරුත්වය රැකෙන්නේ එවිටය. (මැති ඇමැතිවරුන්ගේ මාධ්‍ය ලේකම් පුටුවලට ''ප්‍රමෝෂන්'' ලබන මාධ්‍යවේදීන් නම් පුහුණු කළ යුත්තේ වෙනම තැනකය)
''පුදනකොටම කාපි යකා'' යැයි අසා ගැනීමට අපට අවශ්‍ය නැත. අනාවැකි කීමටද නොදනිමු. අශුභවාදී ද නැත. එහෙත් පත්තර කලාවට ඇති ආදරය හා ගෞරවය නිසා, කිව යුත්ත නොකියා සිටීමටද නොහැක්කේය. ''පැත්ත ගියත් ඇත්ත කියනු'' යන්න හුදු ආදර්ශ පාඨයක්ම නොව, පත්‍ර කලාවේදීන් (මාධ්‍යවේදීන්) විසින් පිළිපැදිය යුතු න්‍යායක් බව අපගේ අදහසය.
මාධ්‍යවේදියෙකුට හැමවිටම අපක්ෂපාතී විය හැකිද, ඔහුට දේශපාලන ප්‍රතිපත්තියක් තිබිය නොහැකිද යන්න නිතර නැගෙන සංවාදයට තුඩුදෙන පැනයකි.
එක් මාධ්‍යවේදියෙක්, මෙරට පැවති මහ මැතිවරණයකදී පැවති රජය පෙරළා දැමීම සඳහා සහාය දුන්නේය. නව රජය පත්වීමෙන් පසු, ඔහු එයද විවේචනය කරමින් ලියන්නට විය. මෙය නොරිස්සූ, ඇමැතිවරයෙක් මෙසේ ඇසුවේය.
''අපිව බලයට ගේන්ඩ උදව් කරපු ඔහේ, දැන් අපිටම දොස් කියන්නෙ මොකද?''
කට කොණට සිනාවක් නැගූ මාධ්‍යවේදියා මෙසේ කීවේය.
''මම එදත් විපක්ෂයෙ. අදත් විපක්ෂයෙ. හෙටත් විපක්ෂයෙ.''
සැබෑ මාධ්‍යවේදියාගේ දේශපාලනය වැරදි සෙවීමම නොවේ. එහෙත් ඔහු වැරදි පෙන්වා දිය යුතුය.
මාධ්‍යවේදියෙකුගේ පොතක් දොරට වැඩුමට පැමිණ සිටි ඇමැතිවරයෙක් ඔහුගේ දෙසුමේදී මෙසේ කීය.
''මම වැඩිපුර කියවීමට ප්‍රිය කරන්නේ දේශපාලනයෙන් තොර පතපොත. මම තමුන්නාන්සේලාගෙනුත් ඉල්ලන්න කැමතියි, දේශපාලන කාරණාම නොලියා, වෙනත් රසවත් දේවලුත් ලියන ලෙසට...''
ඉන්පසු කතා කළේ, ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහු මෙසේ පැවසීය.
''අපිට දේශපාලනය ගැන ලිවීම නතර කරන්න පුළුවන් වෙන්නෙ, තමුන්නාන්සේලා වැනි අය දේශපාලනය කිරීම නතර කළදාට...''
මාධ්‍ය රැකියාවෙන් සමුගෙන දේශපාලනඥයින් වූ අයද සිටිති. ඔවුන් මාධ්‍ය හමුවලට මිස, මාධ්‍ය ක්ෂේත්‍රයට නම් යළි පැමිණෙන්නේ නැත. මාධ්‍යවේදියාට වඩා දේශපාලනඥයාගේ ආදායම සහ ජීවන තත්ත්වය බොහෝ ඉහළ බව කවුරුත් දනිති.
එහෙයින්, තරුණ මාධ්‍යවේදීන්, මාධ්‍ය පුහුණු ආයතනයට නොව, පාර්ලිමේන්තුවට යාමට උත්සාහ කළහොත්, අප පුදුම විය යුතු නැත.
කපිල කුමාර කාලිංග