2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

පරංගියා වහ කෝට්ටේ යන හැඩයි!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 181

ඩොලරය නැති නිසා, සිරි ලංකාවට රුපියල් ද නැතිව, නන්නත්තාර වන තත්ත්වයක් උදා වී ඇත. රුපියල් සතවලින් ජීවත් වන අපට, මේ ඩොලර් මක්කටදැයි, කෙනකුට සිතුණහොත් එහි වරදක් ද නැත.

ඩොලරයට දිග කතාවක් ඇත. (තලාර්) නමැති ජර්මන් නාමය මුලින්ම යෙදුණේ, රිදී පතල්වල කම්කරුවන්ට පඩි නඩි ගෙවූ කාසිවලටය. පසුව එංගලන්තය හරහා අමෙරිකාවට ගිය, (තලාර්) යූ.එස්. ඩොලර් වී එහි පැළපදියම් විය. ඉංගිරිසිකාරයා, ඩොලරය අමෙරිකාවටම දී, පවුම් කරපින්නා ගත්තේය. ජර්මන්කාරයා ද (තලාර්) අමතක කොට, (ඩොයිෂ් මාර්ක්) වූයේය.

ලෝකයේ එක එක රටවලට එක එක මුදල් වර්ග ඇතත්, ලෝකෙට ලොක්කා ඩොලර්ය. ඒ නිසාම, ඩොලරය බොහෝ විට හැසිරෙන්නේ චණ්ඩියකු ලෙසය. මැරයකු හෝ පාතාලයකු ලෙසය. පිච්චිය නැතුව අසරණව සිටින පොඩි රටවලට, චණ්ඩි පාට් දාන්නේ එ නිසාය.

60 දශකයේදි ලොව පුරා මහත් සේ ජනප්‍රිය වූ ඩොලර් චිත්‍රපට ත්‍රිත්වයක්, සිරි ලංකාවේද ප්‍රදර්ශනය කෙරැණි. For a few Dollars more, The Good Bad and the Ugly, A fistful of Dollars නමැති ඒ චිත්‍රපට, වෙස්ටර්න් නොහොත් කව්බෝයි චිත්‍රපට නමින් ද හැඳින්වුණි. අමෙරිකානු ගොපල්ලන්ගේ වීරක්‍රියා දැක්වුණු එම චිත්‍රපට, අප නැරැඹුවේ ශත හැටේ ගැලරියේ සිටය. කව්බෝයි වීරයෝ, අසුපිට නැගි, ඩියුෂ්, ඩිෂුම් හඬින්, සතුරන්ට වෙඩි තබද්දී, අපි අමෙරිකාවට ඇසෙන්නට (විසිල්) ගසමින්, ගැලරි බංකුවල සිටි මකුණන් මැරුවෙමු.

ගොපළු චිත්‍රපටවලින් වීරයකු වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ඇති තරම් ඩොලර් හම්බ කළේය. ඉන් පසු ඔහු නළුකම පසෙක තබා චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. නිෂ්පාදනය කළේය. පසු කලෙක ඔහු, කැලිෆෝනියාවේ නගරාධිපති ධුරයට ද පත් විය.
එහෙත් ඔහු, කව්බෝයි පිස්තෝලය ගෙන, සතුරන් ලුහුබැඳ ගියේ නැත. ස්ත්‍රීන් දූෂණය කොට හිරේ විලංගුවේ වැටුණේ නැත. කැලෑ කැපුවේ නැත. කොන්ත්‍රාත් මගින් ඩොලර් පිල්ලි ගැසුවේ හෝ පැන්ඩෝරා පෙට්ටිවල තැන්පත් කෙරුවේද නැත.
රටක ආර්ථිකය හා දේශපාලනය යනු දෙකක් වුවද, හැමවිටම පාහේ ආර්ථිකය පාලනය වන්නේ දේශපාලනයෙනි. සිරි ලංකාව ඊට හොඳම නිදසුනය. ඉකොනොමික්ස් වෙනුවට දක්නට ලැබෙන්නේ (පොලි-කොමික්ස්ය).

කුෂ්වන්ත් සිංගේ සිනා කතාවක කියැවෙන අන්දමට ලෝකයේ පළමු ආර්ථික විද්‍යාඥයා, ක්‍රිස්ටෝපර් කොලම්බස්ය. ඊට හේතු මෙසේය.

කොලොම්බස්ට යාමට අවශ්‍ය වූයේ, එක් දිශාවකටය. එහෙත් ඔහු ගමන් කළේ වෙන දිශාවකටය.

අමෙරිකාවට පා තැබූ ඔහු, එය ඉන්දියාව යැයි වරදවා වටහා ගත්තේය. ඒ නිසා, එහි විසූ මුල් පදිංචිකාරයන් (රතු ඉන්දියානුවන්) බවට පත් විය.

කොලම්බස්ගේ සියලු ගමන් බිමන්වලට වියදම් කළේ රාජාණ්ඩුවකි.

රටකට විහිළු සැපයීම ආර්ථික විද්‍යාඥයන්ගේ කාරිය නොවේ. එහෙත් ආර්ථික විද්‍යාඥයන්ගේ කාරිය, ඉහත කී ආකාරයේ කොලම්බස්ලාට පැවරුණු විට, ජනතාවට ලැබෙන්නේ ආර්ථික විහිළුය.

පරණ ටවුමේ සිට කොළඹ ගිය බසයේ රියැදුරාට, මිනිසුන් යෙදූ නම (කොලම්-බස්ය). එහෙත් ඒ කොලම්බස්, කොළඹ යනවා කියා යාල්පානම් ගියේ නැත. මගියෝ, ඒ බසයට නැග, ඇස් පියාගන්නේ, එය කොළඹ යන බව ඉස්තීරෙටම දන්නා නිසාය.
ඉන්දියාව වෙනුවට අමෙරිකාව සොයාගත් කොලම්බස්, එහි සිටි ස්වදේශිකයන් සමූල ඝාතනය වන්නට ඉඩ හරිමින්, ඒ භූමිය යුරෝපීයයන්ට පවරා දුන්නේය. මෑතකදී, කොලම්බස්ගේ ප්‍රතිමා පොළොවට ඇද දමා, විනාශ කිරීමට, අමෙරිකාවේම ඇතැම් ජන කොටස් කටයුතු කළේ, ඔහුගේ ඒ (පැටිකිරිය)ට විරෝධය පාමිනි.

පරංගියා කෝට්ටේ ගෙන ගියා මෙන් ජනතාව ද වටේ ගෙන යන, ලෝකල් කොලම්බස්ලා ද පරිස්සම් විය යුතුය. ප්‍රතිමා පෙරළෙන්නට යන්නේ සුළු මොහොතකි. ස්ටැලින්ලා, ලෙනින්ලාට ද ඒ ටික වූ සැටි දුටුවෙමු.

එසේ නම් ලෝකල් කොලම්බස්ලා කළ යුත්තේ කුමක්ද? කොළඹ යනවා නම්, කොළඹ යාමය. කෝට්ටේ යනවා නම් කෝට්ටේ යාමය. පෙනෙන හැටියට නම් මේ යන්නේ (වහ කෝට්ටේ)ය!‍

තුන්වැනි ලෝකයේ ඕනෑම රටකට, ආර්ථිකය සමබර කර ගැනීමට, පොහොසත් රටවලින් ණය ගැනීමට සිදුවෙයි. එහෙත් වාසිබෝලන්තය වැනි රටවල්, ණය ගන්නේ සමබර වීම සඳහා නොව ණය බර වීමටය. ණය ගතයුත්තේ අශුභවාදීන්ගෙන් යැයි කියුමක් ඇත. ඔවුන් එය නැවත ලැබෙතැයි බලාපොරොත්තු නොවන බැවිනි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය, අශුභවාදීන් සිටින තැනකැයි අපි වරදවා වටහාගත යුතු නැත.

ලෝක බැංකුව සම්බන්ධයෙන් ඇති, උපහාස කියුමක් මෙසේය.

“අප ඔබට ණය මුදල් ලබා දෙන්නේ ඩොලර්වලින් බව ඇත්තය. එහෙත් ඒ ඩොලර් අපේ මිස, ඔබේ නොවන බව සිහියේ තබාගත යුතුය.”

අපට ඩොලර් නැති වී ඇත්තේ, අනුන්ගේ ඩොලර් අපේ යැයි සිතා වියදම් කිරීමට යාම නිසාදැයි, හොඳ සිහියෙන් කල්පනා කළොත් හොඳය.

“සිහිය නැති කල පණේ - දොරේ හිලවත් නොපෙනේ”!

කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00