2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

පින්තූර පෙළක් වැනි පොතක්

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 212

නීල් විජේරත්න විසින් රචිත ‘මගේ ඉරිදාව’- තීරු ලිපි සංග‍්‍රහය කියවාගෙන යනවිට එකිනෙක පසුපස පාඨක මනසට පිවිසෙන විචිත‍්‍ර චිත‍්‍ර අනේක විධ වෙයි. මා එසේ කියන්නේ ඉන්දියාව පුරා ඇවිද යනවිට මසැසට ලක් නොවන, එසේ ලක්වුවත් මනසින් රස විඳීමට අප තැත් නොකරන අපූරු ජවනිකා නිතැතින්ම ඔහුගේ පොතේ පිටු අතරට පිවිස ඇති බැවිනි. 

සැබැවින්ම මෙහි සඳහන් විවිධ විස්තර ගද්‍ය ආඛ්‍යානයකට වඩා මනසින් ඡායාරූප ගත කළ සිද්ධි සමුදායක් ලෙස අප ඉදිරියේ දිස්වන්නට පටන් ගනියි. කතුවරයාම කියන හැටියට ‘.....එකිනෙක හා ඇඳුණු නෙක මාදිලියේ පින්තූර පෙළක සෙයියාවෙන් මතක ධාරා ගොන්නක් මා හඹා එන සෙයකි. මම මොහොතකට නතර වීමි. මේ මතක පින්තූර මාලාව විසිතුරුය. විචිත්‍රය. ඒ මුල් සිදුවීම් නිමේෂයට ආපසු මා කැඳවන සුළුය. (කර්තෘ සටහන - මගේ ඉරිදාව)

භාරතීයයන් බොහෝ දෙනා සැහැල්ලු දිවි පෙවෙතක් නිතැතින්ම උරුම කරගෙන ඇති ජන කොටසකි. අසාමාන්‍ය ලෙස දිස්වන දිළිඳුකම, තැන තැන ගොඩ ගැසී ඇති කසල කඳු, බොහෝ තැන්වල ඇසෙන කන් බිහිරි කරවන ඝෝෂාවන්, වීදි පුරා ඇසෙන කන් කීරි ගැසෙන වාහනවල නළා හඬේ කංකරච්චිලය මධ්‍යයේ වුවද, පුදුමය දනවන ලෙස අඩියක් අඩියක් පාසා ඉස්මතු වන භාරතීය කලාවේ හා සංස්කෘතියේ මනස්කාන්ත බව ග්‍රහණය කර ගැනීමට නීල් සමතෙකි. ඔහුගේ සෑම ලියවිල්ලකම දක්නට ලැබෙන්නේ ඉන්දියාවෙන් අප උකහා ගත යුතු ඒ සංස්කෘතික හර පද්ධතීන්ය. සැරිසර නින්නාද, මඟ විසිතුරු, දැන හැඳුනුම්කම්, පත පොත ඇසුර, පන්දු පිටිය වැනි අනු මාතෘකා රැසකට ගොනුකර ඇති තිරු ලිපි, සෞන්දර්යය ද, ඈත හා මෑත අතීතයේ රසමුසු තැන්ද, කතුවර වත ගොතද, සංගීතයද, කලාවද, ආගමද ක්‍රීඩා ලොවේ ජවයද, විවිධාකාරයෙන් අප සිත් සතන් තුළ ජවනිකා මවයි. මේ අතීත හා වර්තමාන සිද්ධිවල රසය අප සිත් තුළ මෙතරම් ආනන්දයක් මවන්නේ අපද අතීතය අභිනන්දනය කිරීමෙන් පිනා යන බැවින්ද, නොඑසේ නම් එය නීල්ගේ තීරු ලිපි රචනයේ ඇති සුපසන් පරිචය නිසාදැයි යන්න තෝරා බේරා ගැනීමටද මඳක් තත්පර විය යුතුය.

කතුවරයා ඉන්දියාවේ සිද්ධි වල විචිත්‍රත්වයෙන් පමණක් සෑහීමට පත් වන්නේ නැත. අප බොහෝ දෙනා විසින් අත් දකින “නොස්ටැල්ජියා” හෙවත් අතීත යමක් රංජනය කිරීමේ ආසාව නමැති සුන්දර මානසික තත්ත්වය නීල්ගේ සිතෙහිද නොඅඩුව පවතින බව ස්ඵුට වන්නේ ලංකාව ගැන ලිවූ තීරු ලිපිද මෙහි තන්හි තන්හි නොයෙක් රසයන් මවන නිසාය. හැඳල ඇල කණ්ඩිය දිගේ ඇවිදිමින් එකල එහි ගමනාගමනයේ යෙදුණු පාරු ගැන මනරම් විවරණයක් කරන අප කතුවරයාණෝ ඉන්පසු හබරණ පාර දිගේද, මඩු වන්දනාවේද, ලංකාවේ වාසය කරන අප ඛේදනීය ලෙස අමතක කර දමා ඇති තවත් බොහෝ ස්ථානවලටද අප කැඳවාගෙන යති.

මගේ ඉරිදාවෙන් පාඨකයා වෙත තිළිණ කරන්නේ ලාංකික  හා ඉන්දියානු චමත්කාරය පමණක් නොවේ. මෙය සැබැවින්ම විවිධ වකවානුවල විවිධ තොරතුරු රැගත් වටිනා අධ්‍යාපනික ග්‍රන්ථයකි. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සුරක්ෂිතව ඇති පරණ පත්තර පිටු අතර අතැඟිලි දුවවන ගමන් සොයාගත් “සිලෝන් ක්‍රොනිකල්” නම් වූ “මඩකලපු පත්තරේ” ගැනද, “කළුතර ක්‍රොනිකල්” හෙවෙත් “කළුතර පත්තරේ” ගැනද විස්තර වත්මන් පාඨකයන් බොහෝවිට නොදත්, නොඇසූ දේය. ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම පළවූ එවැනි ප්‍රාදේශීය පුවත්පත්වලද, ගමේ පල්ලියේ “මුද්‍රාංකණ සතිය” හා “මුද්‍රාංකණ ඉරුදින” ඇසුරු කොට ලියැවුණු පත පොතෙහිද තිබූ භාෂාවේ අලංකාරත්වය හා ගම්භීර බව ගැනද කතුවරයා කතා කරන්නේ පහන් හැඟීමෙනි. වෙබ් අඩවිවලින් හා සමාජ මාධ්‍ය ජාලාවලින් කාබාසිනියා කර දැමූ සිංහල භාෂාවක් එකල නොවීම කෙතරම් සහනයක් වන්නට ඇත්ද?

ඉන්දියාවේ හා ලංකාවේ සෞන්දර්ය ගවේෂණය යෙදෙන කතුවරයා තම තීරු ලිපි තුළින් ක්‍රිකට් ක්‍රීඩාව, රිටි පැනීම, පාපන්දු හා මලල ක්‍රීඩා ගැන සජීවී විස්තර විචාරයක යෙදෙනු අපට ඇසෙන්නට පටන් ගනියි. පෙනෙන්නට පටන් ගනියි. ක්‍රීඩා විස්තර විචාර තුළ එතරම් නොඇසෙන අපේ රටි පැනීමේ ක්‍රීඩාවේ ඉතිහාසය හා ඊට සම්බන්ධ වූ ආ ආතර් ඩෙප් ගැන කරන දීර්ඝ තීරු ලිපිය සාරගර්භය. අතීතයේ විසූ මෙවැනි මිනිසුන්ගේ උත්කෘෂ්ඨ බව පිළිබිඹු කිරීමට තීරු ලිපි රචකයා අත ඇති රසවත් මූලාශ්‍ර මොනවට සමත් වෙයි.

කුෂ්වාන්ත් සිං නමැති අසහාය ඉන්දියානු ලේඛකයාගේ ලේඛන කලාව සමඟ බැඳී ඇති ඉතා රසවත් සිද්ධි, ඔහු නිතර ආ ගිය නවදිල්ලි පොත් සාප්පුව, ඔහුගේ වාසභවනය පිහිටි සුජා සිං උද්‍යානය, කුෂ්වන්ති සිංගේ අන්තිම නවකතාව හා ඔහුගේ තීරු ලිපි කලාව ගැන මගේ ඉරිදාවේ සඳහන් මනබඳනා තොරතුරු ගැන දීර්ඝ විස්තරයක් කිරීමට මෙය අවස්ථාවක් නොවේ. 

නීල් විජේරත්න අපේ පැරණි සංගීතවේදීන් ගැන අවදිකරන මතකය ආනන්දජනකය. ඒ අතරින් සී.ටී. ප්‍රනාන්දු ගයන, පරම්පරා ගණනක් තිස්සේ තුඩග තුඩග රැඳුණු. “අනේ ඩිංගක් ඉන්නකෝ” ගීතය ඩී.සී. ජයසිංහ සහෘදයාණන් අතින් නිර්මාණය වුණු ආකාරය ගැන කියවෙන සටහන අති මනරම්ය. මාගේ මතකයේ හැටියට එය සී.ටී. ගායනා කරන්නේ “ආනෙ ඩිංගක් ඉන්නකෝ” කියා වඩා ළයාන්විත ස්වරයකිනි. ඒ මතකයන් කෙතරම් රසවත්ද?

රූපා ශ්‍රියානි ඒකනායක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00