වාසිබෝලන්තයේ මනිමේනියා රැජින සිය මාලිගයේ සිටින මොහොතක පාරේ යන අඹ වෙළෙන්ඳකුගේ හඬක් ඇසුණි.
“ලාබයි අඹ ලාබයි. කාබයිට් නෑ.. රසම රසයි..”
අඹ කෑමේ සිතක් පහළ වුණු රැජින, තම වෙළෙඳ කටයුතු ඇමැතිවරයා කැඳවා මෙසේ කීය.
“මේ රුපියල් සීය අරන් ගිහින්, මට අඹ ටිකක් අරන් එනවා.”
රුපියල් සීය සාක්කුවේ දමාගත්, වෙළෙඳ ඇමැති ආරක්ෂක ඇමැති හමුවී මෙසේ කීය.
“අපේ උත්තමාවියට අඹ කන්න ආසාවක් ඇතිවෙලා. අර අඹ කරත්තෙන්, අඹ මල්ලක් අරං එන්ඩ.”
වහාම අඹ කරත්තය අසලට ගිය, ආරක්ෂක ඇමැති තම නිල බලය යොදා එය අත්අඩංගුවට ගත්තේය. ඉන් අඹ මල්ලක් රැජින වෙත යැවූ ඔහු ඉතිරි සියල්ල තම නිල නිවෙසට ගෙන ගියේය.
අඹ මල්ල දුටු රැජින පුදුම වූවාය.
“රැපියල් සීයට අඹ මල්ලක්ම..”
ඇය වහාම මුදල් ඇමැති කැඳවූවාය.
“මට පේන හැටියට, දැන් බඩු මිල හොඳටම පහත වැටිලා. ඒ කියන්නේ රටවැසියන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩියි. එයින් අදහස් වෙන්නේ රටේ ආර්ථික තත්ත්වය දියුණුවෙලා කියන එකයි. දැන් හොඳයි අලුත් බදුත් එක්ක, අලුත් අයවැයක් ගේන්න.”
මුදල් ඇමැතිද ඊට එකඟ වී නික්ම ගියේය.
පසු දින පුවත්පත්වල, ඇතුළු පිටුවක පුවතකින් කියැවුණේ ණය බරින් පෙළෙන, දිළිඳු වෙළෙන්ඳෙක් අඹ ගසක එල්ලී දිවිනසාගෙන ඇති බවය.
බැලූ බැල්මට මෙය, ජන කතාවක් හෝ උපමා කතාවක් සේ පෙනී යා හැකිය. එහෙත් එය දේශපාලනික කියැවීමකට ලක් කරන විචාරශීලී පුද්ගලයකුට, එ තුළින් පාලකයා, වැසියා හා නිලධාරියා පිළිබඳ වෙනත් කතාවක්ද දැකගත හැකිවනු ඇත.
බදු යනු ලොව කොතැනත් අමිහිරි වදනකි. එහෙත් බදු ඇතුවත් බැරිය. නැතුවත් බැරිය. මල නොතලා රොන් ගන්නා සේ, බදු අය කළ යුතු යැයි අර්ථ ශාස්ත්‍රයේ උපදෙස් දී ඇත්තේ එහෙයිනි. එහෙත් අවාසනාවකට මෙන්, බොහෝ විට සිදුවන්නේ මල නොව මල් පඳුරම තලා පෙළා පොඩි කර දැමීමය.
අපේ මේ කුඩා දිවයින, ආයුධ බලයෙන් යටත් කරගෙන, සාරය උරා බිව් පරදේසක්කාරයෝ හිතෙන හිතෙන විදිහට බදු පැනවූහ. ඇඟ බද්ද, බලු බද්ද හා ඉස්තෝප්පු බද්ද යනාදී වශයෙන් අටවාගෙන ආ විකාර බදු ක්‍රම නිසා කෙළ ගැසීමට, මුත්‍රා කිරීමට පවා බද්දක් ගෙවීමට සිදුවේදැයි, අසරණ රටවැසියෝ බිය වූහ.
තොප්පියට බදු ගසතැයි තම්බිලා බිය වූ බවත්, නළලේ විභූති ඉරිවලට බදු ගසතැයි අයියදොරේලා තැතිගත් බවත්, ලම්ප්‍රයිස් එකටත් ටැක්ස් වෙතැයි වැන්ඩර්පුට්න් නෝනා ඔළුවේ අත ගසාගත් බවත්, එදා කවි කොළවලත් ලියන්නට යෙදුණි. තොටළඟ රා කඩේ පැත්තේ තාප්පයක, “බද්දෙන් බද්ද - අම්මගෙ රෙද්ද” යැයි ලියා තිබූ බවක්ද මා කොතැනක හෝ කියවා ඇත. එසේ ලියන්නට ඇත්තේ සුරා බදු නීති නිසා “සීමාව” පැන ගිය කෙනෙක් විය හැකිය.
එදත්, අදත්, හෙටත්, මුදල් ඇමැතිලා, ලෙහෙසියටත් පහසුවටත් පළිගන්නේ බෝතලයෙන් සහ දුම්වැටියෙන්ය. එහෙත්, කවුරැත් පාහේ මුවින් නොබැණ සිටින්නේ, ඒ දෙකම අත්‍යවශ්‍ය භාණ්ඩ යැයි නොසැලකෙන බැවිනි. මුවින් නොබැන්නත්, සිතින් බණින උදවිය ද රටේ තොටේ ඕනෑ තරම්ය. “අනේ ඔය මළජරාව නං කොච්චර වැඩි වුණත් කමක් නෑ, හාල් තුනපහ ටික වැඩි නොකර” යැයි, ගෘහණියන් පවසන්නේ, කට කොණකින් සිනාසෙමිනි.
ගැහැනු උදවිය, සුරාවට එරෙහි වන්නට වූයේ ගස් බෙණයක තිබී සෝම පානය සොයාගත් දා සිටමය. (කුරුල්ලන් තුඩගින් ගෙන ආ ධාන්‍ය වර්ග, ගස් බෙණයකට වැටී, එහි තිබූ වතුරේ පැසවී, ඉබේටම සුරාව සෑදුණු බවට පරණ කතාවක් ඇත.) එහෙත්, අඩියක් පුඩියක් ගසන, යමක් කමක් දත් අය නං, විශ්වාස කරන්නේ, දෙවියන් මිනිසාට ගින්දර හඳුන්වා දුන්නාක් මෙන්, මද්‍යසාරය නමැති ගිනි වතුරද තිළිණ කරන්නට ඇති බවය.
සුරාවේ ගුණාගුණ කෙසේ වෙතත්, කවුදෝ කියා ඇති උපහාස කවියක්, මගේ මතකයට නැගේ.
සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝම මිසක්
නොබොන නුනුවණ දනෝ නොදනිත්
වත්ත බද්දට ගන්නා ආ මිනිහට, අනුන්ගේ වතුවල මායිම් මොකටදැයි කියමනක් ඇත. ඒ කියන්නා සේ, මා ද බදු ගැන කීමට ගොස්, සුරාවට වැඩියෙන් බර වී ඇති සේ දැනෙයි.
එක් අතකට එහි වරදක් කීමටද නොහැකිය. තීරු ලිපිකාරයාට තරම්, වැල්වටාරම් ලිවීමට (ලයිසන්) තියෙන තවත් කෙනෙක් මුළු පත්තර ලෝකයේම නැති හෙයිනි. එහෙත්, මොන වැල්වටාරම ලියුවත්, එය කියවන්නාගේ සිත් ඇදගන්නා ලෙස ලිවීම, තීරු ලිපි නොහොත් කොලම්කාරයාගේ වගකීමය. එසේ නැති තැන කොලම, කෝලමක් බවට පත්වෙයි.
රසට තබා, සිංහලෙන් ලියමනක්වත් ලියන්න බැරි, මැත්තන් ඇමැත්තන් ද, කුලියට ගත් ලියනප්පුලා ලවා ලියවන, “කෝලම් හෑලි” ද දැන් දැන් ඇතැම් පත්තර පිටුවල දක්නට ලැබෙයි. තීරු ලිපි නොව තීරු බදු වැනි ඒවා කියවන්නවත් කුලියට ගත් (පා-ඨකයන්) පිරිසක් සිටිනවා විය යුතුය.
ලිවීමේ කලාව නොදත් එකාට, මසුරන් දහසක් අත බැන්දත්, කොලමක් තියා අඟලක්වත් ලියාගත නොහැකිය. ලිවීම කලාවකි. රසට ලිවීම වඩාත් සියුම් කලාවකි.
වාසිබෝලන්තයේ පුවත්පතකට බැඳුණු, නවකයකු ලියන ලියන හැමදේම මෙලෝ රහක් නැති බව දුටු, කතුවරයා කෝපයට පත් විය. එක් දිනක්, නවකයා ලියාගෙන ආ ලිපිය උඩින් පල්ලෙන් කියවා කුණු කූඩයට දැමූ කතුවරයා, මෙසේ කීය.
“අයිසේ, මීට පස්සෙ තමුසෙ ලියන්ඩ කලින් අයිස්ක්‍රීම් එකක්වත් කාල බලනවකො!”
කපිල කුමාර කාලිංග