අවුරුද්ද අවසානයේ, නිවාඩුවක් ගත කිරීම සඳහා විදේශයකට යාමට සූදානම් වූ, ඇමැතිවරයෙක්, තම ආසනයේ පිරිසකගෙන් මෙසේ ඇසුවේය.
''මම රට යනවා. ගිහින් එනකොට තමුසෙලට මොනවද ගේන්න ඕනෙ?''
''අනේ සර්.. වෙන මොකුත් එපා, අපිට එළවළු ටිකක් ගෙනත් දෙන්ඩ''
මෙබඳු (විහිළු කෑලි) මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිතර දක්නට ලැබෙයි. (විහිළු) යැයි කියූ නමුත්, ඒවායේ ඒ හැටි විහිළුවක්ද නැත. තරමක් (සීරියස්) ය.
සමාජ මාධ්‍ය කයි කතන්දර නිසා, තීරුලිපි කාරයන්ට වාසි සහ අවාසි දෙකම සිදුවේ. අවාසිය නම්, අපි ලියන්නට යන දේවල්, පත්තරේට යන්නටත් පෙර, ඒවායේ පළවීමය. වාසිය නම්, මේ සතියේ ලිවිය යුතු දේ කුමක්දැයි තෝරාගැනීමට කල්පනා කරමින් සිටියදී, සමාජ මාධ්‍යයෙන් ඇඟිල්ල දිගු කර, ''ආං මරු කතාවක් තියෙනවා'' යැයි පොටක් පාදා දීමය. බොහෝ විට එවැනි මරු කතා කියා ඇත්තේ, මැති ඇමැත්තෙක්මය. ඒ අසන දකින විට අපට ද, (මරු තීරුව)ක් ලියාගත හැකි වෙයි. (සමාජ මාධ්‍ය කතාවල කර්තෘ අඥාත හෙයින්, කර්තෘ භාග ගෙවීමක්ද අවශ්‍ය නොවේ.)
මැති ඇමැත්තන්ගේ සමහර කතා අසන විට, ඒ ඇත්තන් දැන් දැන් ''මරු කියවනවා''දැයි සිතේ. ඒ අය කරන්නේද මාර වැඩය.
(මරු) වචනය ගැනද කීමට ඇත්තේද මරු කතාවකි.
(මරු) නොහොත් (මාර) යන වචනවල මුල් අර්ථය වූයේ මරණය නොහොත් මාරයාය. මරුවාය. මර උගුල, මර ඇඳ, මාර සෙනඟ, මර ළතෝනි, මරු පෙනිලා වැනි යෙදුම් කටවහරේ පැවතුණේ එහෙයිනි.
ඒ මුල් අර්ථය වෙනස් වී, “නියමයි, පුදුමයි, අපූරුයි, ලස්සනයි” වැනි අරුත් දෙන මාර යෙදුමක් බවට, (මරැ) සිංහලයට එක්වන්නට වැඩි කලක් ගියේ නැත.
භාෂාවක අයිතිකාරයන් වන්නේ, එම බස කතාබහ කරන මිනිසුන් මිස, පණ්ඩිතයන් නොවේ. කලකට ඉහත බිය ගෙන දුන් යෙදුමක්, පසුව කුහුල, සතුට හා පුදුමය දනවන්නක් බවට පත්වන්නේ ද ජනතාවගේ (භාෂා පරමාධිපත්‍යය) අනුවය. ඇත්තෙන්ම එය මරේ මරු වැඩකි.
මුලින් සඳහන් කළ එළවළු කතාව නම්, මරු කතාවක් නොවන්නේ, මේ දිනවල පවතින මිල ගණන් අසන පාරිභෝගික ජනතාවට මරු නගින නිසාය.
එළවළු වෙළෙඳසල් දැන්, එළවළු ප්‍රදර්ශන බවට පත්වී තිබේ. පාරිභෝගික ජනයා, එළවළු නරඹමින් යනු මිස ගනු නැත. එළවළුවලින් අඩුවක් පාඩුවක් නැති නුවරඑළියේ සතිපොළේද සෑම එළවළුවකම කිලෝවක මිල රුපියල් පන්සීයට ආසන්න වී ඇතැයි පුවත්පත් වාර්තාවක කියැවුණි. නුවරඑළියේත් එහෙම නම්, අනෙක් පළාත් ගැන කවර කතාද?
මේ ඉහළ ගිය (ප්‍රයිස්) අඩුවන තුරුම පාරිභෝගිකයාත්, ගොවියාත්, වෙළෙන්දාත් යන තුන් ගොල්ලම, (හාන්සි - ප්‍රයිස්) ය!
මේ දිනවල දුප්පතාගේ හිතවතා වී සිටින්නේ, කවදත් දුකට සැපට සිටි, වට්ටක්කාය. ඒ නිසා, සමාජ ජාලා තුළින් නොයෙක් ආකාරයේ වට්ටක්කා කෑම වට්ටෝරු දක්නට ලැබෙයි. නැති බැරිකමට තම්බාගෙන, ලුණු ඉස කෑ වට්ටක්කාවෙන්, දැන් සුපිරි හෝටල් සහ මන්දිරවල, පුඩිං ද හැදෙන්නට පටන්ගෙන ඇත. (පම්ප්කින් කේක්) නොහොත් (වට්ටක්කා කේක්) ද ඇත්දැයි නොදනිමි.
''ප්‍රේම වඩා සෑම භේද දුරැරදා'' යැයි ජාතික ගීයේ කියැවුණද, සිරි ලංකාව තුළ, භේදවලින් අඩුවක් නැත. කුල භේද, පක්ෂ භේද, ආගම් භේද, ජාති භේද යනාදිය අතරේ, උඩ - පාත් භේදය ද තවමත් පවතී. (සිරි ලංකාව තවමත් සංවර්ධනය වන රටකි.)
එළවළුවටද, උඩ - පාත භේදයක් ඇත. කැරට්, බීට්, ගෝවා, ලීක්ස්, බෝංචි වැනි දේ උඩරටය. බටු, මෑ, කැකිරි, පිපිඤ්ඤා, පතෝල, වට්ටක්කා ආදිය පහතරටය.
හේන්වල වපුරනු ලබන මෙනේරි, තණ හාල්, උඳු මුං, කුරහන් ආදිය හැඳින්වෙන්නේ කටුසර බෝග නමිනි.
පරණ පාසල් පොතක තිබූ, (එළවළු කවියක්) මතකයට නැගුණේ, ඒවායේ දැක්වෙන මිල ගණන් නිසාය.
එළවළු වට්ටියක් රැගෙන
උදයෙම මේ ගමන ඇවිත්
ගමේ හැමටම එළවළු දෙන
වට්ටි අම්මා මං
වට්ටි අම්මා මං
කීයද මේ වට්ටක්කා
රාත්තලක් සත විස්සයි
කීයද මේ බණ්ඩක්කා
රාත්තලක් සත දහයයි
කීයද මේ අඹ ගෙඩියක්
සත පහකට තුනක් ගන්න
(තව කොටසක් ඇත)
ඒ රාත්තල්, කාල්, කාලේ හැටිය.
මේ කිලෝ කාලේ හැටි යැයි හිත හදාගත යුතුය.
කාබනික එළවළු එනතුරු සිටිනවාද, යළි කොස්, දෙල්, අල, බතල දෙසට හැරෙනවාද යන්න තීරණය කළ යුතු කාලයක් එළඹ ඇත. කොස්, දෙල්, අඹ, කිතුල් වෙනුවට, සයිප්‍රස්, විලෝ, ටර්පන්ටයින්, මැහෝගනී හා ෆාම් වැනි ආක්‍රමණික ශාක සිටුවීමේ ආනිශංස දැන් කාට කාටත් අත්විඳන්නට සිදුව තිබේ.
කොස් යනු සිංහලයාගේ දෙවැනි බත බඳුය. ''කොස් වාරයට, පන්සලේ හාමුදුරුවන්ගෙ සිවුරෙත් කොහොල්ලෑය'' යන කියුමෙන් ඇඟවෙන්නේ ද, කොස් හා අපේ ජන ජීවිතය අතර තිබූ සමීප සබඳතාවය.
පුරාණ රැප් සභාවක සිටි විකට කවියකු වූ බිම්බා නමැත්තා, දිළිඳු බවට පත්වූ විට කියූ කවියකි, මේ.
ආදි කාලේ බිම්බා
ලබාන කෑවයි සම්බා
මේ කාලේ බිම්බා
හෙරලි - පොලොස් කයි තම්බා
(වරකා) යනු කොස් ගහේ මිහිරි ඵලයයි. එහෙත්, හැම ගසක්ම වරකා නොවේ. දැන් සිදුවී ඇත්තේ, වරකා දෙස බලා සිටි බිම්බලාට, (වැල) ලැබීමය. වැලේ වැල් නැතුව සිටින සිරි ලංකන්ලා, සිතට ගත යුතු දෙයක් ඇත. එනම්, ඉල්ලන් වැල කෑවාට, ශක්‍රයාගේ පුතා වයිමාටවත් කරන්නට දෙයක් නැත. පැණි වරකාවටත් හෙණ වදින බව, දැන්වත් තේරුම් ගත යුතුය.
කපිල කුමාර කාලිංග