2017 මැයි 06 වන සෙනසුරාදා

නහයෙන් කටින් ලේ දාන්නත් වස් කවි කියන්න පුළුවන්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2788

සෙත් කවි හා වස්කවි කීම පුරාණයේ සිට පැවත එන සම්ප්‍රදායකි. යහපත ප්‍රාර්ථනා කරමින් සෙත් කවියත්, අයහපත ප්‍රාර්ථනා කරමින් වස් කවියත් කියනවා යැයි කියනු ලැබේ. වස් කවියේ ඔය කියන තරම් හාස්කම් තිබෙනවානම් ලෝකය අනික් පැත්ත පෙරළෙන්නත් වස්කවියට පුළුවන්නේ. එහෙනම් වස්කවියක් කියලා ප්‍රභාකරන් ඉවර කරන්නත් තිබ්බනේ. ලෝකෙ ඉන්න ගේම්කාරයන්ට හතුරන්ට වස්කවි වලින් වැඩක් දෙන්න තිබ්බනෙ. වස්කවිය අරභයා මෙවන් මත ප්‍රකාශ කරන්නෝද සිටිති. එමෙන්ම සෙත් කවියෙ ඔය තරම් හාස්කම් තියෙනවානම් ජීවිතේ ඔක්කොම සෙත්කවියක් කියලා ලබාගන්න පුළුවන්නේ යැයි සිතන පිරිසක්ද සිටිති. 

සෙත් කවි කියන මුවින්ම වස්කවිත් කියන්න පුළුවන්දැයි මේ අතර ඇතැම්හු ප්‍රශ්න කරති. වස් කවිය හා සෙත් කවිය සමඟ බැඳුණු කී නොකී මෙවන් බොහෝ කරුණු ගැන අපි ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මංජුල පීරිස් මහතාගෙන් විමසීමක් කළෙමු. 

සෙත් කවිය හා වස්කවිය පිළිබඳ ඉතිහාස කතාවක්

සෙත්කවිය හා වස් කවි සම්බන්ධව අතීත සබඳකම් පවතී. මෙය අද ඊයෙක ඇතිවූ සම්ප්‍රදායක් නොවේ. එක්තරා යුගයක දකුණු පළාතේ මුල්කිරිගල නම් ප්‍රදේශයේ පන්සලක් ආශ්‍රිතව එක්තරා පුරාවෘත්තයක් ඇත. පන්සල සෙත් කවි හා වස්කවි සම්බන්ධව ප්‍රසිද්ධියක් ඉසිලීය. නායක හාමුදුරැවන් කුඩා සාමනේරයන් වහන්සේලාට මේ ශිල්පය ඉගැන්වූහ. මෙය ශිල්පයකි. හොඳ ශාස්ත්‍රයකි. කොයි කාහටත් එකසේ වැඩගත හැකි කලාවකි. කුඩා සාමනේරවරැ ආසාවෙන් සෙත්කවි පාඩම් කළෝය. සෙත් කවි සාදන්නට උත්සහ ගත්තෝය. වස්කවි සාදන්නටද ඇලුම් කළෝය. සෙත්කවි සාදන්නට වඩා වස්කවි සාදන්නට ඉගෙන ගන්නට ප්‍රිය කළෝය. නමුත් නායක හාමුදුරැවන් කිසිසේත්ම එයට කැමති වූයේ නැත. උන් වහන්සේ සැමවිටම උත්සාහ දැරුවේ සෙත් කවිය කීමට ඉගැන්වීමටය. සෙත් කවි කලාව තුළින් තමන්ටත් අන් අයටත් හැමවිටම සෙතක් සැලසීමේ අදහසින්ය.

එක්තරා දිනක මෙම පන්සල නැරඹීමට තරැණ විදේශකයින් යුවළක් ඇතුළු විදේශ කණ්ඩායමක් පැමිණියහ. නායක හාමුදුරැවන් වෙත පැමිණි එක්තරා සාමනේර නමක් අපේ නායක හාමුදුරුවනේ... පිටස්තරයෙන් ආ සුදු මහතෙක් හා නෝනා කෙනෙක් අපේ බුදුරුවට අගෞව වන පරිදි ඡායාරූප ගන්නවා යැයි පැවසීය.

නායක හාමුදුරුවන් පොඩිනම සමඟ වැඩ විමසීමේදී සුදු මහතා බුදු පිළිම උඩ නැඟ සුදු නෝනාව තුරුලු කරගනිමින් ඡායාරූප ගන්නා සැටි දුටුවහ. ඉතා අසුභ දසුනකි. වේදනාකාරී හැඟීමක් නායක හාමුදුරුවන්ට ඇතිවිය. මේ සම්බන්ධව නායක හාමුදුරුවන් කරුණු පැහැදිලි කිරීමකදී සුදු ජාතිකයා බුදු දහමට අගෞරව කර බැණ වදිමින් ඡායාරූප නැවත නැවත ගත්තේය. මෙය පන්සලේ කුඩා සාමනේර පිරිසද දුටුහ. පොඩිනම නරක දේත් හොඳ වෙන වෙලාවක් තියෙනවා කියා කියද්දීම පොඩිනම වස්කවියක් කියද්දී සුදු මහත්තයා නහයෙන් කටින් ලේ දමා පන්සල් භූමියේදීම ඇද වැටුණේය. අවසානයේදී ඒ විදේශ ජාතිකයන් සියල්ලෝම නායක හාමුදුරුවන්ගෙන් සමාව ගත්හ. මෙය වස්කවි හා සත්කවි ගැන කියද්දී මතකයට එන සැබෑ කතාවකි. 

සෙත් කවියක් ලෙසින් හඳුන්වන්නේ

සෙත් කවිය අක්ෂරවල සුභවාදී එකතුවකි. ඒ එකතුවෙන් සාදනු ලබන කවියකි. එය කීපවතාවක් උච්චාරණය කිරීමෙන් එයින් උපදවන්නාවූ ශක්තියත්, වායෝ, තේජෝ, පඨවි, ආකාස වැනි පංච මහා භූත බලවේගයන්ගෙන් ඇතිවෙන්නාවූ එක්තරා ශක්තියක් බලපෑමක් තුළින් පුද්ගලයාගේ මානසික සුවයත් එය කියවීමෙන් එය ඇසීමෙන් මනස සුවපත් වීමත් එහි තුළ නොපෙනෙන ශක්තියක් උපදවයි. ඒ ශක්තිය තුළින් මනුෂ්‍යා තුළ පවතින්නාවූ ග්‍රහ අපලයන් ඇත්ද එය දුරැ වී යයි.

නමක ඇති බලපෑම

සෙත් කවිය වස් කවිය මෙන්ම උපදින කිරි සප්පයාට නම් තැබීමත් ඉතා වැදගත්වේ. සුභ ගණ ගලපා නමක් තැබීමෙන් නිතර ඒ නම කියමින් නිතර දරුවා ආමන්ත්‍රණයෙන් සෙත් කවියක්සේ ගුණ ලැබේ. මේ තියා දරුවකුට නම තැබීමද ඉතා වැදගත් කරුණක් වේ. දරුවාට සුභ නමක් තැබීමෙන් එය සෙත් කවියක් වන අතර අසුභ නොවැදගත් නමක් තැබීමෙන් එය වස් කවියක් වෙන්නටත් පුළුවනි.

සෙත් කවිය සෑදීම

ම, න, ව, ය, ර, ස, ට යන අක්ෂරයන් ගණ අනුව වෙන් කරගත හැක. භූමි ගණය, දේව ගණය, චන්ද්‍ර ගණය, ජල ගණය, වායු ගණය, ආකාස ගණය ලෙස ගණයන් හැදින්විය හැක. එමෙන්ම අධිපති ග්‍රහයන් ඇත. බුද, ගුරැ, චන්ද්‍ර, සිකුරු, රවි. කුජ, ශනි, රාහු ලෙසින් එය හැඳින්වේ. එහි හිමි නැකැත්ද පවතී. මේ අනුව අක්ෂර පිහිටුවීමෙන් සෙත් කවිය සාදනු ලැබේ. 

සෙත් කවිය ගායනා කිරීම 

සෙත් කවිය පුරසඳ තිබියදී බෝගසක් අසල, දේවාලයක, මල් උයනක හෝ සුභ තැනක බොහෝ පිරිසිදු සිතින් පිරිසිදු වතින්, පිරිසිදු මනසින් නිතර නිතර කීම ඉතා වැදගත්වේ. 

සෙත් කවිය ගායනා කරන වාර ගණන

සෙත් කවියක් හත්වරක්, දාහත් වරක්, විසි එක්වරක් වැනි කාලයක් කීමෙන් ඒ පුද්ගලයාට මානසික සුවය ඇතිවීම, ග්‍රහ අපල දුරැවීම, නිරෝගීභාවය, අනාගත දියුණුව ආදී දේ සලසා ගත හැකිය.

සෙත් කවි කියන කටින්ම වස්කවි කියන්න පුළුවන්ද?

සෙත් කවිය කියනා කටින්ම වස් කවි ගායනා කළ හැක. ජීවිතේ හැමෝටම සෙත් වේවා කියූ කටින්ම වස් තැබීමක් කළ හැක. ආදරය කළ තැනැත්තකු වුව මරා දමන්නට පුද්ගලයෙකුට හැකිවාක් මෙන් ආශිර්වාදය ප්‍රාර්ථාන කළ සිතින්ම ශාප කිරීමද කළ හැක. එහෙයින්ම සෙත් කවි කී මුවින්ම වස් කවියද කිව හැක. 

වස් කවිය සාදන වේලාව

පුද්ගලයකුගේ නාමයට අදාළ පක්ෂියකු සිටී. ඒ පක්ෂියා මොහොතකදී රජ වේ. තවත් මොහොතකදී මර වේ. එමෙන්ම එම පක්ෂියා මොහොතකදි නිදියයි. භෝජන අවස්ථාවකදීද සිටී. මේ අනුව ඒ පුද්ගලයාගේ පක්ෂියා මරවෙන වෙලාවට වස් කවිය සෑදිය යුතුය. එවිට එම කේන්ද්‍රයේ ප්‍රබල ග්‍රහ පිහිටුම වුවත් හානිවෙන මොහොතයි. ඒ මරවෙන වෙලාවට වස් කවිය සෑදීම සිදුවුවහොත් කේන්දරය කෙතරම් ප්‍රබල වුවත් මරවෙන වෙලාවටද එය දුර්වල වේ. 

පක්ෂියා මරවෙන වෙලාවකදී වස් කවිය ලිවීම ආරම්භ කළහොත් එම වස්කවිය ප්‍රබල වේ. ඒ ලියූ වස්කවිය මර වෙලාවටම කීවිටදී එය තවත් බරපතළ වේ.

වස් කවි කීම සුදුසුද?

වස් කවිය කියන්නට පළමුව නැවතත් හොඳින් සිතන්න. බිත්තියකට රබර් බෝලයක් ගසන්න. එය බිත්තියේ නොනවතී. නැවත ඔබ කරා පැමිණේ. එබැවින් බුදු දහමේ දිට්ඨධම්මවේදය නම් කර්මය දැන වැරදි කරන්න. වස් කවියත් කෙනෙකුට කියද්දී ඔහු වරදක් කර ඇත්නම් සියයට හැත්තෑපහක් ඔහුට වදී. ඉතිරි සියයට විසිපහ වස්කවිය කියනා කෙනාට ලැබේ. ඒ ශබ්ද තරංග තමා වටාද කැරකෙන බැවිනි. ඒ ශබ්ද තරංග වායු ගෝලයේද රැඳේ.

වරදක් නොකරන, පිරිසිදු, ආගමානුකූලව, ජීවත්වෙන පෙර පින් කළ පුද්ගලයකුට නම් කිසිසේත්ම වස් කවිය නොවදී. වස් කවි කීමෙන් පලක් නැත. එම නිසා වස් කවි කීමට තෝරාගත යුත්තේ දුර්ජනයන්ට පමණි. නමුත් දුර්ජනයන්ට පවා දඬුවම් කරන්නට අපිට අයිතියක් නැත. ඒ දඩුවම දීම බාරව ඇත්තේ මේ මුළු විශ්වයටමය. ස්වභාවධර්මයාටය.

තමන්ට අයිති නොවන දේකට හවුල්කරැවකු නොවන්න. පවුකාර වැඩවලින් මිදෙන්න. මේ සරැව පිත්තල ලෝකේ මේ තාවකාලික ගමනේ මේ පොළොවේ පය ගසා සැවොම සමඟ සුහදශීලීව ජීවත්වෙන්න. ඔබේ මුළු ජීවිතයම සෙත් කවියක් කරගන්න. තව කෙනෙකුට වද හිංසා කර මනසට පීඩාකාරී වී ජීවිතය පුරාවටම වස් කවියක් තමන්ම කියවා නොගන්න.

 දිශානි ජයමාලි කරුණාරත්න.