අනුරාධපුර පූජා නගර බල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. ඇතුල්නුවර, සංඝමිත්තා මාවත, අනුලා මාවත, ගොඩගේවත්ත, දකුණු වාසල, ගෙඩිගේ වත්ත, කුට්ටම් පොකුණ, බුලංකුලම ඇතුළු ප්‍රදේශ රැසක පදිංචිකරුවන් මෙම අවදානමට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති. ප්‍රදේශවාසීන් පවසන්නේ වසර 100 කට වැඩි කාලයක සිට තමන් මෙම ප්‍රදේශවල පදිංචි වී සිටින බවයි. පවුල් හාරසියයක් පමණ මෙසේ ඉවත් කිරීමට යෝජිතව ඇති බව ඔවුහු පවසති.
වසර තිහක පමණ කාලයක සිට ඇතුල්නුවර ප්‍රදේශයේ පදිංචිව සිටින හැටපස් වියැති එස්. රන්කිරි මහත්මිය පැවසුයේ මෙවැන්නකි.
අපි පුදුම දෙගිඩියාවකින් ඉන්නේ. යන්තන්ගේ වැඩ බාගෙට කරගෙන එනකොට පුරාවිද්‍යා එකේ මහත්තුරැ ඇවිල්ලා කිව්වා ගේ වැඩ නවත්තන්න කියලා. ලක්ෂ ගාණක් වියදම් කරපු වැඩේ දැන් අතරමඟ. මේ ඉඩම්වල ඉන්න මිනිස්සු අයින් කරනවා කියලා තමයි ඒ මහත්තුරැ කියන්නේ. බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩු කාලේ ඉඳන් තමයි මේ අයින් කරන කතාව කියන්නේ. ඒත් කවදද අයින් කරන්නේ. අයින් කරලා කොහෙද අලුතින් පදිංචි කරන්නේ කියලා කිසි කෙනෙක් හරියට කියන් නෑ. මේ හින්දම දැන් අපිට සැනසීමෙන් මැරෙන්ඩවත් නැති එක තමයි වෙලා තියෙන්නේ.
පූජා නගර සීමාවේ සිටි සමහරකු ඉවත් කොට ඇත. එසේ ඉවත් කරනලද පිරිස් දේවානම්පියතිස්සපුර, මිහිඳුපුර ආදි ගම්මාන නිර්මාණය කොට පදිංචි කර ඇති අතර, ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මුලික වී ඇත. මෙම කාර්යයේ දී පුරාවිද්‍යා භූමියක් ලෙස නිශ්චය කොට නිර්දේශ ලබාදීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින අතර, අදාළ නිර්දේශයන්ට අනුව පිරිස් ඉවත් කිරීම සහ නැවත තෝරාගත් භූමියක පදිංචි කරවීමේ වගකීම භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සතුව පවතී.
උපන්දා සිට අනුරාධපුරය, කුට්ටම් පොකුණ ප්‍රදේශයේ පදිංචි ඊ. අහමඩ් මහතා මෙසේ කීය.
කාලෙන් කාලෙට එක එක කතා කියනවා. අහවල් කාලෙට අයින් කරනවා, අහවල් තැන්වල පදිංචි කරනවා වගේ කතා. මේ හරියේ ඔක්කොම වගේ ඉන්නේ පරම්පරාවෙන් ලැබිච්ච ඉඩම්වල. මට දැන් අවුරුදු 65 ක් වෙනවා. මම ඉපදිලා තියෙන්නෙත් ථූපාරාමේ ළඟ තියෙන පරණ ඉස්පිරිතාලේ. කිසිම කෙනෙක් අවුරුදු හැට හැත්තෑවක් පදංචි වෙලා හිටපු ඉඩම් හිටි හැටියේ දාල යන්න කැමති වෙන්නේ නෑ. හොඳට ගෙවල් දොරවල් හදපු, ගහ කොළ වවපු ඉඩම් කොහොමද දාල යන්න හිත හදාගන්නේ. දුක් විඳලා හරිහම්බ කරපු දේවල් යටකරලා මිනිස්සු මේ දේවල් කරගෙන තියෙන්නේ.
මෙම පූජා භූමි ආශ්‍රිතව ප්‍රජාව පදිංචි වී සිටීම මගින් පුරාවිද්‍යා ස්මාරකවල සහ නැරඹීමට පැමිණෙන පිරිස් වල ආරක්ෂාව තහවුරැ වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඔවුන් හෙළිකරන අන්දමට මෑතකාලීනව මෙම වෙහෙර විහාර වන්දනාමාන කිරීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට විවිධ උපද්‍රවයන්ට ලක්වීමට සිදුවූ අවස්ථාවන්වලද නිමාවක් නැත. යම් යම් සොර සතුරැ කරදර සේම කායික හිංසනයන්ට ලක්වූ අවස්ථාවන් පිළිබඳ තොරතුරුද ඒ අතරය. ගැටකපන්නන් මෙන්ම සංවිධානාත්මකව සිඟමනේ යෙදෙන්නවුන් ද ඒ අතර බව ප්‍රදේශවාසීහු පවසති.
සී.ඩබ්ලිව්. බණ්ඩාර මහතා පැවසුයේ මෙවැන්නකි.
පූජා භූමියේ ඉන්නවා කියලනේ මිනිස්සු අයින් කරන්න හදන්නේ. මහත්තුරැ එහෙම කිව්වට මිනිස්සු මේවායේ කිට්ටුවෙන් පදිංචි වෙලා ඉන්න එකම මේ තැන්වලට ලොකු ආරක්ෂාවක්නේ. මේවා බලන්න එන මිනිස්සුන්ට ලොකු රැකවරණයක්නේ. ඒත් කවුරුවත් ඒ ගැන හිතන් නෑ. මිනිස්සු මේ තැන්වලට කිට්ටුවෙන් පදිංචි වෙලා ඉඳලත් මේ තැන් බලන්න එන පිටරට අයට එහෙම මොනතරම් කරදර වුණාද පහුගිය කාලේ. කවුරැවත් නැතිව මේ තැන් පාළුවට ගියාම තව මොනව වෙයිද?
මෙසේ ඉවත් කිරීමට යෝජිත පිරිස් අවම පහසුකම් සහිත අනුරාධපුරය, ලෝලුගස්වැව ප්‍රදේශයේ පදිංචි කරවීමට සැලසුම් සකස් වෙමින් ඇති බවට ප්‍රදේශවාසීහු කරුණු පෙන්වා දෙති. එහිදී භූමිය සඳහා සින්නක්කර ඔප්පු ඇති අයට පමණක් වන්දි මුදලක් ගෙවීමට යන බවට ද ඔවුහු සැක පහළ කරති.
එස්. රන්කිරි මහත්මිය පැවසූයේ ඒ පිළිබඳවය.
අවුරුදු තිහ හතළිහක් තිස්සේ සමහරු මේ තැන්වල පදිංචි වෙලා හිටියට ඔප්පු තියා බලපත්‍රයක්වත් නෑ. නගර සභාවට බදු ගෙව ගෙවා ඉන්නවා. එහෙම මිනිස්සුන්ට කොයි වෙලේක හරි අයින් වෙන්ඩ කිව්වොත් නිකංම යන්ඩ වෙයි කියලා බයෙන් ඉන්නේ. මොකද දැනටම කතාවක් තියෙනවා වන්දියක් දුන්නත් දෙන්නේ ඉඩම්වලට ඔප්පු තියෙන අයට විතරයි කියලා.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ පූජා භූමි කමිටුව මගින් ගන්නා තීරණයකට අනුව භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙතින් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවසූයේ ප්‍රජාව ඉවත් කිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත පමණක් සිදුවන බවය. එහෙත් මෙතෙක් එවැන්නක් සිදුකිරීමේ සුදානමක් නැති බවද එම ප්‍රකාශකයා කීය. එවැන්නක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව තීරණය කිරීම මධ්‍යම ආණ්ඩුව විසින් කළ යුත්තක් බව ද හෙතෙම පැවසීය.
කතාව හා සේයාරූ - තඹුත්තේගම ප්‍රදීප් රණතුංග