2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

මෙන්න ඇත්ත ප්‍රවෘත්ති!

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 210

රජයේ කාර්යාලයක කෑම පැයේදී, කැන්ටිමේ හෝ කන බොන වෙනත් තැනක මොහොතක් රැඳී සිටියහොත් රටේ පවතින තත්ත්වය ගැන, අවංක හා නිවැරදි සමාලෝචනයක් දැනගත හැකිය. ඒ ඔවුන්ගේ බත්පතින්ම නොව, එකිනෙකා හා කියන දෙයින්ය.

පසුගිය දිනෙක, අපේ කැන්ටිමේදී රොබින් හා මාරසිංහ අතර පැවති සංවාදයක කොටසකි මේ.

ඇත්ත ප්‍රවෘත්ති අහන්නෙ මොකෙන්ද? රොබින් ඇසීය.

ඒ කිව්වෙ?

ප්‍රවෘත්තිවලට ඇත්ත කියන්නෙ කවුද? රොබින් එකම ප්‍රශ්නය, වෙන විදිහකට ඇසුවේය.

ඒක හරියටම කියන්ඩ බෑ.... ප්‍රවෘත්ති ප්‍රචාර දෙක තුනක්වත් අහලා, කවුද ඇත්ත කියන්නෙ කියලා අපි හොයාගන්න ඕනෙ. මාරසිංහ උපහාසාත්මක සිනාවක් පාමින් කීවේය.

එතකොට අපරාදෙන අපේ කාලය?

කාලය වගේද අයිසෙ, සත්‍යය.

කාලය ඩොලර් හා වටී කියලා, ෆේස්බුක් එකෙත් තිබුණා...

රොබින් සමඟ මාරසිංහද සිනාසුණි. නිහඬව අසා සිටි රතු විමලේද කට දැම්මේය.

හැමෝම ඇත්ත කියනවා නම්, හැම ප්‍රවෘත්ති ප්‍රචාරයක්ම එක වගේ වෙන්න එපැයි. දැන් අපිට අහන්න වෙන්නෙ එකම දේ ගැන විවිධ ප්‍රවෘත්ති.

ඇයි එහෙම වෙන්නෙ? රොබින් හරස් ප්‍රශ්නයක් දැම්මේය.

ප්‍රවෘත්ති සම්පාදනය කරන්නෙ ඒ ඒ ආයතනවල දේශපාලන ප්‍රතිපත්තිය මත. රතු විමලේ කීය.

ප්‍රතිපත්තියයි, කඩේ යාමයි කියන්නෙ දෙකක් නෙවෙයිද? රොබින්ගේ ස්වරයේ වූයේ උපහාසයකි.

අපේ රටේ හුඟ දෙනෙක් හිතන් ඉන්නෙ කඩේ යාමත් ප්‍රතිපත්තියක් කියලා.

උපන්දා සිට විපක්ෂයේ සිටින්නකු වන, මඩකුඹුරද කතාවට එක්වුණේය.

කඩේ යන මිනිස්සුන්ගෙන් රටට වැඩක් වෙන්න නෑනෙ තමන්ගෙ ගොඩ වැඩිකර ගන්නව මිසක්. මාරසිංහ කීය.

මොනවා නැතත්, තමන්ගෙ රෑපෙ දාලා මුද්දරයක්වත් ගහගන්ඩ පුළුවන්නෙ... නේද සර්?

රොබින් කට ඇද කළේය. අනෙක් දෙදෙනාද සිනාසුණේ විකට චිත්‍රපටයක් නරඹන සිනමා ලෝලීන් දෙදෙනකු මෙනි.

මේ ළඟදි ප්‍රවෘත්තිවලට කිව්වා, බංග්ලාදේශයට පුළුවන්ලු ලංකාවේ රජයට වඩා හොඳින් සිරිලංකාව පාලනය කරන්නය කියලා... මං හිතුවෙ ඒකත් බොරුවක් කියලා. රොබින් කීය.

නෑ... මම නං දැනගත්තා ඒක ඇත්තක් කියලා. රතු විමලේ බැරූරුම් ලෙස කීය.

ඒක තිබිල තියෙන්නෙත් බංග්ලාදේශයෙ පත්තරේක. මට නම් සතපහක විශ්වාසයක් නෑ ඔය නයි නැටුම්කාරයො ගැන.

මාරසිංහ ක්‍රිකට් ලෝලියකු ද වන  බව රහසක් නොවේ.

හැබැයි, පාඩු ලබපු ගොවීන්ට වන්දි ගෙවන්ඩ යන කතාව නම් මං හිතුවෙ බොරුවක් කියලා. රතු විමලේ කීය. කතාව දිගට ඇදුණේය.

ඒ මිනිස්සු ඉල්ලන්නෙ පොහොර... මේ ගොල්ලෙ දෙන්නේ වන්දි

ඒකට කමල් නෑ සර්, එතකොට ඒ වන්දි මුදල්වලින් ඒ ගොල්ලන්ට රසායනික පොහොර ගන්ඩ පුළුවන්නෙ.

මට තියෙන ප්‍රශ්නෙ, ඔය තරම් වන්දි ගෙවන්ඩ මේ රටේ සල්ලි තියෙනවද කියලා...

රුපියල් සත අච්චු ගහනවනෙ... ඩොලර්නෙ නැත්තෙ.

අපි ඉස්කෝලෙ යන කාලේ ප්‍රවෘත්තිවලට බොරුවක් කිව්ව නම් ඒ කාලගුණේ ගැන විතරයි.

දැන් නම් කාලගුණේ කෑල්ල ඇර අනික් සේරම ෂුවර් නෑ. යළිත් තිදෙනම එක්වර සිනාසුණහ.

ඉන්පසු ඔවුන් කතා කරන්නට වූයේ තවත් අලුත්ම ප්‍රවෘත්තියක් ගැනය. එනම්, බස් රථවල හිටගෙන යන මගීන්ගෙන් පෙර පැවැති ගාස්තුව අය කිරිමට අදහස් කරන බවය. එය නම් බොරුවක් සේ පෙනුණු ඇත්තකි.

ඕකෙන් වෙන්නෙ බස් එකක ඉඳගෙන යන මගියෙක් හොයාගන්ඩ බැරිවෙන එක.

ඔව්. හැමෝම හිටගෙන යන්ඩ පටන් ගනි. කොන්දෝස්තරයි, ඩ්‍රයිවරුයි විතරක් ඉඳගෙන යයි.

ප්‍රේමදාස යුගයේදී ඔය වගේ අදහස්වලට කිව්වෙ සංකල්ප කියලා.

දැන් කියන්ඩ වෙන්නෙ ප්‍රලාප කියලා. මාරසිංහට මාර හිනාය.

බොරු පුවත් කියන එකේ සම්පූර්ණ වගකීම මාධ්‍යවේදීන්ටම පවරන එක හරිද?

ඇයි එහෙම අහන්නෙ?

මාධ්‍යවේදියො ප්‍රකාශ කරන්නෙ, දේශපාලනඥයො කියන කරන දේවල්නෙ.

ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒත්, මාධ්‍යවේදීන් මොනටද ඒවට ප්‍රචාරය දෙන්නෙ. මාධ්‍යයෙ වගකීම ජනතාවට ඇත්ත, නැත්ත පහදා දීම නේද?

රතු විමලේගෙ කතාවෙන්, මොහොතක නිහැඬියාවක් ඇතිවුණි. රොබින් එය බිඳ දැමුවේය.

සමහරු දේශපාලනේට එන්න කලින්, මාධ්‍යවේදියො හැටියට වැඩ කරන්නෙ මොකද කියලා, මට දැන් තමයි තේරෙන්නෙ.

ඒ මොකද රොබින්?

එතකොට, බොරු කියන එක අමුතුවෙන් ඉගෙන ගන්න ඕනෙ නැහැනෙ.

මාරසිංහ යළිත් නක්කල් සිනාව පුපුරා හැරියේය.

පසුදින උදෑසන, රොබින් කන්තෝරුවට ආවේ අලුත්ම ප්‍රවෘත්තියක්ද සමඟිනි.

ඊයෙ රෑ ප්‍රවෘත්තිවලට නං ඇත්තක් කිව්වා.

ඒ මොකක්ද?

තව අවුරුදු තුනකින්, සිරි ලංකාවට සෞභාග්‍යය උදා වෙනවලු.

කලකින් සැබෑ පුවතක් ඇසූ සැවොම දිගු සුසුමක් හෙළූහ.

I  කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00