මං හුඟාක් කල්පනා කළා... මං හිතන්නේ අහස පොළොව ගැටලන්න වගේ. ඒත් මට ඉංජිනේරුවව තේරුම් ගන්න බැරි වුණා. එයා ඒ තරමින් ඇයි අපි ගැන එහෙම නැත්නම් මිනර්වා කොටේජ් එක ගැන මේ තරම් වද වෙන්නේ...?
පහුවදා දවස ආවේ අලුත් ඉරක් එක්ක. මේක පෙබරවාරි අවසානයක් නිසාම ඒ ඉරේ රස්නේ විඳගන්න බැරි වුණා... ඒත් කුඩා සීතල හුළඟක් ගියා පාන්දරම කළපුව උඩින්. දවල් වෙනකොට අවට පරිසරය පිස්සියෙකුගේ පලා මල්ලක් විදියටයි දිස් වුණේ. තක්කි කියනවා ඇහුණා....
කොච්චර අතු පතු ගෑවත් බෑ... ගස්වලින් කොළ හැලෙනවා. අනික පහතින්ම හමා යන හුළඟ නිසා එව්වා එක තැනක රුඳෙන්නෙත් නෑ. අවුස්සලා දානවා මුළු වටපිටාවම මටත් දැනුණා පොඩි හුදකලාවක්. මොකද අවන්හල අරින්නත් තක්කි ඒ හැටි වෙහෙසක් ගත්තේ නෑ. ඒ ගැන උනන්දුවක් ටිකක් නැති ගානටයි එයා හිටියේ.
''කවදම හරි මං හොඳට සනීප වෙලා ඕක අරගෙන වැඩ කටයුතු කරගෙන යනවා මිසක් උඹට ඔව්වා කොරන්ඩ බෑ අදාරතී...'' තක්කි අතේ තිබුණු ඉදල ඉල්ලගෙන මිදුලේ ඉතිරි ටික මං අතුගාන්න ගත්තාම තක්කි මං ළඟටම ඇවිත් කිව්වා.
''එතකොට කෝ ජීවත් වෙන්න ආදායමක්. ගෙදර අය කන්නේ බොන්නේ කොහොමද?''
''ඒ ගැන උඹ හිතන්න ඕන නෑ එව්වා ගැන. හිතන්න ඔය ගෙදර අය තව ඉන්නේ... ඒ ගැන එයාලම හිතාගනියි. අනේ මන්ද මේ ගෙදර අය ගැන හරි පුදුමයි. මහ පුදුම වෙනසකටනේ පත්වෙලා තියෙන්නේ.''
''වෙනසක් කිව්වේ...?''
''ඔව්. ඉස්සර කඩේ දවසක් ඇරගත්තේ නැතිනම් පහුවදා දවස ගෙවා ගත්තේ කොච්චර අමාරුවකින්ද? දැන් කඩේ එපාවෙලා වගේනේ කතා කරන්නේ.''
''කඩේ එපාවෙලා නෙවෙයි අදාරතී... කඩේ කරගෙන යන එක අමාරුයි කියලයි කියන්නේ.''
''කවුද එහෙම තීරණය කළේ...''
''රෝමියෝ එයා කිව්වා, උඹව කඩේ තියන එක වහාම නවත්වන්න වෙනවා කියලා.''
''ඒ මොකද එකපාරටම?''
''එදා වෙච්ච සිද්ධියෙනුත් රෝමියෝ ඉන්නේ ටිකක් තරහ ගිහින්. අනික් මේ ගමේ උන් මොනතරම් නම් කතා හැදුවද උඹට. ඒ නිසාමනේ උඹේ ඔය උපන්දින පාටිය එහෙම ජයට ගත්තේ...''
''මොකක් කිව්වා...?''
''හ්ම්.... රෝමියෝට ඉංජිනේරු මහත්තයයි, අර දොස්තර මහත්තයි දෙන්නම කියලා තිබුණා.''
''මොනවද?''
''ඔය කඩේ කරන එක නවත්වන්න කියලා.''
''ආ... දැන් එයාල කියන විදියටද මෙහේ වැඩ වෙන්නේ?''
''ඒක ඉතින් උඹ තාත්තගෙන් අහපං...''
''එතකොට අපේ ගෙදර ප්‍රශ්න විසඳන්නේ කවුද? කවුද අපිට කන්න දෙන්නේ...?''
''ඇයි ඔය මොකක්ද එකක් ඉංජිනේරු මහත්තයා දීලා තියෙන්නේ ඒකේ තියෙන්නේ සල්ලිලු... මිනර්ලිනී කිව්වේ ඒක අදාරතීට තෑග්ගක් හැටියට දුන්නට... අදාරතීට විතරක් නෙවෙයි ගෙදර තියෙන හැම ප්‍රශ්නෙකටම වියදම් කරන්න වෙනවය කියලා...''
තක්කිගේ අවන්හල ඉදිරියේ තිබුණු මහ මැයි ගහේ කොළ මහ හුඟක් බිමට වැටිලා තිබුණා. අවන්හල ඉදිරියේ මහ පාළු ගතියකුයි ඉසිලුවේ. මං ඒ හැම කොළයක්ම අතුගාලා එකතු කළා... ගෙදරට ගිහින් නැවත ගිනි පෙට්ටියක් අරන් ඇවිත් ඒ රොඩු ගොඩට ගිනි තියද්දීත් මට මතක් වුණේ නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවගේ මුදල් ත්‍යාගය ගැන. අපේ ගෙදර හැමෝගෙම මුහුණ සතුටින් පුරවලා තිබුණා ඒ තෑග්ග.
''ඒ ගමන උඹ ඔය කොහෙද යන්න යන්නේ...?''
පිහියකුත් අරගෙන කරේ ලොකු බෑග් එකකුත් එළියට යන්න දමාගෙන හදපු මගෙන් තක්කි මං ළඟට ඇවිත් ඇහුවා.
''වැටකෙයා කොළ කපන්න...''
''ඒ මොකටද?''
''ඇයි මොකටද අහන්නේ... වැටකෙයා කොළ කපන්නේ ආසාවට ගෙදර ගෙනත් තියාගන්න නෙවෙයි කියලා දන්නවනේ...''
''උඹ දැන් එහෙම දුක් විඳින්න ඕනි නෑ. උඹට තියෙනවා හොඳ අනාගතයක්. ඒක සැලසුම් කරන එකයි කරන්න ඕන.''
''අනාගතය තමයි මේ සැලසුම් කරගන්න හදන්නේ.
''අදාරතී...?''
''ඔව්. මට ඕන නෑ කාගෙවත් සල්ලි. මගේ වියදමට මම සල්ලි හොයාගන්නම්.''
''උඹත් උඹේ අම්මා වගේම හිතුවක්කාරයි අදාරතී...''
තක්කි කියපු ඒ වචනවල මහ පටලැවිල්ලක් තියෙන බවයි මට දැනුණේ.
''උඹේ අම්මා වගේ?''
මං නැවතත් ඒ ප්‍රශ්නෙම තක්කිගෙන් ඇහුවා.
''ආච්චි කවුරු ගැනද ඒ කිව්වේ. කාගේ හිතුවක්කාරකමක් ගැනද? මං දන්න තරමින් අපේ මිනර්ලිනී අහංකාර මිසක් හිතුවක්කාර කෙනෙක් නෙවෙයි.''
ඒ පාර තක්කි ගොලුවෙලා වගේ ගියා... එයා ඊළඟට මගෙන් මගඅරින බැල්මකුයි හෙලුවේ. මං ගියා තක්කි ළඟටම.
''ආච්චි?''
''හ්ම්...''
''කා ගැනද ඒ කිව්වේ?''
''උඹට පිස්සුය අදාරතී?''
''ඔයා කවදාවත්ම මට මිනර්ලිනීව අල්ලලා කිසි දෙයක් කියලා නෑ. හැමදාමත් කිව්වේ මිනර්ලිනීගේ ගතිගුණ නම් සත පහකට වටින්නේ නෑ. උඹ එහෙම නම් වෙන්න එපා කියලා...''
''ඉතින්?''
''ඉතින් මේ තරම් හිතුවක්කාරයි කියන මගේ අම්මා කවුද?''
''මගේ යකා අවුස්සා ගන්නේ නැතිව උඹ උඹේ වැඩක් බලාගනින් අදාරතී?''
තක්කි තරහා ඕනෑවටත් වඩා අරගෙනයි මගේ ළඟින් වෙනතකට ගියේ. ඒත් එයා මගේ හිතට ඇති කළේ වෙනත් ප්‍රශ්නයක්. මං මිනර්වා කොටේජ් එක අයිනෙන් වැටිලා තිබුණ පාරෙන් මහ මූද අයිනේ තියෙන වැටකෙයා ගාල් දිහාට ගමන් කළෙත් මේ කියන අලුත් ප්‍රශ්නෙත් හිතේ තියාගෙන.
''අදාරතී?''
ඒක සුපුරුදු හඬක්. සාගරය පෙනි පෙනී විශාල විදියට ඈතටම විසිරිලා තිබුණු වෙරළ අයිනක ගංසූරිය ගහක් යටයි එයා ඉඳගෙන හිටියේ. එයා ළඟ තිබුණා ලොකු පොතකුත්.
''ලුසේන්?''