මම ගණ දෙවියන්ට බොහෝ ප්‍රිය කරමි. ඊට එක් හේතුවක් වන්නේ, මා අලි ඇතුන්ට බොහෝ ඇලුම් කරන්නකු නොහොත් අලි ලෝලයකු නිසාය. අලි බැලිල්ලත්, බලි බැලිල්ලත් කිසිදා එපා නොවන දෙයක් බව ජනවහරේද කියැවෙයි. අලි බලන්නට නම් කැලේ යා යුතුය. නැත්නම්, පින්නවල අලි අනාථාගාරයට හෝ යා හැකිය. ගණ දෙවියන් බැලීම හෝ පිදීම නම් නිවසේ සිටම කළ හැකිය. නැතිනම් ළඟම ඇති හින්දු කෝවිලකට යා යුතුය. ඇතුළුවීම නොමිලේය. පඬුරු භාරගනු ලැබේ. (තිරුපති දේවාලයට වඩා පහසුය)
සෑම දෙවි කෙනකුට මෙන්ම ගණ දෙවියන්ටද රසවත් උත්පත්ති කතාවක් නොහොත් පුරාවෘත්තයක් තිබේ. ඒවා හාරා ඇවිස්සීමට මගේ මේ තීරුවෙහි ඉඩක් නැතුවා සේම මට අවශ්‍යතාවක්ද නැත. (අනුන්ගේ පැටිකිරි අපට මොකටද?)
ගණ නොහොත්, ගණපති දෙවියන්ට තරම්, නම් ගම් තිබෙන වෙනත් දෙවි කෙනෙක් නැති තරම්ය. ඒක දන්ත, ලම්බ උදාර, ගණේෂ්, ගප්පති, ධර්මික් යනාදී වශයෙන් නම් 108කි. ඒ කාලයේ පුද්ගල හැඳුනුම්පත් හෝ ගමන් බලපත් භාවිතා නොවීම ගණපතිගේ වාසනාවකි.
ප්‍රධාන වශයෙන්ම ගණ දෙවියන්ට භාර දේව කාරිය වන්නේ නුවණ, ඥානය ලබාදීමය. අතීතයේ සිටම සිරි ලංකාවේ ජනයා අතරද ප්‍රකට ගණදෙවි හෑල්ල සහ වදන් කවි පොතින්ද ඒ බව සනාථ වේ.
ගණ දෙවියෝ නුවණ දෙන්න
සරස්වතී පහළ වන්න
තුන් නෙත් නන්දන කරවන විකුමැති
දෙන් දැන් නුවණක් ගණපති පින් ඇති
යනාදී කවි සිහලුන්ට වනපොත්ය.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතයට අනුව ගණ දෙවියා, වෛදික ආර්යයන්ගේ දෙවියෙක් නොව, ද්‍රවිඩයන්ගේ අනාර්ය දෙවියෙකි. ඔහු හින්දුන්ගේ දෙවියකු වූයේ පසුකලෙකය. ඊට පසු, ගණ දෙවියන්ට වැඩ වැඩි වූ අතර, වෙළෙඳාමටද &බසින්නට* සිදුවිය.
ගණ දෙවියන් ඉහළින්ම පිදුම්, සැලකුම් ලබන්නේ එතුමන් උපන් ඉන්දියාවෙහිය. එහි ගණදෙවි පිළිමයක් නැති නිවෙසක්, වෙළෙඳසලක් නැත. පළමු වසරේ ශිෂ්‍යයාගේ සිට, විශ්වවිද්‍යාල මහාචාර්යවරයා දක්වාද, බුලත්විට වෙළෙන්දාගේ සිට, ධන කුවේර ව්‍යාපාරිකයන් දක්වාද වූ විවිධ ජනයා ගණපති භක්තිකයෝය. ගණිතඥයෝ, විද්‍යාඥයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ, සිනමා නළු නිළියෝ, සාහිත්‍යකරුවෝ සහ දේශපාලනඥයෝද ඒ අතරට එක්ව සිටිති.
එක්වරක් ඉන්දියාවේ පැතිර ගිය කතාවක් වූයේ ගණ දෙවියන් (ප්‍රතිමා) තමන්ට පුදන, එළකිරි පානය කරන බවය. මෙයද ඉන්දියාව පුරා රැල්ලක් සේ පැතිර ගියේ, මැණිකේ මගේ සිංදුව වගේය. ගණදෙවි ප්‍රතිමා ඉදිරියේ කිරි බඳුන් තැබූ බැතිමතුන් පසෙකට වී බලා සිටියේ ගණ දෙවියන් කිරි බොන තෙක්ය. සමහරු ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් දුන් කිරි බඳුන් හිස් වී හෝ අඩු වී තිබූ බවය. විද්‍යාඥයන්ගේ මතය වූයේ, අජීවී පිළිමයකට කිසිසේත් එය කළ නොහැකි බවය.
කෙසේ වෙතත් අවසානයේදී සිදුවූයේ එම හාස්කම පැවති කාලය තුළ ඉන්දියාවේ සුලබ පානයක් වන එළකිරෙහි මිල ඉහළ යාමය. හැම රැල්ලක් මෙන්ම ගණදෙවියන්ගේ කිරි රුල්ලද බැස ගියේය.
එස්.එච්. සරත් නමැති සුප්‍රකට චිත්‍ර ශිල්පියා මීට කලකට ඉහත නිර්මාණය කළ උපහාසාත්මක චිත්‍රයක් මගේ මතකයට නැඟේ. ගණ දෙවියන්ගේ වාහනය මීයාය. චිත්රයෙන් දැක්වෙන්නේ ගණ දෙවි පාමුළට බළලෙකු පැමිණ සිටීමත්, ඉන් බියට පත් මීයා දෙවියන්ගේ හිස මුදුනට නැග බලා සිටීමත්ය.
ඉන්දියාව, ලංකාව වැනි රටවල විභාගයක් ළංවන විට ගණ දෙවියන් මාකට් වීම වැඩිවෙයි. පහේ ශිෂ්‍යත්වයට ලියන බාල දරුවෝ පවා ගණ දෙවියන්ට බාර හාර වෙති. (ළමයා ජාතික පාසලකට රිංගවා ගැනීමට ලක්ෂ ගණන් &තෑගි* දෙන දෙමව්පියන්ට ගණ දෙවියන්ට අග්ගලාවක් දෙකක් පිදීම මහ කජ්ජක් නොවේ.) කෙසේ වෙතත් රජයේ විභාගයකදී දෙවියකුගෙන් හෝ අනියම් ලෙස උපකාර ලැබීම නීත්‍යනුකූලදැයි සොයාබැලිය යුතුය.
හොඳ වර්ගයේ පෑනකින් විභාගයකට ලිවීමේ කිසිදු වරදක් නැත. එහෙත් සිරි ලංකාවේ ළමයි නම් ලොකු විභාගවලදී ලියන්නේ බෝල්පොයින්ට් පෑන්වලිනි.
ගණදෙව් පිළිමයක බහාලු පෑන් ලබා ගැනීමට තෙරෙපෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෑතකදී සමාජ මාධ්‍ය මගින් දැක ගැනීමට ලැබුණි. නොමිලේ දෙනවා නම්, කුණු බිත්තරයක් ගැනීමට වුවත් සෙනඟ හිඟ නැත. එහෙත් ගණදෙවි පෑන් ලබාගත්තේ ගණදෙවි ආශීර්වාදයෙන් විභාගයක් ලියා ඉන් සමත්වීමටය. ඒ පෑන්වලින් ලියූ කී දෙනෙකු විභාගය සමත් වන්නට ඇත්දැයි පසුව සමීක්ෂණයක යෙදෙන්නට කිසිවෙක් නොවෙහෙසෙති.
ගණපති යනු නුවණට අධිපති දෙවියාය. තමන්ගේ නමින් කෙරෙන මෙබඳු අනුවණ ක්‍රියාවන්ට එතුමන් උදහස් වනු නොඅනුමානය. දේව කෝපය නිසා පෑන් ලබන්නට මෙන්ම පෑන් බෙදන්නටද අසමත් ප්‍රතිඵල ලැබීමට ඉඩ තිබේ.
මැතිවරණය ළං වෙද්දී ජනතාව රවටන්නාක් මෙන් විභාග ළං වෙද්දී දෙවියන් රුවටීමට යාම සෙල්ලමක් නම් නොවේ. අත් සතරක් ඇති ගණ දෙවියන්ගේ එක් අතක පොරවක්ද තිබෙන බව අප අමතක කළ යුතු නැත.
දෙවි කෙනකු වුව, විභාගයකට පෙනී සිටිනවා නම් කළ යුත්තේ වෙහෙස මහන්සි වී පාඩම් කර ඊට හොඳින් සූදානම්වීම බව ගණ දෙවියන් වුවත් පිළිගනු නියතය. එහෙයින් කවුරුවත් බෙදන ගණදෙවි බ්‍රෑන්ඩඩ් බෝල් පොයින්ට් කෙරෙහි විශ්වාසය තැබීම නම් නුවණට හුරු නැත.
ඉන්දියානු පුවත්පතක පළවූ උපහාස කතාවක් මෙසේය.
එක්තරා ගම්බද ප්‍රදේශයක පිහිටි ගණපති දේවාලය නිතර සෙනඟින් පිරුණි. විශේෂයෙන්ම විභාග ආසන්න කාලවලදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බාරහාර වීම සඳහා එහි පෝලිම් ගැසුණහ. එහෙත් එහි කපු මහතාගේ එකම පුතා කිසිම විභාගයක් සමත් වූයේ නැත.
අවසානයේදී කපුවාගේ ඇවෑමෙන් පසු ඔහු එම තනතුරට පත්වූයේය. (දැන්වත් දෙන් මට නුවණක් ගණදෙවි!)
කපිල කුමාර කාලිංග