2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

වන සිරියක අසිරිය ගෙනෙන සිසිර කුමාර

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 136

ශ්‍රී ලංකාවේ වනගත චාරිකා සාහිත්‍යය පිළිබඳ පොතපත පළවන්නේ ඉතාමත් අල්ප වශයෙනි. එදා මායා රංජන්, වෝල්ටර් සේනාධීර, ධර්මසිරි ගමගේ, ඩග්ලස් රණසිංහ සහ කුසුම්සිරි විජේවර්ධන වැනි ලේඛකයින් ගිය මග අනුගමනය කරමින් සිසිරකුමාර නම්බුගේ ලේඛකයා විසින්  ලියන  ලද වන සිරියක අසිරිය නමැති කෘතිය එළිදැක්වූයේ මේ නොබෝදාය. එය පළකර ඇත්තේ මරදානේ සූරිය ප්‍රකාශකයෝ  ආයතනය විසිනි. 

80 දශකයේදී මා සේවය කළ කළුතර බොලොස්සගම මහ විදුහලේ ආරම්භ කළ සොබාදහම් සිසු හවුල නමැති පරිසර සංවිධානයේ පළමු සභාපතිවරයා වූයේ එකල අ.පො.ස උසස් පෙළ පන්තියේ උගනිමින් සිටි සිසිරකුමාර නම්බුගේ සිසුවාය. ඔහු විසින් අප ගිය චාරිකාවක් ඇසුරින් ලියන ලද &කබරගල කන්දේ අසිරිය* නමැති ලිපිය මා විසින් සංස්කරණය කරන ලද සොබාදහම අංක 2 සඟරාවේ පළ විය. ඒ ඔහුගේ පළමු වනගත චාරිකා සටහනයි. ඔහු ඉන් ලැබූ ආවේශය අද දක්වාම නොනැසී පවතින බව පෙනේ. වසරකට වරක් දෙවරක් වනෝද්‍යානයක චාරිකා කිරීමට ඔහු යොමුවූයේ බොහෝ කලකට පෙර සිටය. එම චාරිකා සටහන් සමහරක් වාරණ වැනි පරිසර සඟරාවල පළවිය.

වනෝද්‍යාන මාර්ගෝපදේශකයින්ගෙන් ගතයුතු මෙහෙය ඔහු නොමඳව ලබාගනී. පරිසරවේදීන් සහ පොතපත හමුව ලත් දැනුම සහ අත්දැකීම් නිවැරදි දැයි සහතික කර ගනී. වන සිරියක අසිරිය^ දැනුම් සාගරයක් වී ඇත්තේ ඒ නිසාය. 

ඔහු හෘදග්‍රාහී සජීවී බසක් භාවිත කරමින් පාඨකයා තම අත්දැකීම් කරා සමීප කරවයි. තමාම ලබාගත් ඡායාරෑපවලින් එය සමීප කර පෙන්වීමටද ඔහු කටයුතු කර තිබේ. චාරිකාව කුමන වනෝද්‍යානයකදී වුවත් අලින් දුටුවිට අලින් පිළිබඳ කිසියම් අතුරැ කතාවක්ද ගෙනහැර පාන්නට ඔහු සමත් වේ. 

වස්ගමුව වන උයනට ගිය චාරිකා විස්තරය ලියන සිසිර රාත්‍රී මහවැලි ගඟ ළඟදී දුටු චමත්කාරජනක දර්ශනය සිත්තම් කරන්නේ මෙලෙසය.

කිරි බැබලෙන සඳ එළියේ නැහැවෙමින් ඈතට විහිද යන දැවැන්ත වන සාගරයේ  චමත්කාරය කෙතරම් සුන්දරද? නිල් අහසේ විරාජමාන වූ චන්ද්‍රයා සඳරුස් වළඳන වනාන්තරය දෙස ආඩම්බරයෙන් බලා සිටී. තැන තැන බිම් බස්සෝ හඬ තලති. සුදෝ සුදු වලා කැටි පාවෙන ගුවන් ගැබ දෙස මම නිසොල්මන්ව බලා සිටියෙමි. හස්ති කාහල නාදයෙන් වනය ගිගුම් දෙයි. මුළු වන පියසම කදෝපැණි රංගනයෙන් විකසිත වෙයි. කෝටි ගණනින් විසිර දිදුලන තරැ කැටවලින් පිරැණු ගුවන් තලය නිල් මැණික් පලසක් වැනිය.

වන සිරියක අසිරිය කෘතියේ කවුඩුල්ල, උඩවලව, බූන්දල, වස්ගමුව, හෝර්ටන් තැන්න, විල්පත්තුව, යාල සහ යාල නැගෙනහිර යන වනෝද්‍යාන සහ කන්නෙලිය වන රක්ෂිතය පිළිබඳ චාරිකා සටහන් ඇතුළත්ව ඇත. ඇතැම් චාරිකා අපද සම්බන්ධ වූ ඒවාය. හැම චාරිකා විස්තරයක්ම ආරම්භ වන්නේ වනෝද්‍යානයේ සිතියම, ගමන් මග, භූගෝලීය පසුබිම ආදී මූලික තොරතුරැ ඉදිරිපත් කිරීමෙන් අනතුරැවය. මේ නිසා වනෝද්‍යාන චාරිකා සංවිධානය කරන අයට මේ පොත හොඳ අත්පොතක් වන බව කිවයුතුය. 
ඇතැම් අය වනෝද්‍යාන චාරිකා යන්නේ විනෝදයට මෙන්ම මෝස්තරයටය. මේ ගමන් නිසා ඔවුන්ටවත් වනෝද්‍යානවලටවත් අයහපතක් මිසක් යහපතක් වන්නේ නැත. 

වන සිරියක අසිරිය කෘතිය හුදෙක් විනෝදය පිණිස එකී ගමන්වල යෙදෙන්නන්ට තමන් දන්නා ලොවට වඩා එහාට ගිය ලොවක් ඇති බව හඬගා කීමක් වැනිය. වනය පිළිබඳවත්, එහි නිවැසි සතා සීපාවා පිළිබඳවත් ආදරණීය හැඟීමක් ජනිත කරලීමට කතුවරයා දරන උත්සාහය නූතන වාණිජ පරමාර්ථ ඉක්මවා ගොස් වනජීවීන්ට හිමිවිය යුතු ලෝකය නැවත අවලෝකනය කිරීමක් වැන්න.

 දයාරත්න දළවැල්ල

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00