2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

ෆේස්බුක් එකෙත් හොඳ කවියෝ ඉන්නවා - ප්‍රවීණ කිවියර බුද්ධදාස ගලප්පත්ති

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 609

බුද්ධදාස ගලප්පත්ති අප අතර සිටින ප්‍රවීණ කවියෙකි. ඔහුගේ තුරුලිය අකුරුවිය කවි පොත සඳහා 1998 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. ඔහුගේ කාව්‍ය නිර්මාණ උසස් පෙළ සිංහල විෂයයට සහ විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහාද නිර්දේශ වී තිබේ. නවක නිර්මාණකරුවන්ට අත දෙන සාහිත්‍යධරයෙක් වන බුද්ධි නවකතා මෙන්ම කෙටිකතාකරණයේද නියැලේ. ඔහුගේ අලුත්ම කාව්‍ය කෘතිය වන ඒ අසිරිමත් නොනගතය පසුගියදා සුරස පොතක් ලෙස පළ විය.

• ඒ අසිරිමත් නොනගතය ඔබේ 11 වැනි කවිපොතයි. ඔබේ කාව්‍ය ගමන් මඟ දෙස බැලුවොත් මොකද හිතෙන්නේ?

දොළොස් මහේ පහන සහ කැටපත් පවුරේ සිට මේ දක්වා මගේ කවි ගමන් මග දෙස බලන්නේ තෘප්තිමත්ව. ඒත් මට හිතෙනවා මගේ හොඳම කවි තවම මා අතින් ලියවුණේ නැද්ද කියලත්. අලුතින් කවි පොතක් නිකුත් වූ සෑම මෙහොතකම මට ඒ වගේ හැඟීමක් දැනෙනවා. ඒ හැරෙන්න මගේ කවි පොත් සියල්ලම පාහේ පාඨක, විචාරක අවධානයට යොමුවුණා. මගේ කවියට නිසි විචාරක පාඨක ප්‍රතිචාර නොඅඩුව ලැබුණා කියලා මට හිතෙනවා.

• ඔබේ කවියට අඩසියවසක් පිරෙනවා. ඔබ කවි ලිවීම ඇරඹූ යුගයේ සිටි කවීන් සහ අද තරුණ කවීන් අතර දකින වෙනස කුමක්ද?

දොළොස් මහේ පහන (1971) සමූහ කවි පොතටත් කැටපත් පවුර (1972) පළමු කවි එකතුවටත් දැන් අඩසියවස සම්පූර්ණයි. ඒ යුගයේ කවීන්ගේ නිර්මාණ හා අද තරුණ කවි කිවිඳියන්ගේ නිර්මාණ අතර විශාල වෙනසක් තියෙනවා. ප්‍රමාණාත්මකවත්, ගුණාත්මකවත් ඒ වෙනස පෙනෙනවා. එදා අපිට කවිපොතක් පළකර ගන්න, පාඨකයන් අතරට ගෙන යන්න තිබුණු දුෂ්කරතා අපමණයි. කවි පොතක් පළ කිරීමට ප්‍රකාශකයෙක් සොයාගැනීම විශාල ප්‍රශ්නයක් ඒ කාලයේ. කවිපොත් සඳහා ඉල්ලුමක් නෑ කියලා මතයක් ගොඩනැගී තිබුණේ. අද තත්ත්වය හාත්පසින්ම වෙනස්. අද තරුණ කවීන්ගේ කවි පළකර ගැනීමට ප්‍රකාශකයන් ඕනතරම් ඉන්නවා. 

කවියේ කවිතාව පිළිබඳ කල්පනා කරන කොට නම් මට හිතෙන්නේ ප්‍රමාණාත්මකව වර්ධනයක් පෙන්නුම් කළත් ඊට සාපේක්ෂව ගුණාත්මක වර්ධනයක් දකින්න ලැබෙන්නේ අඩුවෙන් කියලයි. එදා කවීන් ජීවත් වූ සමාජ දේශපාලන ආර්ථික පසුබිමට වඩා හාත්පසින්ම වෙනස් වූ පසුබිමක අද තරුණ කවීන් ජීවත් වෙන්නේ. අද බොහෝ නිර්මාණ අදහස් හෝ ප්‍රකාශන මිසක් කවියේ හැඩරුව සහිත හෘද සංවේදී නිර්මාණ දකින්න ලැබෙන්නේ අඩුවෙන්.

• අද තරුණයන් වේගයෙන් කවි පොත් පළකරන බව පේනවා. එසේ හදිසියට කවි ලියන්න පුළුවන්ද‍?

එක රුයකින් ගායකයකු ගායිකාවක් බිහිවෙන වගේ කවියෙක් කිවිඳියක් වන්නටත් අද තාක්ෂණ දියුණුව නිසා පුළුවන්. ප්‍රකාශකයකු හොයාගැනීමේ ප්‍රශ්න තිබුණත්, තමන්ගේම මුදලින් පොත් පළකර ගැනීමට කාලයක් ගත නොවන නිසා කර්තෘ ප්‍රකාශන, ඇතැම් අවස්ථාවල කවියාගේම ආයෝජන සහිතව ප්‍රකාශන ආයතනයක නමින් කවිපොත් පළවෙනවා. හදිසියෙන්ම කවි ලිවීම අපහසු කටයුත්තක්. කවියක් ලියවෙන්න දීර්ඝ කාලයක් ගතවෙනවා. කවි සිතුවිල්ලක් හිතේ බීජගතවෙලා වරින්වර කැපිල කෙටිල වෙනස් වෙලා පළකරන්න දිගු කාලයක් ඕන වෙනවා. කවියෙකුගේ හිතත් භාවනාවකට සම වැදුණු හිතක් වගේ. අනෙක් කාරණාව කවිය හරිම සියුම් හැඟීම් දනවන ප්‍රකාශන මාධ්‍යයක්. කවි නමින් මොනවා හෝ රචනා කිරීමත්, කවිය හඳුනාගෙන නිර්මාණ කිරීමත් දෙකක්.

• එදා ඔබ ඉගෙන ගන්නා සමයේ සරසවි සිසුන් සාහිත්‍ය කලාවට ඇල්ම දැක්වුවත් අද සිසුන් වැඩිදෙනෙක් සිටින්නේ ස්මාට් පෝන් සමඟ හරඹ කරමින් බව පේනවා. මේ ගැන ඔබට නිරීක්ෂණය වුණාද?

අපි ඉගෙන ගන්නා කාලයේ කියන්නෙ 70 දශකයේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව අදට වඩා සාහිත්‍ය කලාවට නැඹුරුව හිටිය බවක් පේනවා. එදා සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රශ්න, ඔවුන්ගේ සරසවි ජීවිතය වගේම එදා කලා සාහිත්‍ය සංස්කෘතික කටයුතුවල මුහුණුවරත්, තත්ත්වයත් හාත්පසින්ම වෙනස්. 70 දශකයේ සාහිත්‍ය කලා සිනමා, වේදිකා නාට්‍ය, ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ, කථිකා, ගුවන්විදුලය වගේ ක්ෂේත්‍ර සෑම එකකම ප්‍රබෝධ්‍යක් තිබුණා.

එදා අදට වඩා කොළඹින් බැහැරට ප්‍රධාන නගර කරා කලා නිර්මාණ ගමන් කළා. සෑම සරසවියකම වගේ නාට්‍ය, චිත්‍රපට උළෙල සංවිධානය වුණා. ගීත ප්‍රසංග පැවැත්වුණා. අද ස්මාට් ෆෝන්වලින් හරඹ කිරීමට, ප්‍රේම කිරීමට විතරක් නෙවි ලිංගික සබඳතා පවත්වන්නත් හැකිවෙලා තියෙනවා. ඒක එක පැත්තක් විතරයි. අපි අමතක කළයුතු නැහැ මේ කොරෝනා කාලයේ ස්මාට් ෆෝන් නිසා Zoom තාක්ෂණයෙන් සංස්කෘතික කලා, අධ්‍යයන කටයුතුවලට ලැබුණු පහසුකම. අද සරසවි සිසුන්ගේ සාහිත්‍ය කලා නිර්මාණ ඇල්ම අඩුවෙලා තියෙන්නේ ඔවුන්ට ඒ අවස්ථාව අඩුවීම නිසා. රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ලබන නාට්‍යයක්, සිනමා උළෙලක සම්මාන ලබන චිත්‍රපටයක් ඔවුන්ට නරඹන්න ලැබෙන්නේ නෑ. නාට්‍ය නගරයෙන් සරසවියට පමණක් නෙවි ගමටත් යන්නෙ නෑ. සිනමා ශාලා අඩකටත් වඩා වැහිලා ගිහින්. සාහිත්‍ය පොතපත පිළිබඳ පෞද්ගලික මට්ටමේ යම් යම් සාකච්ඡා වුණත් සරසවි තුළ පුළුල් සංවාද ගොඩනැගෙනවා අඩුයි.

• අද බහුලව මුහුණුපොතේ කවි පළ වෙනවා. මෙය කවියේ ප්‍රගමනයට හේතුවක් බව පේනවාද?

Facebook කවිය ගැන මගේ මතය බොහෝ අවස්ථාවල මාධ්‍යයේ පළවෙන්නෙ ඍණාත්මක විදියට. මම විශ්වාස කරන්නෙ Facebook කවියට පමණක් නෙවි අනෙක් නිර්මාණාත්මක ප්‍රකාශනයටත් නිවැරදිව භාවිත කළ හැකි හොඳ මෙවලමක් කියලා. ඒත් බොහෝ වෙලාවට මාධ්‍යයේ ශීර්ෂය වෙන්නේ මුහුණු පොතේ කවියෙන් සිංහල කවියට යහපතක් නෑ කියලා. මා අදහස් කරන්නේ ඒක නෙවි. මේ කවි අතර කොතරම් නිර්මාණශීලී කවි කිවිඳියන් හමුවී තියෙනවාද? ඔවුන්ගේ කවිය එළිදැක්වුණේ ෆේස් බුක් නිසා. හැබැයි ඒ ප්‍රමාණය සීමිතයි. බහුතරය හිතාගෙන ඉන්නෙ ඉක්මනටම කවියෙක් වෙන්න තියෙන හොඳම කෙටිම මාර්ගය මුහුණු පොත කියලා. එවැනි නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර නිසාත් ඔවුන් නොමග යනවා. ඒක යහපත් ප්‍රවණතාවක් නෙවි.

 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00