2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

හොඳ වයින් - කජු වයින්

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 181

උදෑසනම සවන් වැකුණු රොඩ්නි වර්ණකුලගේ මිහිරි ගීයක එක් තැනක මෙසේ කියැවෙයි.

''මේ මල් පිපෙන රටට
තව මොකටද සුවඳ සඳුන්''
රොඩ්නිගේ කටේ ඩොලර් පවුම් දමනු වටී!

කතාව ඇත්ත වුණත් සිරි ලංකාව ගමන් කරන්නේ ''රෝන්ග් සයිඩ්'' ය. ''සිරිලක දේ සිරි සැප දේ'' යැයි සිතන මිනිසුන්ද දැන් මේ දූපතේ නැත. ජාතික කොඩිය පවා පිටරටින් ගෙන්නා ගන්නා තරමට ජාතික චින්තනය විදේශිකය. ඒ කතා දිගින් දිගට කියන්නට ගොස් ''බ්‍රේකින් නිවුස්'' එකක් වීමට අපට අවශ්‍ය නැත. (වාසිබෝලන්තයේ තීරු ලිපිකාරයකු කියා තිබූ අන්දමට ඇත්ත කතා නොකර සිටින තරමට මාධ්‍ය නිදහස රැකේ!)

රොඩ්නිගේ ගීතය අසා සුළු මොහොතකට පසු පුවත්පත් සිරස්තල දෙකක් ද ඇස ගැසුණි.

1. ''සරුසාර කිතුලයි - තිරසර රටයි'' තේමා කරගත්, කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මඟ වැවිලි අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලබයි.
2. 2025 වනවිට කජුවලින් රට ස්වයංපෝෂිත කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ මල් පිපෙන රටේ මේ කතාවලින් අපේ හිත් තුළද මල් පිපෙයි. එහෙත් කිසියම් බයක්ද දැනෙයි. කිකුල් කතා, කජු කතා මීට පෙරද වරින් වර අසා තිබුණු නමුත්, අන්තිමේදි අපට පුහුලමක්වත් ලැබුණේ නැත. ගාලු පාරේද කිතුල් ඉන්දවූ උදවියගෙන් පසුව අසන්නට ලැබුණේ කිතුලේ ගිය මිනිසාගේ උත්තරයමය.

හැමවිටමත් කියන පරිදි මා නම් ශුභවාදීය. ඒ නිසා අනාගතය පිළිබඳව දකින සුබ සිහිනවලින් පිනා යමි.

කජු සංස්ථාවේ සභාපතිනිය කියා සිටින අන්දමට මේ වනවිට සිරි ලංකාව තුළ කජු වගාවේ නිරතව සිටින ගොවීන් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසක් පමණ වෙයි. කජු වගාව අක්කර භාගයෙන් පටන්ගෙන අක්කර දහස දක්වා වැඩි කරගත් අයත් සිටිති. මේ අනුව බලන විට කජු ගොවියාද වී ගොවියාගේ මට්ටමටම පැමිණීමට වැඩි කල් නොයනු ඇත. විදේශ වෙළෙඳපොළද ජයගන්නා කජු ගොවියකු පාර්ලිමේන්තුවටද පත් වුවහොත් ඒ ගැන පුදුම විය යුතුද නැත. එහෙත් මේ සියල්ල කජු කනවා වගේ ලෙහෙසි පහසු නැති බවද කවුරු කවුරුත් වටහාගත යුතුය. ඉලක්ක ලබාදීම මෙන්ම ක්‍රියාත්මක කිරීමද එක සේ සිදුවිය යුතුය. මේ රටේ ගස්වලට වඩා පැළ වී ඇත්තේ ''මුල්ගල්'' බවද රහසක් නොවේ.

කජු පුහුලමින් ''කජු වයින්'' නිෂ්පාදනය කිරීමේ යෝජනාවද අප ''මන් මත්'' කරන්නට සමත් වෙයි. මත්පැන් ගණයට වැටෙන නමුත්, වයින් යනු කාන්තා පක්ෂය පවා පානය කරන රසවත් මධුවක් බව කවුරුත් දනිති. එහෙත් හොඳ වයින් පානය කළොත් වයින්වලින් වුණත් ''වයින්'' විය හැකිය.

මොසාට් නමැති රෝමානු - ඔස්ට්‍රියානු සංගීතඥයාට බාල වියේදී මව්කිරි අහිමි වූයෙන් ඔහුට සැර බාල කළ ''වයින්'' බීමට දුන් බවද, පසු කලෙක ඔහුගේ සංගීතය එතරම් මිහිරි වූයේ එහෙයින් බවටද ප්‍රවාදයක් පවතී. වර්තමාන සිරි ලංකාවේ නම් සමහර සිංදුකාරයන්ගේ ඝෝෂාවන් අසන විට සිතෙන්නේ ඔවුන් (කජු) වයින් නොව, කජු කිරි කට ගාගෙන ඇති බවය.

ගල් ඔයෙන් ඉක්ෂුපාක හා රම් නිපදවන්නට පටන්ගත් සැටිත්, මුදල් ඇමැති ආචාර්ය එන්.එම්. පෙරේරා රා මදින්නට අවසර දෙන්නට ගොස් ''පෙරේ-රා'' ලෙසින් සරදමට පත්වූ ආකාරයත් අපගේ මතකයට නැගෙයි. 

බෝතල් කළ ''සීල් රා'' සමුපකාර මගින් ගමක් ගමක් පාසා බෙදන්නටද යෝජනා වූ හැටේ දශකයේදී මහා පත්‍ර කලාකාර ඩේවිඩ් කරුණාරත්නයන් ඔහුගේ සුප්‍රකට ''හිතුණට හිතුණා'' උපහාස ලියවිල්ලෙන් එය සිනාවට ලක් කළේ මෙසේය.
''.... දැන් දැන් බෝතල් රා මහජනයාට විකුණන්නට විධි විධාන යෙදී තිබෙන බව සලකන විට හතු(රා), (මිතු)රා, (මසු)රා, (ඉසු)රා, කි(රා), ජො)රා, (කො)රා ආදී සියල්ලනුත් සමඟ සිරිලක පුරා රා උතුරා පතුරා යන බව සැබෑ වුවත්, රා බෝතලේ කඩෙන් ගෙන ගෙදර ගෙන ගොස් පදමට ගසන්නට ප්‍රස්ථාව ලැබීම නිසා රා කඩේ අසල ''ජොරා මරාපුවා'' විකිණූ වෙළෙඳ කාන්තාවන්ගේ සාර වෙළෙඳාම් අසාර වීමටද බැරි නැත ....''

සිරි ලංකාව යනු සොබාදමින් නොමසුරුව තෑගි ලද රටක් බව අතීතයේ සිටම ප්‍රකටය. ඇත්තෙන්ම මෙය අහිමි කරගත් පාරාදීසයකි. ස්වාභාවික සම්පත්වලින්ම ස්වයංපෝෂිත ජීවිතයක් ගත කිරීමට වාසනාව තිබියදී අපි පිටරට දේට දත නියවන ජාතියක් වීමු. පාලමක් උඩින් යන විට ගඟට කෙළ ගසන, වැව් දියට සුළු දිය මුසු කරන, මඟ අසල මල් බඳුන්වලට බුලත් කෙළ ගසන අන්දමේ දහජරා ගති පැවතුම් ඇති ගොබ්බයන් බවට පත්වීමු.

මෑතකදී ටිල්වින් සිල්වා සහෝදරයා කියා තිබූ අන්දමට ගොඩබිම වගේ අට ගුණයක් විශාලෙට මුහුදක් තියෙන මේ රටට උම්බලකඩ එන්නේ මාලදිවයිනෙනි. හාල්මැස්සා තායිලන්තයෙනි. ටින්මාළු චීනයෙනි.

මෙරට දිළිඳු ජනයාට පහසුවෙන් පෝෂණය ලබාගත හැකි මිරිදිය මත්ස්‍යයන් බෝ කිරීමේ ව්‍යාපෘතියක් ගෙන ඒමේදී මෙය බෞද්ධ රටක් බව කියමින් පවට එරෙහි වූ ඇතැම් අය පසුව ''ටින්මාළු ආධාරයෙන්'' ජපානයේ සවාරි ගැසූ බවද බොහෝ දෙනාට අමතකය. වතුකරය වැනි තැන්වල දුප්පතුන්ගේ මුදල් තවමත් ''සැමන් - සාඩින්'' වලට වැය වෙන්නේ එවැනි අමන තීන්දු තීරණවල ආනිසංස වශයෙනි.

මේ නිසා කිතුල් නිෂ්පාදන ගැන කියද්දී කිතුල් රා ගැනත්, කජු ගැන කියද්දී වයින් ගැනත් එළිපිට කීමට කවුරුවත් බිය විය යුතු නැත.

කිතුල් නිෂ්පාදන යැයි කියමින් පැණි - හකුරු දුන් වෙලේ ලොකු සර්ටත් පෙණ පිපෙන කිතුල් රා බෝතලයක් දුන්නා නම් එතුමන්ද පිනා ගොස් මෙසේ කියනු ඇත.

''ළපටි ළපටි රා තරුණන්ට යහපති
හොඳට පැසුණු රා මහලුන්ට අධිපති
රා ම බීමපල්ලා - ජනයනි - රා ම බීපල්ලා!''

I කපිල කුමාර කාලිංග 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00