ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් ඇරුඹෙන හැමවිටකම, මා සිතෙහි මිනිසා දියුණුද යන පැනය මතු වෙයි. තිරිසන්නුවත් මෙසේ යුද්ධ නොකරති. උන් වෙන සතකු මරන්නේ නම්, බොහෝ විට ඒ කුසගින්නටය. මිනිසාට කුස පිරවීම සඳහා අනෙක් රටවල මිනිසුන් මැරීම අවශ්‍ය නොවේ. ඔවුන් එකිනෙකා මරාගන්නේ බල කාමය වෙනුවෙනි. තව ජාතියකට, රටකට වඩා තමන් උසස් බව පෙන්වීමටය. දේශසීමා රැකගැනීමටය.
හිට්ලර් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් මරා දැමුවේ එහෙයිනි. දෙවැනි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වූ ඔහුගේ බල කාමය, ජාතිකත්වය ලෝක ඉතිහාසයට විශාල කැළලක් එක් කළේය. යළිත් ලෝක යුද්ධයක් ඇති නොවෙතැයි මුළු ලෝක ජනතාවම ප්‍රාර්ථනා කළ නමුත්, ඉන් පසුද වරින් වර, තැනින් තැන යුද ගිනි දැල් ඇවිළුණි. අලුත්ම යුද්ධය රුසියාව හා යුක්රේනය අතරය. පුදුමය හා කනගාටුව වන්නේ මේ දෙරටම කලකට පෙර සෝවියට් දේශය නමැති එකම රාජ්‍යයකට අයත්ව තිබීමය. එය ඉන් වෙන්වූයේ 1991 දීය.
තෝරු මෝරු හැප්පෙන විට හාල්මැස්සන්ටද කෙලවෙන බව කවුරුත් දන්නා කාරණයකි. දැන් අපටද සිදුවී ඇත්තේ ඒ ආනිසංසයමය. රුසියානු - යුක්රේනියානු ගැටුම නිසා අපේ තේ ටික විකුණා ගත නොහැක. බැංකු ගනුදෙනුවලටද බාධාය. ඒ නිසා ලංකාවේ සිටින රුසියානුවෝ සහ යුක්රේනියානුවෝද අමාරුවේය. අමාරුවෙන් ගොඩ දාගෙන ගිය සංචාරක ව්‍යාපාරයටද කණකොකා හඬන්නට ගෙන ඇත.
මෙවැනි ලෝක අර්බුදවලදී සිරි ලංකාව නමැති සාමයට කැමති හාල්මැස්සා, අනේ අපි ඔය කොයි පැත්තටවත් නැතැයි කියමින් ෂේප් වීමට යාම සාමාන්‍ය සිරිතය. එහෙත් අන්තිමේදි බැලූ විට අපෙත් වලිගය කැඩිලාය. ඒවාට වන්දි ගෙවන්නට මොන නැට්ටකුවත් නැත.
මේ දිනවල ජනමාධ්‍ය හා සමාජ ජාලා යුද්ධය ගැන විවිධ මතිමතාන්තරවලින් පිරී පවතී. සමහරු මධ්‍යස්ථය. වැඩි දෙනා රුසියාවට (ජනතාවට නොව පුටින්ට) විරුද්ධය.
බොහෝ රටවලට මෙන්ම රුසියාවටත් නායකයන්ගෙන් අපලය. සාර් රජුගෙන් පසු ස්ටාලින්ද, ඔහුගෙන් පසු කාලයේ බ්‍රෙෂ්නෙෆ්, ගෝර්බෂොප්, යෙල්ට්සින් ආදීන්ද රුසියාවට යහපතක් කළ අය ලෙස නොසැලකේ. මෑතකදි මා දුටු විදෙස් කාටූනයක පුටින්ට ස්ටාලින්ගේ උඩු රැවුල පළන්දවා තිබුණි. ඊට යටින් ස්ටැලිපුටින් යනුවෙන් ලියා තිබුණි.
අන්තර්ජාලයේ දක්නට ලැබුණු විකට වීඩියෝවක මෙබඳු සංවාදයක් විය.
අවාරයේ තෑගි බෙදන්නට ගිය නත්තල් සීයා කෙනකු රුසියන් හමුදාවට කොටුවුණි. ඔහු තම කඳවුරට ගෙන ගිය රුසියානු හමුදා නිලධාරීහු ප්‍රශ්න කිරීම පටන් ගත්හ.
තමුසෙ කොහෙද මේ යන්නෙ?
මම නත්තලට කලින් පොඩි රවුමක් ගහන්ඩ ආවා.
බොරු කියන්ඩ එපා. තමුසෙව අල්ලගෙන තිබුණෙ යුක්රේන් දේශසීමාවේ ගෙදරක දුම් කවුළුවෙ හැංගිලා ඉද්දි.
ඒ මම ගෙවල්වලට යන විදිහනෙ... කාටත් හොරෙන් තෑගි තියල එන්නනෙ යන්නෙ.
බොරු කියන්ඩ එපා.. තමුසෙ ඔත්තුකාරයෙක්
මොන එහෙකටද මං ඔත්තු බලන්නෙ.
කෝ තමුසෙ ආපු ප්ලේන් එක. ඒක අපේ රේඩාර්වලට අහුවෙලා නෑ.
මට කොහෙන්ද ප්ලේන්. මම එන්නෙ පිනි මුවෝ බැඳපු හිම කරත්තෙකින්නෙ.
මේ මොහොතේ රුසියානු සෙබළුන් දෙදෙනෙක් නාමාවලියක් සහිත රතු පැහැති මල්ලක් ඔසවාගෙන එති. නිලධාරියෙක් එය පරීක්ෂා කරයි.
මොනවද මේ නම්? තමුසෙ මේගොල්ලො මරන්නද ආවෙ? මට පේන විදිහට මේ හැමෝම අපේ රුසියාවට පක්ෂපාත යුක්රේනියන් උදවිය.
අපොයි නෑ. ඔය මම තෑගි බෙදන්න යන ගෙවල්වල ඉන්න ළමයින්ගෙ නම් ලැයිස්තුව.
තමුසෙට කොහෙන්ද තෑගි ගන්න සල්ලි?
මට ඔය කාගෙවත් සල්ලි ඕනෙ නෑ.. මට තෑගි දෙන්නෙ දෙවියන් වහන්සෙ
නත්තල් සීයා පැවසුවේ තරමක ආඩම්බරයෙනි.
අපි හිතුවා හරි. තමුසෙ ඔත්තුකාරයෙක්.
හමුදා නිලධාරියෙක් ගිගිරුවේය.
දරුවා! එහෙම කියන්නෙ කොහොමද? මොකක්ද මං කරපු වැරැද්ද?
දෙවියන් වහන්සේ කාගෙ පැත්තෙද කියල අපි දන්නවා.
නත්තල් සීයා වහාම අත්අඩංගුවට ගැනුණි. ප්‍රධාන චෝදනාව වූයේ දෙවියන් වහන්සේට ඔත්තු සැපයීමය.
ශ්‍රේෂ්ඨ රුසියානු ගත්කරුවකු වන නිකොලායි ගොගොල්ද උපතින් යුක්රේනියානුවෙකි. ඔහු ලියූ මළ මිනිස්සු වැනි නවකතා රජයේ පරීක්ෂක වැනි නාට්‍ය, %නාසය^ වැනි කෙටිකතා ලෝක සාහිත්‍ය තුළ අමරණීය නිර්මාණයන්ය. ගොගොල්ගෙ කියුම් බොහෝ උපහාසාත්මකය.
මුහුණ කැත මිනිසා කණ්නාඩියට දොස් කීමෙන් පලක් නැත. යනු එබඳු ගොගොල් කියමනකි. ගොගොල් අද සිටියා නම් මේ යුද්ධය ගැන කුමක් කියනු ඇද්ද? ඔහු රුසියානුවෙකි. එසේම යුක්රේනියානුවෙකි.
අනෙක් අතට ගොගොල් කියුවාක් මෙන්ම යුද්ධ කරන්නන්ටද තමන්ගේ විරූපී බව පෙනෙන්නේ නැත. ඔවුහු කණ්නාඩියට දොස් කියති. එය යුද්ධයේ විකාරරෑපී ස්වභාවයයි.
යුක්රේනයට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීම වෙනුවෙන් පෙනී සිටින අමෙරිකාව, වියට්නාමයට, ලිබියාවට, සිරියාවට, ඉරාකයට හා ඇෆ්ගනිස්ථානයට ලබා දුන් %විමුක්තිය^ ගැන මතක අයට පුටින් තමන්ගේ රටේ ආරක්ෂාව සඳහා සටන් කිරීම සාධාරණ යැයි සිතෙන්නට පිළිවන.
යුරෝපා රටවල් තමන් තනි කිරීම ගැන කෝපයට පත් යුක්රේනියානු ජනාධිපතිවරයා එක් එක් රටවල ජනපතිවරුනට දොස් පැවරූ විට ඔහුට ලැබුණු පිළිතුරු කිහිපයකි, මේ.
අපි ඔබට සහයෝගය පිණිස නයගරා දියඇල්ල යුක්රේනියානු ජාතික ධජය සේ පෙනෙන අයුරින් ආලෝකවත් කළා. - කැනඩාව
අපි අයිෆල් කුලුන ඔබේ ජාතික ධජයේ වර්ණයන්ගෙන් සැරසුවා. - ප්‍රංශය
අපි බකිංහැම් මාලිගය ඉදිරිපස යුක්රේනියානු ධජය ඔසවා අපේ ධජය අඩකුඹ කළා. - එංගලන්තය
කපිල කුමාර කාලිංග