2022 මාර්තු 13 වන ඉරිදා

විචාරකයෝ මගේ නවකතා චරිත එක්ක තරහයි - ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 242

1971 දී ලියූ අඳුරට එළියක් කෙටිකතා පොතෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගත් කරුණා පෙරේරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකි. ඇය මේ වනවිට කෙටිකතා පොත් 10ක්ද නවකතා කෘති 12ක්ද පළ කර තිබේ. ඇගේ අලුත්ම නවකතාව (අඳුරන කෙනෙක්) පසුගියදා සරසවි ප්‍රකාශනයක් ලෙස පළ විය.

ඔබගේ අලුත්ම නවකතාව (අඳුරන කෙනෙක්) ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

ඔව්.. අපි කවුරුත් හඳුනන කෙනෙක් අපේ ඇස් ඉස්සරහ නිතරම එහාට මෙහාට යනවා එනවා. අඳුරනවා වුණාට අපි එයා ගැන හිතන්නෙ නෑ. අපට හිත හිතා ඉන්න වෙලාවකුත් නෑ තමයි. ඒ වුණාට මම කල්පනා කරන්නෙ, අපි අමතක කරලා නොසලකා හැරලා තියෙන්නෙ, අපේ අනාගතය. රටේ අනාගතයයි. මේ අපි අඳුරන, ඒත් නාඳුනනවා වගේ ඉන්න පිරිසට ආරක්ෂාවක් නෑ. අනාගතය ගැන නිශ්චිතභාවයක් නෑ. වර්තමානයේ ගැහැනු දරුවන් ගැන, ඔවුන්ගේ ආරක්ෂාව ගැන දක්වන උනන්දුව සැලකිල්ල පිරිමි දරුවන්ට ඒ සමානවම ලැබෙන්නෙ නෑ. අපි ඒ දරුවන් අඳුරනවා. ඒත් නාඳුනනවා වගේ ඉන්නවා. (අඳුරන කෙනෙක්) නවකතාවෙන් මම මේ පිරිමි දරුවාගේ අනාරක්ෂිත බව ගැන වගේම ඔහුගෙන් පවුලේ උදවිය බලාපොරොත්තු වන ආරක්ෂාව හා වගකීම් බාරගැනීම ගැනයි කතා කරන්නේ.

ගැහැනු ළමයින්ට වගේම පිරිමි ළමයාටත් ආරක්ෂාව ඕනෑ කීමෙන් ඔබ අදහස් කරන්නේ?

දෙගොල්ලන්ම ළමයි. දවසක දෙගොල්ලන්ම රටක රටවැසියො. අනාගත රටවැසියන් හදලා වඩල ආරක්ෂා කරල රටට දෙන්න ඕනෙ. මධ්‍යම පන්තියෙ, නැතිනම් යමක් කරකියා ගන්න පුළුවන් පවුල්වල පිරිමි ළමයින්ට වගේ නොවෙයි, පොදු වාහනවල යන එන, පයින් යන එන පිරිමි ළමයින් පස්සේ හඬා එන දුරාචාරය වපුරන්නෝ එමටයි. ඒ අය විවිධාකාර වෙන්මුහුණු දාගෙනයි මේ දරුවන් පසුපස්සේ ඇවිත් ඔවුන් තම වුවමනාවලට ගොදුරු කර ගන්නේ. මත්කුඩු, සොරකම් වගේම පිරිමි ගණිකා වෘත්තියට දුප්පත් පිරිමි ළමයින් ගොදුරු කර ගන්නවා. එතැන විශාල සමාජ ප්‍රශ්නයක් තියෙනවා. දරුවන් තුළ අසහනය ඇතිකරන බොහෝ දේ තියෙන බව අපි කවුරුත් දන්නවා. ඒවා ඇතිකරන අය ගැනත්, ඒවාට ගොදුරු වන පිරිමි ළමා පරපුර ගැනත් දන්නවා. ඒකයි 'අඳුරන කෙනෙක්' ඇතුළේ මම කතා කරන්නේ ආර්ථික පීඩනයට හසුවී සිටින අනාරක්ෂිත පිරිමි ළමයකු ගැන. ඔහුට මුහුණපාන්නට වන දුෂ්කර සහ කටුක අත්දැකීම් ගැන කතා කරන්නේ. මෙතැනදී මම 'අම්මා' නම් වූ ස්ත්‍රී චරිතය ඔසවා තබනවා. 'සමදරා'  නම් මේ චරිතය දුක් පීඩා මෙන්ම සතුටද සමව දරා සිටින්නියක් ලෙසයි මා නිර්මාණය කරන්නේ.

කෙටිකතා සඳහා සම්මානලාභී ඔබ අද කෙටිකතාවෙන් බැහැරවෙලාද?

කොහෙත්ම නෑ. කෙටිකතාව තමයි මගේ ප්‍රියතම ලිවීම. පුවත්පත්වලටත් මම කෙටිකතා ඉදිරිපත් කරනවා. නවකතාත්, කෙටිකතා සංග්‍රහත් සම සමව පළවෙලා තියෙනවා. මට හිතෙනවා මම ලියන සමාජ යථාර්ථය ඇතුළේ මම හංඟන දේශපාලන අදහස් නිසා අපේ සමහර උගත් විචාරකයන් ඒවා අවුස්සන්න කැමති නෑ. හැමතැනම, හැමදෙයකම මිනිසාගේ හැම ක්‍රියාකාරීත්වයකම, දේශපාලනය තියෙනවා. පක්ෂ දේශපාලනය නොවෙයි. මේ මහා විශාල ලෝකයේ හැමදාම, මේ දැන් දැන් පෑගිලා ජීවිතේ අවසාන වෙයි කියල හිතෙන සැක සංකාවෙන් ජීවත්වෙන මිනිස්සු, රතු කූඹි කළු කූඹි වගේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන ලිවීම මගේ කාර්යභාරයක් කියලයි මම හිතන්නේ. ඉතින් ඒ ලිවීම රුචි නොවන පිරිස සමාජයේ ඉස්සරහින් ඉන්න නිසා මගේ නිර්මාණ ගැන අගය කිරීමක් නැහැ. සතුටු වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මගේ කෙටිකතා, නවකතා වගේම යොවුන් නවකතාත් කියවන පාඨක පිරිසක් ඉන්නවා.

අද තරුණ පරම්පරාව ඉතාම වේගයෙන් නවකතා බිහිකරනවා. ඒ ලියවිලිවල ලොකු හදිසියකින් ලියූ ගතියක් පේනවා. ඒ ගැන ඔබට යම් අදහසක් තිබෙනවාද?

ඇත්තතෙන්ම ඔබ නිවැරදියි. ලොකු හදිසියක් තිබෙන බව පේනවා. තරුණයන්ගේ ස්වභාවයක්මනෙ ඔය හදිසිය. අපටත් තරුණ කාලයක් පාසල් කාලයක් තිබුණා. අපටත් හදිසියක් තිබුණා. ඒ හදිසියට බ්‍රේක් ගැහැව්වෙ ගුරුවරු. එදා පුවත්පත්වලට ලිපි තෝරාගත්තු හතරකොන, අටකොන දැන සිටිය, බැලුව මාධ්‍යවේදීන්. ඒ නිසා අපේ හදිසිය බ්‍රේක් ගහල අර සිව්කොන අටකොන බලන්න පුරුදු වුණා. අනිත් පැත්ත හිතුවා. ලිව්වා. දැන් කාලෙ සමහර ප්‍රකාශකයන් පිටු පෙරළුවා. අච්චු ගැහැව්වා. තරුණ හිත් ආකර්ශනය කරන පිටකවරයක් හදාගත්තා. මෙන්න නවකතාව වෙළෙඳපොළේ. කවුද මේ පාඨකයන්? ඒක තවත් ප්‍රශ්නයක්. ඔය හදිසිය ඉබාගාතේ යාමක්. ඔය විදියට ඉබාගාතේ යන්න හොඳහැටි මඟ පිරිසුදු කරල දෙන ඇත්තො ඉන්නවා. සාහිත්‍යමය වටිනාකම් ගැන වගේවගක් නෑ. සමාජයට ඇතිවන බලපෑම ගැන වගේ වගක් නෑ.

ඔබ මේ මතුකරන අදහස් අද ඩිජිටල් ලෝකයේ ඉන්න පිරිසට ඔරොත්තු දේද?

මොන ග්‍රහණයක්ද? ඒ පරම්පරාව හිතන්නේ මේ පොත් බදාගෙන ඉන්නෙ පරණ කට්ටිය කියල. ඉතින් ඒ කියවන පිරිසට මේ පණිවිඩ යන්නේ නෑ. ගියත් හිතන්න ඕනකමක් නෑ. මම දකිනවා පොත් සාප්පුවල පොත් රාක්ක ළඟ ගැවසෙන තරුණ ළමයි සොයන්නේ ලස්සන ප්‍රේම කතා තියෙන පොත්. ප්‍රේමය මොන තරම් සුන්දරද විචිත්‍රද.. ඒත් ඒ ප්‍රේමය සමඟ ළඟින් දැවටෙන වේදනාව... ඒ වේදනාවට හේතු... ඒවා ගැන තැකීමක් නෑ. අපි පුස්කොළ පොත්වල ලියුව කාලෙට ආපස්සට යාමක් කළ යුතු නෑ. ඒත් අපි දවසින් දවස අලුත් වෙන තාක්ෂණය සමඟ මිනිසාගේ ඉරණම ගැන සෝදිසියෙන් ඉන්න ඕනෙ. මට මතකයි ආර්.කේ. නාරායන්ගේ කතාවක් තිබුණා, අමෙරිකාවට ගිහින් ඉන්දියානු තරුණ ශිෂ්‍යයන් රොබෝ යන්ත්‍ර හදන්න ඉගෙන ගත්තට මොකක්ද ඇති පළේ කියල. ඉන්දියාවේ රැකීරක්ෂා නැති දස දහස් ගණනක් සිටිද්දි එක රොබෝවකුගෙන් වැඩ දහසක් කරවා ගැනීමේ මෝඩ අදහස ගැන නාරායන් මතක් කරල දෙන්නේ සාහිත්‍යමය අගයක් ඇතුව.

මුහුණුපොත කුළ නවකතා කෙටිකතා ලියන විශාල පිරිසක් ඉන්නවා. ඒ ගැන ඔබේ අදහස?

සාහිත්‍ය පොතපත ගැන කතා කරනවා නම් දෙයියනේ පොතක පිටු අතර ඇති සුවඳ තරම් ආශ්වාදයක් කොයින්ද ඔය තාක්ෂණ මිතුරාගේ. අපි කෙටිකතාවක්, නවකතාවක් ලියන්නේ ලිය ලියා කප කපා හැඩගස්සමින්. පොතක් කියවන්නේ, එක දවසෙන්ද? නෑ. කියවපු කොටස් නැවත පෙරළමින් කියවනවා. පොතත් එක්ක අපට හදිසියක් නෑ. සාහිත්‍ය කියන්නෙ රස මැවීමක්. රසවිඳීමක්. හදවත සමඟ කරන ගනුදෙනුව බුද්ධිය ළඟ නතර කිරීමක්. ඒක සන්සුන් ක්‍රියාවලියක්.
තාක්ෂණය විශිෂ්ටයි. ඒත් මිනිසාගේ හදවතේ සියුම් තත් පිරිමදින, ආස්වාදනීය මොහොත උදා කරන පොතේ පිටු පෙරළෙන මොහොත අති විශිෂ්ටයි.

 කුසුම්සිරි