මෙරට සාහිත්‍ය සමාජයෙහි ''ජනගත කිරීම'' යනුවෙන් යෙදුමක් ව්‍යවහාර වෙයි. ඉන් අදහස් කෙරෙනුයේ කිසියම් ලේඛකයෙකු විසින් ලියන ලද කෘතියක් ජනතාවට හඳුන්වා දීමය.
සිරි ලංකාවේ සිටින සිංහල ජනතාවගෙන් බහුතරය සිංහල මිස වෙනත් බසක් නොදනිති. එහෙත් පුදුමය වන්නේ ඔවුන් සිංහලයෙන් හෝ ලියැවෙන පොතපත නොකියවීමය. ගත් කතුවරුනට තමන් වෙහෙසී ලියන පොතක් ''ජනගත'' නොහොත් ජනතාව අතරට රිංගවීමට සිදුවී තිබෙන්නේ ඒ කරුම දෝසය නිසාය. ''සිංහලයාට අත නොතබනු'' යැයි හඩ නඟන බොහෝ ''සිංහලයන්ට'' සිංහල හෝඩියවත් කට පාඩමින් කිව නොහැකි බව රහසක් නොවේ. නිවැරදි සිංහලයෙන් පෝස්ටරයක්, බැනරයක්වත් ලියාගත නොහැකිව ගොන්කම ප්‍රදර්ශනය කර තිබෙන අයුරු (ජනගත කර තිබෙන යුරු) මඟ දෙපස ඕනෑතරම් ඇස ගැසේ.
ජාතියක අභිමානය භාෂාවය. ජාතියක පදනම භාෂාවය. ඒ පණ්ඩිත කතා කිසිවක් සිංහලය රාජ්‍ය භාෂාව කරගත්, සිරි ලංකාවට අදාළ නොවේ.
තමන්ගේ මව්බසට නිසි සැලකුම් නොලද, ''සුළු'' ජාතිකයන් (පෞද්ගලිකව මම, කිසිදු ජාතියකට ''සුළු'' යන විශේෂණය යෙදිමට නොකැමැත්තෙමි) භාෂා දෙක තුන දත් ත්‍රෛභාෂිකයන් වී සිටියදී සාඩම්බර ඒක භාෂිකයන්ට සිදුවී ඇත්තේ ඔවුන් හමුවේ කලිසමට උඩින් අමුඩය ගසා ගැනීමටය. ඉංග්‍රිසිය රජයන තැනකදී ඔවුන් පලා යන්නේ උඩ අමුඩය පමණක් නොව යට අමුඩයද මග හලාගෙනය.
එවිට, උපාධි, ඩිප්ලෝමා, තනතුරු, කුල පරම්පරා යනාදී සියල්ල කැන්සල්ය. ලෝකයේ සිංහල කතා කරන එකම රට වන සිරි ලංකාවේ ඇත්ත තත්ත්වය මෙයය.
මා මේ තීරුවෙහි වරින්වර සිංහල භාෂාව ගැන ලියන්නේ හිතේ අමාරුවටය. නොකෙරෙන වෙදකමට බෙහෙත් සීට්ටු ලිවීමෙන් පලක් නැත. අනික් අතට මේ දවස්වල සිරිලංකාවේ ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා දෙස බලන කල භාෂාව ගැන කරදර වන්නට යාම මහා මෝඩකමකි. බස ගැන උදම් අනන්නට රටක් තිබිය යුතුය. සියල්ල අනාගත් රටක, බස ගැන වණන්නට යාම ''රන්කඳ'' නාට්‍යයේ කියන්නාක් මෙන් ''හෙළුවෙන් වැනීමක්'' වනු ඇත. (හෙළුව යනු හෙළ බසය) දැන් සිරි ලාංකිකයා සිටින්නේ ජීවත් වන්නේ කෙසේදැයි සිතමින් දෑත් හිසේ ගසාගෙනය. පෙනෙන තෙක් මානයක විසඳුමක් නැත. හිසේ රුදාවට කොට්ටය මාරු කරන්නා සේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන යළිත් කතාවෙනු ඇසේ. එය තම තමන්ගේ ගැලවීමට බලකොටුවක් තනා ගැනීම මිස ජනතා ප්‍රශ්නවලට පිළිතුරක් නොවේ යැයි සමහරු කියති. අන්තිමට සභාගයේ පිහිටෙන් කවුරු කවුරුත් ආපහු සභාවේය. ජනතාව හිටපු තැනමය. සෙක්කුව එක තැන කැරකෙයි. ගොන්නු වමාරා කමින් එය ඇදගෙන යති.
පොදු සමාජ දේශපාලන තත්ත්වය එසේ වෙතත් දැන් දැන් විරෝධයේ උණුසුමද (ජනගත) වෙමින් තිබෙන බවක් පෙනී යයි. පසුගියදාක කන්තෝරු දුම්රියකින් මෙබඳු දෙබසක් ඇසුණි.
''අපේ රටේ නම, ලංක්‍රේනියා කියල වෙනස් කරන්ඩ වෙයි වගේ.''
''ඒ මොකද?''
''මේකත් දැන් යුක්රේනියාව වගේනෙ... රෑ නිදාගෙන නැගිටින කොට මොනවට හරි මිසයිල් ගහලා. බේකරි, පෙට්රල් ෂෙඩ්, ගෑස් කඩ, ෆාමසි, වයින් ස්ටෝර්ස් සේරම විනාසයි.''
''ඒ විතරක්යැ. ලයිට් කැපිල්ල. මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ.''
''ඒ වුණාට අර ගොල්ලො ඒක පිළිගන්නෙ නෑනෙ.''
''කවුද අරගොල්ලො?''
''වෙන කවුද ඉතින්, හොඳටම කරන්ඩ ගිය කට්ටිය.''
''එහෙම කියන්ඩ එපා. ඒගොල්ලන්ට හරියට කරන්ඩ දෙන්නෙ නෑනෙ අර කට්ටිය.''
''කවුද ඒ, අර කට්ටිය?''
''අර ගිලෙන නැවෙන් පැනපු කට්ටිය.''
''ඒ ගොල්ලො පැන්නෙ නෑ. පනින්ඩ වගේ එල්ලිල ඉන්නවා.''
''ආපහු නගීද?''
''ඒක ෂුවර්.... තව කවුරු හරි හාදයෙක් ෆෝම් කරගෙන නැවට නගිනවා. නැවට පුරුදු වෙච්ච මිනිහට වෙන රස්සාවක් කරන්ඩ බෑ කියනවනෙ.''
''ඒ යක්කුන්ට නං නැව ගිලුණත් බෑන් චූං. අපිට තමයි හුළං...''
''ඇත්තටම අපි මොකද කරන්ඩ ඕනෙ? සමහරු නම් දැන් රට යනවා... පාස්පෝට් වීසා පෝලිම් හැදිලලු. ඉන්න හිතෙන රටෙන් යන්න හිතිලලු.''
''මේ රට දාල යන්ඩ අපි ද්විත්ව පුරවැසියොයැ?''
''ඒකත් ඇත්ත. එහෙනං ඉතින් අපි උපන් මේ රටම ගොඩදාගන්ඩ තමයි තියෙන්නෙ. ඒත් කවුද ඒක කරන්නෙ?''
''දියසේන කෙනෙක් මතුවෙල එයි.''
''මට නං ඒ කතාව විශ්වාස නෑ. දියසේනලා කියල එන්නෙම දිය රකුසොනෙ.''
''දියසේනලා කියලා මතුවෙන්නෙම ''වෝටර් පික්චර්ස්'' මුලදී ලස්සනයි... ටිකෙන් ටික බොඳවෙලා, මැකිලා යනවා.''
මෙබඳු කතාබහ, මේ දිනවල යන යන තැන අසන්නට ලැබේ. මාධ්‍යවේදීන් වන අපට, නා නා ප්‍රකාර ලිපි ලේඛන බොහෝ ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෑතකදී ලද ලිපියකින් කියැවුණේ, කිසියම් සංවිධානයක් මගින්, මෙරට ජනතාවගේ සිය දිවි නසා ගැනීමේ අයිතිය නීතිගත කෙරෙන පනතක් ගෙනෙන මෙන්, රජයට බලකර සිටීමට යන බවය.
බැලූ බැලුමට හාස්‍ය ජනක යෝජනාවක් මෙන් පෙනුණද, එහි සාධාරණ හා කාලෝචිත බවක්ද ඇතැයි කෙනකුට තර්ක කළ හැකිය. සර්ව පාක්ෂික සමුළුවේදී ඒ පිළිබඳවද තීරණයක් ගැනීමට ඉඩ ඇත.
- කපිල කුමාර කාලිංග