2022 අප්‍රේල් 10 වන ඉරිදා

අතීසාරය සහ අමුඩය

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 250

ඇතැම් දශකයන් තුළ වැදගත් කිසිදෙයක් සිදු නොවෙයි. එහෙත් ඇතැම්විට දින කිහිපයකදී හෝ සති කිහිපයකදී, දශක ගණනාවකට බලපාන දේ සිදුවෙයි. මෙය ලෙනින්ගේ කියුමක සාරයයි. මිනිස් ඉතිහාසය සම්බන්ධයෙන් මෙය ඉතා නිවැරදිය. 

සමහර රටවල මිනිස්සු අහිංසකය. නිහඬය. වෙන දෙයක් වෙද්දෙන් යැයි කියා තමන්ගේ පාඩුවේ සිටිති. එහෙත්, හිටිගමන් ඔවුහු කුපිත වෙති. අවදි වෙති. ඉදිරියට ඇදෙති. 

එවැනි නැගිටීම් ඇඳිරි නීතිය නොව මාර්ෂල් ලෝ හෙවත් යුද නීතිය දමාවත් මර්දනය කිරීම අපහසුය. කාකි තොප්පි වෙනුවට ගල් තොප්පි දමාවත් බිය වද්දනු නොහැකිය.

යටත්විජිත සමයේ, බුරුමයේ පොලිස් නිලධාරියකු වශයෙන් සේවය කළ ඉංග්‍රීසි ජාතික ලේඛකයකු වූ ජෝර්ජ් ඔවල් (ඔහුගේ සැබෑ නම එරික් බ්ලෙයාර්ය.) පසු කලෙක ඇනිමල් ෆාම් (සත්ව ගොවිපළ) මැයින් ඉතා රසවත් හා හරවත් නවකතාවක් රචනා කළේය. එයින් කියැවෙන්නේ ජෝන් නමැති මිනිසකුට අයත් ගොවිපළක් පිළිබඳවය. මිනිසා තමන් සියලු ආකාරයෙන් සූරා කන බව වටහා ගන්නා සත්තු, ඔහුට විරුද්ධව කැරැල්ලක් ගසා ගොවිපළේ අයිතිය තමන් සතු කර ගනිති.

කෙසේ වෙතත් අවසානයේ සිදුවන්නේ පාලන බලය අතට ගත් කණ්ඩායම අනෙක් සතුන් සූරා කමින් ඒකාධිපති පාලනයක් ගෙන යාමය.

සතුන් විසින් සතුන්ගේ යහපත උදෙසා සම්මත කරගත් සත් පනත කෙමෙන් පාලක සත්වයන්ගේ අභිමතය පරිදි වෙනස් වෙයි.

කිසිම සතෙක් තවත් සතකු නොමැරිය යුත්තේය යන නීතිය, කිසිම සතෙක් හේතුවක් නැතුව වෙනත් සතකු නොමැරිය යුත්තේය යනුවෙන් වෙනස් වෙයි. කිසිම සතෙක් මත්පැන් පානය නොකළ යුත්තේය යන නීතිය කිසිම සතෙක් පදමට වඩා මත්පැන් පානය නොකළ යුත්තේය යනුවෙන් වෙනස් කෙරෙයි.

බැලූ බැල්මට ළමා හෝ යොවුන් නවකතාවක් නැතිනම්, උපහාසාත්මක ප්‍රබන්ධයක් ලෙස පෙනී ගියත්, ඔවල් මෙය ලියුවේ ස්ටැලින් හා හිට්ලර්ගේ ඒකාධිපති වියරුවට විරෝධය පෑමක් වශයෙනි. එහෙයින් මෙය කලින් කලට ලොව පැවති පාලන ක්‍රමයන්ට හා පාලකයන්ට සැසඳෙන නවකතාවක් වූයෙන් අදටත් ලෝක සාහිත්‍යයට එක්වූ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකෙයි.

ජෝර්ජ් ඔවල් ගොවිපළේ කතාව ලියුවේ 1945 දීය. එහෙත් හීසරය පාඨකයාද එය කියවන්නේ නම් මැනවයි මා යෝජනා කරන්නේ ඔවුන් මේ දිනවල පසුකරන සමාජ - දේශපාලන අවුල් - වියවුල් නිරවුල් කර ගැනීමට ඉන් පිටුවහලක් ලැබෙතැයි සිතෙනා බැවිනි.

මේ දිනවල කිසිදු දෙයක් ගැන නිශ්චිතව යමක් ලිවීමද අපහසුය. දිනෙන් දින සියල්ල වෙනස් වෙයි. රූ නිදාගන්නා විට රට පවත්නා තත්ත්වය පසු දින අවදි වන විට වෙනස්ව තිබෙයි. මා අද - සඳුදා - ලියන මේ තීරුවෙහි ඇති දේ ද, ලබන ඉරිදා වන විට වලංගුදැයි කිව නොහැකිය.

බොහෝ ප්‍රශ්නවලට තාවකාලික විසඳුම් දීම නොහොත් පැලැස්තර යෙදීම දේශපාලනයේ සිරිතකි. ජනවහරේ ඊට ගැලපෙන පිරුළ වන්නේ අතීසාරයට අමුඩේ ගැසීමය. අමුඩේ දෙකොණ තදට තියෙන තාක් කල් හොඳය. බැරි වෙලාවත් පොටක් ලිහුණොත් සිද්ධ වන්නේ නා ගන්නටය.

අතීසාරය යනු හොඳ ලෙඩක් නොවේ. ඉන් ලෙඩා මියයන්නටද ඉඩ තිබේ. එහෙයින් අමුඩ ගසමින් නොසිට හොඳ වෙදකු ළඟට ගොස් ප්‍රතිකාර ගත යුතුය.

වෙදුන් අතර රටේ වෙද්දු මෙන්ම ලෝක වෙද්දුද වෙති. ඔවුනට එක අමුඩයක් වෙනුවට වෙන අමුඩයක් - සමහරවිට රට අමුඩයක් නිර්දේශ කළ හැකිය. එහෙත් වෙනස් වන්නේ අමුඩය පමණි. අතීසාරය අසාධ්‍ය වෙමින් දිගටම පවතී.

එසේ හෙයින් වඩා වැදගත් වනුයේ එක එක සැම්පලේ අමුඩ සොයාගැනීම නොව, හොඳ වෙදකු කරා යාමය. නැත්නම් අවසානයේදි ලෙඩා මළේය. එහෙත් බඩ සුද්දය. යනුවෙන් කීමට සිදුවනු ඇත.

පසුගිය දිනවල පැවති ජනතා උද්ඝෝෂණවලදී නිතර අසන්නට ලැබුණු ප්‍රකාශයක් වූයේ අපට දේශපාලනයක් නෑ. අපට පක්ෂයක්, පාටක් නෑ යන්නය. එය ඉතා අහිංසක, නිර්පාක්ෂික පුද්ගල ප්‍රකාශනයක් බව සැබෑය. එහෙත් සත්‍ය වන්නේ සෑම නැගී සිටීමක්ම, උද්ඝෝෂණයක්ම දේශපාලනික බවය. 

මෑතකදී කියවන්නට ලැබුණු උපහාස කතාවක් මෙසේය.

මොස්කව් නගරයේ වීදියක කළු කමිසයකින් හා කළු කලිසමකින් සැරසුණු මැදිවියේ පුද්ගලයෙක් ගමන් කරමින් සිටියේය. සුළු මොහොතකට පසු ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.

තමුසෙ කළු ඇඳගෙන යන්නෙ පුටින්ට විරෝධය දක්වන්නද?

අනේ නෑ..

එහෙනම් යුක්රේනයට ශෝකය පළ කරන්නද?

අනේ නෑ... මං... මං..

මැදිවියේ පුද්ගලයා ගොත ගැසුවේ මහත් බියෙනි.

එහෙනං මොන මඟුලකටද ඕයි?

මම මේ මළගෙදරක යන ගමන්

දේශපාලනය නැති තැනක්, නැති දෙයක් නැත.

සුසාන භූමියේ මෙන්ම ඉඳිකටු තුඩුවේද ඇත.

රටකට දේශපාලන අරගල ද අවශ්‍යය.

ඒ තවත් දේශපාලනඥයන් පිරිසක් පත්කර ගැනීමටය. ඉන්පසු කාලයාගේ ඇවෑමෙන් නැවත අරගල ඇරුඹෙනු ඇත.

 කපිල කුමාර කාලිංග