ගෙදරට මරගාත ලෝකෙට පරකාස වෙමින් තිබූ කාලයක් හෙයින්, සිරි ලංකාවේ මට පිටස්තර ලෝකේ සිද්ධ වෙන පත්ති - නස්පැත්ති සොයා බලන්නට තරම් ඉස්පාසුවක් තිබුණේ නැත.
කෙසේ වෙතත් ඔය අල්ල පනල්ලේම පරණ පුරුද්දට මෙන් පත්තරයක විදෙස් පිටුව දෙසට ඇස ගියෙන් එහි තිබූ පුවතක් දැක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මෙන් දස අතේ කල්පනා කරන්නට වීමි.
පුවත මෙයයි.
අමරිකානු එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුවේ කතානායිකා නැන්සි පොලෝසි මහත්මිය තකහනියේම යුක්රේනය බලා ගොසින් ඇති බවය. එහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි හමුවූ ඇය පවසා ඇති දෙය සරල බසින් කිවහොත් මෙසේය.
චණ්ඩි පාට්වලට බයවෙලා ඉන්ඩ එපා... උඹලත් ගහපල්ලා. අපි දෙන්නං ආයුධ..
පොලෝසිගේ ඇමරිකානු පොලෝසිය එසේය. නවීන පන්නයේ අවි ආයුධ ද, සෙලෙන්ස්කිට ලැබෙනු ඇත.
අයියා - මල්ලි වාගේ සිටි දෙරටක්, කෙටවී මරා ගනිති. අවසානයේ කාට කෙළවුණත් ඇමෙරිකාවට නං බෙහෙත් ප්ලාස්ටරයක්වත් අලවා ගැනීමට සිදු නොවනු ඇත. අද පමණක් නොව එදා සිටම යැංකි පොලෝසිය එසේය.
රුසියාවේ පුටින් අයියා, අතපය ඔසවා සෙලෙන්ස්කිට තර්ජනය කරන කාලයේ අමෙරිකාව එය නුදුටුවා සේ සිටියේය. සෙලෙන්ස්කි, නේටෝව දෙසට හැරී දුක කීවේය.
ගැහුවොත් ගහපං. ඉතුරු හරිය අපි බලාගන්නං. නේටෝව කීවේය.
රුසියාව, යුක්රේනය වට කළේය. ගැසුවේය.
මෙන්න අපිට ගහනවෝ. සෙලෙන්ස්කි බියපත්ව කෑ ගැසුවේය.
නේටෝව නෑසුණාක් මෙන් සිටියේය.
මුන් කෙරුවෙ මහ කඩප්පුලි වැඩක්... අපිව රුවැට්ටුවා තක්කඩියො.
කෝපයට පත් සෙලෙන්ස්කි නේටෝවට පමණක් නොව මිතුරු වෙස් ගෙන සිටි බටහිර රටවලට අම්ම මෝ නැතිව බැණ වැදුණේය. ඇමෙරිකාව සහ එංගලන්තය, යුක්රේනයට උදව් කරන්නට තීරණය කළේ යුද්ධය හොඳටම ඔඩු දිවූ පසුය. ඒ වනවිට යුක්රේනයේ යුද අලාභය ඩොලර් බිලියන 60ක් ඉක්මවා තිබුණි. (කිව් ආර්ථික විද්‍යායතනයේ සමීක්ෂණය)
යුද්ධයේ වියරු ස්වභාවය එසේය. පරාජිතයාට පමණක් නොව ජයග්‍රාහකයාටත් තුවාලය. ලෝක ඉතිහාසයට අමෙරිකාව විසින් එක්කළ තථ පරිච්ඡේද බොහෝය. හිරෝෂිමා - නාගසාකි ඛේදවාචකය පසෙක තැබූ විට අනෙක් විශාලතම විනාශය කළේ වියට්නාමයටය. යුද්ධයක් කිරීමට අමෙරිකාවට හේතුවක් අවශ්‍යම නැත. ඔවුහු කුමක් හෝ හේතුවක් නිර්මාණය කර ගනිති. ඔවුන් වියට්නාමය හා සටන් වැදුණේ කොමියුනිස්ට් රතු මකරාගෙන් එරට ගලවා ගැනීමටය.
රතු මකරා විනාශ කිරීම සඳහා වියට්නාමයේ කඳු හා ගොවිබිම් වෙත හෙළන ලද විෂ රසායනික බෝම්බවල අහිතකර පල විපාක අදටත් එරට පෙළයි. එය මිනිසා විසින් මිහිතලය විනාශ කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනකි. අනික් අතට මෙය සුදු මහත්තුරුන්ගේ කළු හදවත් ලොවට විදහා පාන අවස්ථාවකි. ශිෂ්ටාචාර යැයි කියාගන්නා දියුණු මිනිසුන්ගේ ම්ලේච්ඡත්වය මතුවන ක්‍රියාවකි.
අමෙරිකාව, වියට්නාම් යුද්ධයෙන් පරාජය වී මුහුණ සඟවාගෙන ආපසු සියරට ගියේය. ලැජ්ජාව වසා ගැනීමට දහසක් බොරු කිව්වේය. එහෙත් කාට බොරු කළත් එරට ජනතාවටත් විශේෂයෙන්ම සැබෑ මාධ්‍යකරුවන්ටත් ඇත්ත වසං කළ නොහැකි විය. බොරුවට ආයුෂ නැත යන කියමන යළිත් වරක් සැබෑ විය.
එකල එරට ප්‍රචාරය වූ උපහාස කතාවකි මේ:
වියට්නාම් යුද්ධය නිමවීමෙන් පසු ආපසු ගෙදර ආ අමෙරිකානු සොල්දාදුවකුගෙන් ඔහුගේ බිරිඳ මෙසේ ඇසුවාය.
ඒයි ඩිකී, ඔයගොල්ලො මොනවටද අනේ වියට්නාම්වල යුද්ධ කෙරුවෙ?
එක්වරම පිළිතුරක් දීගත නොහුණු සොල්දාදුවා මෙසේ කීය.
ඒකනං ඉතින් අපේ මේජර්ගෙන් තමයි අහල බලන්න වෙන්නෙ.
එවර සෙබළ බිරිය සැමියාගේ මේජර් තැන ඇමතුවාය.
මම වියට්නාම් යුද්දෙට ගිය සෙබළෙක්ගෙ භාර්යාව. මට දැනගන්න පුළුවන්ද ඒ යුද්දෙට හේතුව?
මොහොතක් කල්පනා කළ මේජර් මෙසේ කීය.
ඒක නං දැනගන්න වෙන්නෙ අපේ බ්‍රිගේඩියර්ගෙන් තමයි.
සෙබළ බිරිය තම ප්‍රශ්නය, බ්‍රිගේඩියර්වරයා වෙතද යොමු කළාය.
මඳක් නිහඬව සිටි බ්‍රිගේඩියර් මෙසේ කීය.
ඔය ප්‍රශ්නය අපේ මේජර් ජෙනරාල්ගෙන් අහල බලනවද?
බිරිඳ, මේජර් ජෙනරාල්වරයා ඇමතූ විට ඔහු මෙසේ කීය.
ඔය ගැන දන්නෙ ජනාධිපතිතුමාම තමයි.
ඉන්පසු, බිරිඳ ධවල මන්දිරයට ඇමතුමක් ගත්තාය. ජනාධිපති පිළිතුරු දුන්නේය.
ඔව්. මොකක්ද ප්‍රශ්නෙ?
වියට්නාම් යුද්දෙට හේතුව දැනගන්න පුළුවන්ද?
මම හිතන්නෙ ඔයා කතාකරල තියෙන්නෙ වැරදි ජනාධිපතිට. ඔය ප්‍රශ්නෙ අහන්න ඕනේ හෝ චී මිං ගෙන්.
දුරකථනය විසන්ධි විය.
කපිල කුමාර කාලිංග