2022 මැයි 22 වන ඉරිදා

ලංකාව හංගමුද?

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 170

පසුගිය සඳුදා නව අගමැතිතුමා කළ කතාව ඇසූ මට හීන් දහඩිය දැම්මේය. ඇඟ කිලිපොලා ගියේය. එහෙත් ඒ හා සමඟම සතුටක්ද ඇතිවුණේය.

මුලින්ම බියක් ඇතිවූයේ එතුමා කියූ ආකාරයට ඉදිරියේදි අපට මුහුණ පාන්නට සිදුවන අති දුෂ්කර කාලසීමාව ගැන සිහිවීමෙනි. දෙවනුව සතුට ඇතිවූයේ දිගු කලකට පසු අගමැතිවරයෙක් ජනතාවට ඇත්තඇති සැටියෙන් කීම සම්බන්ධයෙනි.

ඒ කෙසේ වෙතත් කැරලි කෝලහාල, යුද ගිනි, භීෂණ සමයන් කොරෝනා වසංගත ආදී දුෂ්කර කාලයන් ගත කර ඇති මේ රටේ ජනතාවට ඊටත් වඩා දුෂ්කර කාලයක් යනු කිමැයි වටහා ගැනීම අපහසුය.

සිරි ලංකාවේ සාමාන්‍ය මිනිස්සු සිතා සිටියේ සියල්ල සිද්ද වන්නේ රුපියල් සත මත කියාය. එහෙත් දැන් පෙනී යන විදිහට ලොකුම බලවතා ඩොලර්ය. කොයි ලෝකෙන් හෝ ඩොලර් සොයාගෙන සංචිතය නම් පෙට්ටගම පිරවිය යුතුය. නැතිනම් තෙලුත් නැත. ගෑසුත් නැත. බෙහෙතුත් නැත. පානුත් නැත. හාලුත් නැත. අන්තිමේදී රස්සාවලුත් අහිමි වනු ඇත.

ඉතියෝපියාවට, සෝමාලියාවට, වෙනිසියුලාවට, ග්‍රීසියට සිදුවූ දේවල් දෙස අනුකම්පාවෙන් බලා සිටි දැන් අප පත්ව සිටින්නේ ඊටත් වඩා %පීචන්^ තත්ත්වයකටය. චීනයේ පාසල් ළමුන් හා ඉන්දියාවේ යාචකයන් එකතු කර දෙන මුදලින් හෝ යැපෙන්නටය. සමහර විට කලකට පෙර මෙන් ඉන්දියානුවන් අහසේ සිට පරිප්පු මලු දමන්නටද ඉඩ ඇත. හැම දෙයටම දොස් කියන අපගේ සමාජ මාධ්‍යවේදීන් &කන පරිප්පු මදිවට ඉන්දියාවේ පරිප්පුත් කන්ඩ වෙලා* යැයි කියනවාට සැක නැත.

සැනසීමකට ඇත්තේ ප්‍රශ්න විසඳීමේ වගකීම අගමැතිතුමා බාරගෙන තිබීමය. කවුදෝ ඇමැතිවරයෙක් කියා තිබූ ආකාරයට ගෙදර අඩුපාඩු වෙනකොට කණකර බඩු හෝ උගස් කළ යුතුය. කෝටි ගණන් පාඩු ලබන ගුවන් තොටුපළද කාගේ හෝ කරේ ගැසීමට අගමැතිතුමා යෝජනා කර ඇත්තේ එහෙයිනි.

අපගේ මැති - ඇමැතිවරු ජනතා සේවයෙන් උපයා ගත් මුදලින් ඉදි කළ මාලිගා වැනි ගෙවල් දොරවල්, කුපිත වූ මිනිසුන් විසින් ගිනි තබා විනාශ කිරීම ගැන ද ඇතිවන්නේ දුකකි. ඒවා ඉතිරිව තිබුණේ නම් බංගලිදේශයට හෝ විකුණා ඩොලර් ටිකක් සොයා ගැනීමට ඉඩ තිබුණි. උන්හිටිතැන් අහිමි වූ ඒ අසරණයන්ගේ %සොච්චං^ වැටුපටත් තට්ටු කිරීමට සමහරු කරන යෝජනාවන් නම් අමානුෂිකය.

මේ රටේ පොදු ජනයාට නොවැටහෙන තවත් දෙයක් තිබේ. එනම් රටකට වඩාත් වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යය ද පාර්ලිමේන්තුව ද යන පැනයයි.

ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ රටකට ඉතාම වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බවය. එය රුකෙන්නේ පාර්ලිමේන්තුවෙනි. පාර්ලිමේන්තුව යනු මහජනයා විසින් පත් කර යවන මැති - ඇමැතිවරුන්ය.

එසේ නම් ජනතාවට පෙර මැති ඇමැතිවරුන් හොඳින් ජීවත් විය යුතුය. ඒ සඳහා ඔවුන් වෙළෙඳ ව්‍යාපාර කළ යුතුය. කොමිස් ලැබිය යුතුය. විදේශ බැංකුවල තම මුදල් තැන්පත් කර අනාගතය සුරක්ෂිත කරගත යුතුය.

වර්තමාන අගමැතිවරයා, පාර්ලිමේන්තු ආවේ මහජන මනාපයෙන් නොවේ. එතුමාගේ පක්ෂයට ද එකම ආසනයක් හෝ හිමි නොවීය.

එසේ තිබියදීත් එතුමාට අගමැතිකම හිමිවීම (හයවැනි වරටත්) දේව හාස්කමක් බඳුය. එතුමා ද තිරුපති දෙවොලට ගිය බව අපි දනිමු. කලින් සිටි අගමැතිතුමා ද කිහිප වරක්ම තිරුපති ගියේය. එසේ නම් එතුමා දූපතක කොටු කර දමන්නට තරම් දෙවියන් කෝප වූයේ පුද කළ පඬුරු පාක්කුඩම්වල අඩුපාඩුවක් නිසාවත්ද?

හිටපු අගමැතිතුමා තමන්ගේ ශරීරයේ බරට රත්තරන් පුදන විට නව අගමැතිතුමා ඇතෙක් බරට රත්තරන් පිදුවා දැයි කවුරු දනිත්ද? අනෙක් අතට දෙවියකුට වුණත් එකම වර අගමැතිවරුන් දෙදෙනකු පත් කළ නොහැකි බව අපි වටහා ගත යුත්තෙමු.
තිරුපති පිදූ රත්තරන් දෙවියන්ගෙන් යළි ලබාගත හැකි ක්‍රමයක් වේ නම් කඩා වැටෙන සිරි ලංකාවට එය තරමක මුක්කුවක් වනු ඇතැයි සිතේ.

උගන්ඩාවේද අපේ මුදල් ඇතැයි කටකතා පැතිරේ. &අනුන්ගේ රත්තරන් අපි අරන් මක් කරන්* කීවා සේ උගන්ඩාවේද කවුරුන් හෝ මුදල් ගොඩගසා ඇත්තේ නම් ඒ අපට හදිස්සියට ගැනීමට නොවන බවද ජනතාව දත යුතුය. නුවණැත්තන්, ධනය තබන්නේ සොර සතුරන්ට ගත නොහැකි තැන්වල බවද අමුතුවෙන් කිව යුතු නොවේ.

දැන් ලංකාව ණය ඉල්ලන්නෙ උණකාරයා වතුර ඉල්ලන්නා සේය. උණකාරයාගේ පිපාසයේ සීමාවක් නැත. ඔහු නිතරම වතුර ඉල්ලයි. ණයකාරයාට නම් ඉල්ලන ඉල්ලන වෙලාවට ණය දෙන්නට අයි.එම්.එෆ්. අන්කල්ලාවත් සූදානම් නැත.
ඉන්ඩ හිතුණු රට දැන් යන්ඩ හිතෙන රටක් වී තිබීම ඉතාම කනගාටුදායකය. රට ගැන අනාවැකි කියූ ජ්‍යොතිෂ ව්‍යාපාරිකයෝ නිශ්ශබ්දය. පාලකයන්ට පාර පෙන්නූ සාස්තර සූත්තරකාරියෝ ආ ගිය අතක් නැත.

අපේ කාර්යාලයේ රොබින් අපූරු යෝජනාවක් කරයි.

දැන් කරන්ඩ තියෙන හොඳම දේ ලංකාවේ නම වෙනස් කරන එක... ටික කාලෙකට රට හංගල තියමු. ගොඩ ගියාට පස්සෙ බැරියැ තනි ශ්‍රී නෙවෙයි, ඩබල් ශ්‍රී ලංකා කියන්ඩ.

ශ්‍රී ශ්‍රී ලංකා! ඒකත් නරකම නැත.

 කපිල කුමාර කාලිංග