ඇතුවත් බැරි, නැතුවත් බැරි සමාජ මාධ්‍ය ජාලා තුළ සරන්නකුට සිරි ලංකාවේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් ලබා දිය හැකි උපදේශකයන්, විශේෂඥයන්, විද්වතුන් හා පඬිවරුන් පමණක් නොව සාමාන්‍ය ජනතාව අතරේ සිටින සිම්පල් සයිමන්ලා ද තොග ගණනින් සොයා ගත හැකිය.
උපදේශකයන් වැඩි නිසා ආණ්ඩුව මෙන්ම සමාජ මාධ්‍ය ද අවුල් ජාලා වන අවස්ථා ද වැඩිය. බොහෝ දෙනකුගේ විසඳුම්, අතීසාරයට හේතුව නොසොයා, ගුදයට පොල්මුඩු ගැසීමට කරන යෝජනා බඳුය.
අති පණ්ඩිතයන්, බොරු කලබලකාරයන්, වලිප්පු විප්ලවවාදීන් මෙන්ම හත්මොළ කෛරාටිකයන් නිසා මේ රටට සිදුවූ විපත් ගැන මහාවංශයට දෙවැනි කොටසක් වුව එක් කළ හැකිය.
එක රුයකින් නැව් හැරවීමට ගත් තීරණ නිසා මුළු ලංකාවම පුරන් කුඹුරක් බවට පත් විය. දැන් හැමෝටම අවශ්‍ය වී ඇත්තේ ඉදිරියට යාමට නොව ආපසු තැනටවත් බඩ ගා ගැනීමටය
බඩට වදින විට, මොළය පෑදෙන බවක් දැන් දැන් රටතොට කෙරෙන පොදු ජන සංවාදවලින් පෙනී යයි. කරුමය වන්නේ ජනතාව බුද්ධිමත් වුණත් පාලකයන් බුද්ධියෙන් වැඩ නොගැනීමය. අතීසාර අමුඩය පිටතට ඇද ඕහ්.. වැරදුණා.. සොරි සොරි කියන්නට නම් රටකට නායකයන් අවශ්‍ය නැත.
මහදැනමුත්තලා ගැන මේ රටේ මිනිස්සු අසා තිබුණේ අතීතයේ සිටමය. බැලූ බැල්මට ඒවා සිනා උපදවන සරල ජන කතා ලෙස පෙනුණත් එතුළින් අද දවසට පවා ගැලපෙන දේශපාලනික උපදෙස් ද ලබාගත හැකි බව වැටහෙයි.
මහදැනමුත්තා හැමවිටම කෙළවා ගන්නේ මෝඩ එහෙයියන් නිසාය. 1966 දී රොබින් තම්පෝ නමැති සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් %මහදැනමුත්තා^ රිදී තිරයට ද ගෙන එනු ලැබීය. එහිදී මහදැනමුත්තා වූයේ ඩේවිඩ් ධර්මකීර්තිය. ජ
අබේවික්‍රම පොල්බෑමූණාය. තවත් ජනප්‍රිය රංගන ශිල්පීහු, ඉඳිකටු පැංචා, කෝටුකිතයියා, පුවක් බඩිල්ලා ආදී චරිත රඟපෑහ. පසු කාලයක තව තවත් නිර්මාණ මහදැනමුතු කතා ඇසුරින් නිර්මාණය වූ අතර ඉන් කිහිපයක් යූටියුබයෙහි ද දැකගත හැකිය. ඒ කෙසේ වෙතත් සිරි ලංකාවේ ජනතා නියෝජිතයන් විසින් ද %මහදැනමුත්තා සහ ගෝල පිරිස^ රඟ දක්වනු ඇතැයි කිසිදු දැනමුත්තකු සිතන්නට නැත.
වෙන මොනවා නැතත් කළ යුතු වැඩ මොනවාද, නොකළ යුතු වැඩ මොනවාදැයි දැනගැනීමටවත් වර්තමාන දැනමුත්තලා මහදැනමුත්තාගේ සිනා කතාවත් අසා දැනගැනීම වැදගත්ය.
ඉන් එක කතාවක කියැවෙන අන්දමට මහදැනමුත්තා තම ගෝල පිරිසත් සමඟ ගමනක් යන අතර මඩ වළක එරුණේය. ගෝලයෝ අත් බැඳගෙන එදෙස බලා සිටින්නට වූහ.
ගෝලයිනේ... උඹලට පේන්නෙ නැද්ද... මම මඩේ එරිලා. ඉක්මනට මාව ගොඩට ගනිල්ලා.
එකිනෙකා දෙස බැලූ ගෝලයෝ මෙසේ පිළිතුරු දුන්හ.
අනේ ගුරුන්නාන්සේ, අපේ පොතේ එහෙම දෙයක් ලියැවිලා නෑනෙ.
කෝ මෙහෙට ගනිල්ලා ඔය පොත.
ගෝලයෝ මහදැනමුත්තාගේ උපදේශ ලියා තබන පොත ඔහු අතට පත් කළහ
මුත්තා මඩට වැටුණු විට ගෝලයෝ ඔහු ගොඩට ඔසවා ගලවාගත යුතුය.
මහදැනමුත්තා තම පොතේ එසේ ලියා දුන් පසු, ගෝලයෝ ගුරා ගොඩට ඇද ගත්හ.
අතීතයේ මෙන් නොව, වර්තමානයේ මහදැනමුත්තන්ට ගෝල බාලයෝ සිය ගණනිනි. එහෙත් මඩෙන් ගැලවෙන උපා එකෙක්වත් නොදනිති. එළුවත් මරා මුට්ටියත් බිඳගන්නා උපදෙස් දෙන අඳ බාල ගෝලයෝ නම් ඕනෑ තරම්ය. අටුව කඩා පුටුව හදාගන්නා අයුරු කියා දෙන ඔවුහු, ඉන් පසු පුටුව කඩා දර ළිපට දමන සැටි ද කියා දෙති.
ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට ඔරිජිනල් මහදැනමුත්තා^ එන්නේ දකුණු ඉන්දියාවෙනි. ඒ දෙමළ මුත්තාගේ නම මහගුරුවින්ය. එහි ද ඇත්තක් ඇති බව පෙනෙන්නේ අද දවසෙත් අපේ කච්චතිව් දූපත ගැන අයිතිවාසිකම් කියන මහගුරුවින් ස්ටාලින්ලා දක්නට ලැබෙන නිසාය.
තවත් කෙනකුගේ මතය අනුව, මහදැනමුත්තා යනු සිංහලයනට සරදම් කරනු පිණිස පරංගින් හා මිෂනාරීන් විසින් නිර්මාණය කළ කවට චරිතයකි. පුදුමය වන්නේ අද දවසේත් ඒ කවට මුත්තලා සජීවීව මුල් පුටුවල හිඳ සිටිනු දක්නට ලැබීමය.
අවාසනාවකට මෙන් එදා මෙන් නොව, මඩේ ගිලුණු මුත්තා ගොඩගැනීමට අද දවසේ ගෝල රොත්තට බැරි සේය.
සිරි ලංකාව ද දැන් මඩ වළකය. එය ගොඩ ගැනුමට හැක්කේ කෙසේදැයි විමසන්නකුට අලගියවන්න මුකවෙටිතුමන්ගේ සුභාෂිතයෙහි එන මෙ කවද ප්‍රයෝජනවත් විය හැකිය.
විපුල නැණැති මහතුන් හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝම දුර ලත
කලල ගිලුණු මත වරනිඳු ගොඩ ගනු ත
තුමුල බලැති ගිජිඳකු මිය අන් කෙමත
මඩේ ගිලුණු ඇතා ගොඩගැනීමට එබඳු බලසම්පන්න ඇතකු අවශ්‍යය. එහෙත් සමහර ඇත්තු මඩෙහිම ලැග සිටීමට කැමතිය. තවත් බලසම්පන්න ඇත්තු, ගිලුණු ඇතා ගොඩ දැමීමට ඩීල් දමති. මඩ ඇතුන්ගේ හා ඩීල් ඇතුන්ගේ කෙළි අතරේ කපටි හිවල්ලු ද ගේම් ගසති. දැන් ඉතින් අපට කියන්නට ඇත්තෙ මෙපමණය.
නොගියා මෙන් ගෙවී පව් කරපු
මාරුව
දුගියාටමය කවදත් හැම
අමාරුව
කපිල කුමාර කාලිංග