මේ දිනවල ක්‍රිකට් තරගවලින් ජය ලබා සතුටුවීම, මවගේ මළකඳ ගෙදර තිබියදී බූරු ගැසීම වැනි යැයි සමාජ ජාලා අඩවියක කවුදෝ ලියා තිබුණි.
උපන් බිම යනු මව්බිමයි. සිරි ලංකිකයාගේ මව්බිම මියැදෙමින් පවතින මොහොතක ක්‍රිකට් ක්‍රීඩා කරමින් ප්‍රීති ඝෝෂා නැගීම, බූරුවා ගැසීමකට සමාන කිරීමේ වරදක්ද නැත.
ජනප්‍රිය මතයට අත්පොළසන් නොදී, එහි අනෙක් පැත්තද සලකා බැලීම මගේ හැටි බව, නිතිපතා මෙම තීරුව කියවන පාඨකයා දනී. ඒ අනුව, මට පෙනී යන ආකාරයට නම්, රටේ පවතින සියලු අර්බුද අතරේ, සිරි ලාංකික ක්‍රිකට් ලෝලියා, පොකට්ටුවේ තිබෙන රුපියල් ටිකත්, ඇන්ජිමේ තිබෙන තෙල් ටිකත් වැයකරගෙන ක්‍රීඩා පිටිවලට රොක් වූයේ, අර්බුද ආතතියෙන් මිදීමේ මගක් ලෙසිනි. (රෑපවාහිනියෙන් නැරඹූ පිරිසද බොහෝය) පාලකයන්, ප්‍රශ්නවලට විසඳුම් නොසොයන්නේ නම්, ජනතාව විසින්ම මොන මොනවා හෝ උපක්‍රම සොයාගත යුතුය. තමන්ගේ ජීවිතවලට පරාජයක්ම අත්වන සමයක, ඔවුන් ක්‍රිකට් ජයග්‍රහණවලින් ලැබූයේ මහත් අස්වැසිල්ලකි. එහෙත් යථාර්ථය වන්නේ ක්‍රිකට් පමණක් නොව, ඕනෑම ක්‍රීඩාවක ජයග්‍රහණ ප්‍රීතිය තාවකාලික බවය.
තරග තුනක් එක දිගට දිනන, පිලත් සිව්වෙනි තරගය පරාජය වෙයි. එවිට නරඹන්නෝ යළි දොම්නසට පත්වෙති. ක්‍රිකට් පමණක් නොව, ඕනෑම කණඩායම් ක්‍රීඩාවක දී දෙපිලෙන් එක් පිලක් ජය ගනී. එක් පිලක් පමණක් එක දිගට ජයගත් ක්‍රීඩාවක් ගැන ඉතිහාසයේවත් සඳහන් නැත.
අද ලකුණු සියයක් ලබන පිතිකරුවා, හෙට ලකුණු නොලබාම දැවී යයි. අද කඩුලු හයක් ලබන පන්දු යවන්නාට, හෙට එක කඩුල්ලක් හෝ දවාගත නොහැකි වෙයි. අති දක්ෂ පන්දු රකින්නෙකු අතින්, ඉතා තීරණාත්මක මොහොතක උඩ පන්දුවක් ගිලිහී යයි.
ක්‍රිකට් යනු, ඕනෑම බුද්ධි මට්ටමක කෙනෙකුට, ඉතා පහසුවෙන් වටහාගත හැකි ක්‍රීඩාවකි. නරඹන්නන් අතුරින් ක්‍රිකට් විචාරකයන්ද බිහිවන්නේ එහෙයිනි. පන්දු යැවිය යුතු ආකාරය, පන්දුවට පහර දියයුතු ආකාරය ගැන ප්‍රේක්ෂකාගාරයෙන් විවිධ උපදෙස් ලැබෙනුයේ එහෙයිනි.
තරග පරාජය වූ අවස්ථාවල, ඔවුන් නායකත්වය පවා විවේචනය කරන්නේ, ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්වීමට පවා සුදුසුකම් පෙන්වමිනි.
සමාජ ජාලා තුළ තිබූ තවත් විවේචනයක් වූයේ, සිරි ලංකාවේ ක්‍රිකට් උන්මාදය දකින ලෝකයේ අනෙක් රටවල මිනිසුන්, මෙහි ආර්ථික දේශපාලන හා සමාජ අර්බුදයක් ඇතැයි කිසිසේත් විශ්වාස නොකරන බවය. &මේ වගේ ප්‍රීතිමත්, විනෝදකාමී රටකට, මොන මානුෂික ආධාරදැ*යි ඔවුන් සිතනු ඇත. එසේත් නැතිනම්, සිරි ලාංකිකයා යනු නැව ගිලුණත් බෑන් චූං වර්ගයේ ගොබ්බ ජාතියකැයි සිතා ඉවත බලාගනු ඇත.
අප වරදවා වටහාගෙන සිටින නමුදු මුළු ලෝකයම ක්‍රිකට් ගැන උනන්දු වන්නේ නැත. සමහරු දන්නේම නැත.
ක්‍රිකට් යනු &කොමන්වෙල්ත් ක්‍රීඩාවකි.* ඉංග්‍රීසීන්ට යටත්ව සිටි, රටවල් කීපයක් මිස, අනෙක් රටවල ක්‍රිකට් නැත. (ලෝකයම ජයගත් ක්‍රීඩාව පාපන්දුය.)
එහෙත්, කනස්සල්ලට කාරණය වන්නේ සිරිලංකාවේ ක්‍රිකට් ගැන නොදන්නා රටවල් පවා, එහි ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය ගැන, ප්‍රවෘත්තිවලින් හෝ දැන ගැනීමය. &හිඟන රටවලින්* එකක් ලෙස හඳුනා ගැනීමය. පිටරට සිට කතා කරන මිතුරන්ද, අවවාද කරනුයේ වහාම මේ රටින් පිටවන ලෙසය.
කොරෝනාවෙන් හිස ඔසවමින් සිටි සිරි ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටුණේ මාස කීපයක් තුළය. මහමග ගමන් කරමින් තිබූ රථයක්, එක්වරම වංගුවකින් ප්‍රපාතයකට ඇද වැටුණාක් මෙන්ය. ඉදිරියෙන් ඇති වංගුව අවදානම් විය හැකි බව සමහරු කල්තියා පෙන්වා දී තිබුණත්, රියැදුරා ඒ ගැන සැලකිලිමත් වූයේ නැත.
ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම, මේ රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද උපදේශකවරු ඕනෑවටත් වැඩිය. සමාජ මාධ්‍ය, පුවත්පත්, ගුවන් විදුලි හා රෑපවාහිනී වැඩසටහන් තුළින්, ඒ බැව් පැහැදිලිව පෙනෙයි. එහෙත්, ඒ කිසිවක් ක්‍රියාත්මක වන්නේ නම් නැත.
ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා පත්කර ඇති නියෝජිතයන් නම්, සියල්ලට කලින් තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබෙයි. මෑතකදී මන්ත්‍රිවරු පිරිසක්, තම ආරක්ෂාව පිණිස පිස්තෝල ලබාදෙන මෙන් ඉල්ලුම් කර තිබුණි. ඔවුන් ආරක්ෂා වීමට යන්නේ, තමන් පත්කළ ජනතාවගෙන්දැයි පැහැදිලි නැත. සිය දිවි නසා ගැනීමට නම්, ඉක්මන් නොවිය යුත්තේ, මහ මැතිවරණයකට තව කල් තිබෙන බැවිනි. පෙර පුහුණුවක් අවශ්‍ය නම්, තෙල් පෝලිමක් අසලට යා හැකිය.
දැන් හැම තැනකම කෙරෙන කතාබහ දේශපාලනිකය. මෑතකදී අපේ කන්තෝරුවේ රොබින්ගේ පියා, තැබෑරුමේ සිට ගෙදර යමින් සිටියේ උස් හඬින් ගීතයක්ද ගයමිනි.
බෑ බෑ මට යන්න බෑ
නෑ නෑ මම යන්නෙ නෑ
බෑ බෑ මට යන්න බෑ
අයිය බනී ඒ නිසා මට බෑ
ඒ අසා සිටි, පාර අයිනේ සිටි කුඩා කොලුවෙක් මෙසේ ඇසීය.
කවුද අන්කල් ඒ සින්දුව කියන්නෙ?
මැක්සි ලෙනාඩ්.
එයා ජනාධිපති කෙනෙක්ද?
නෑ... ඒත් ජනාධිපතිලා වගේ තමයි කියන තරමක් කිව්වේ බයිලා.
කපිල කුමාර කාලිංග