ඉතිහාසය යනු සත්‍ය හා අසත්‍ය යන දෙකින්ම සැරසුණු දෙයකි.
වර්තමානයේ හා අනාගතයේ සිදුවන හා සිදුවිය හැකි දෑ වටහා ගැනීමට ඉතිහාසයෙන් ලද හැකි ප්‍රයෝජනය ඉමහත්ය.
බොහෝ විට ඉතිහාස කතාවල කතා නායකයා හෝ වීරයා රජ කෙනෙකි.
එහෙත් සමහර රජවරු චණ්ඩය, දුෂ්ටය, භ්‍රෂ්ටය. පසු කලෙක වීරත්වයට පත්වුවත් (පත්කෙරුණත්) ඔවුන්ගේ නම්වලට ඈඳුණු චණ්ඩ, දුෂ්ට ආදී විශේෂණ අකා මකා දැමීමට වංශකතාකරුවනටවත් හැකි වූයේ නැත.
සාහිත්‍යයේ දක්වා ඇති සියලු රසයන් ඉතිහාසය තුළද නොඅඩුව ඇත. ත්‍රාසය, කුතුහලය, ශෝකය, වීරත්වය මෙන්ම ශෘංගාරයද එහි දැකගත හැක.
ධාර්මික යැයි සම්මත රජවරුනට පවා අන්තඃපුර තිබුණි. එහෙයින් නීත්‍යානුකූලව හෝ සම්ප්‍රදායානුකූලව දුරාචාරයේ හැසිරුණවුන් ලෙස නූතනයකුට පෙනිය හැකිය. එකී දුරාචාරයද රජවරුනට හිමි වරප්‍රසාදයකි.
පුරවැසියනට එක අඹුවක් සීමාවෙද්දී, රජවරුනට බිසෝවරු දුසිම් ගණනින් සිටියහ. පුරවැසියන් වේලක්, දෙවේලක් කටුක ආහාර ගනිද්දී, රජවරු තුන්වේලටම රාජ භෝජන අනුභව කළහ.
පුරවැසියන් කටු මැටි පැල්වල වෙසෙද්දී, රජවරු මාලිගාවල වාසය කළහ. පුරවැසියන් පා ගමනින් යද්දී, රජවරු අස්රියෙන්, නැවින් හෝ ගුවනින් ගමන් කළෝය. වැසියෝ අපමණ දුක් විඳිද්දී, රජවරු රජ සැප භුක්ති වින්ඳාහ.
එහෙත් ඒ සියල්ල වැසියන් ඉවසා දරාගත්තේ රටක් පාලනයට රජකු සිටිය යුතුය යන මතයට ගරු කරමිනි.
ඉතිහාසය විටෙක අද්භූතය. විකාරරෑපීය. හාස්‍යජනකය. ඇදහිය නොහැකි පුදුමාකාර දෙයින් එය පිරී තිබේ.
ලංකා ඉතිහාසයේ පොළොන්නරු යුගයේ සිටි ධර්මාශෝක (1208 – 1209) රජුගේ වයස තුන් මසකි. තුන්මස් ළදරුවකු සිහසුනේ හිඳුවා ඒ පසුපසින් රට පාලනය කර ඇත්තේ ආයස්මන්ත නම් සෙන්පතියෙකි. ළදරු රජුගේ රාජ්‍ය කාලය අවුරුද්දකට සීමා විය. චෝල රටින් ආ සතුරු සේනාවක් රජුද, සෙන්පතියාද මරා දමා බලය අල්ලා ගත්හ.
ඒ කෙසේ වෙතත් බිළිඳුන් හෝ බාලයන් රජවීමේ සිරිත මේ සිරි ලංකා ද්වීපයෙහි දිගින් දිගටම පැවතුණි. වයසින් කෙසේ වෙතත් ක්‍රියාවෙන් නම් තමන් නොමේරෑ බාලයන් බව පෙන්වා දුන් රජවරු බොහෝ සිටියහ. ඉතිහාසය තුළ එකම දෙය නැවත නැවත සිදුවේය යන කියුමෙහි සත්‍යතාව ලොව සිටි එබඳු බාල බොළඳ රජවරු සනාථ කරති.
බිළිඳුන්ට වැඩිහිටියන් කියන දෙයක් නොවැටහේ. ඔවුනට භාෂාවද නොතේරේ. එහෙයින් බිළිඳුන්ට යමක් පුන පුනා කීමත් බිහිරි අලියන්ට වීණා වාදනය කිරීමක් අතර වෙනසක් නැත.
රජවරුන්ගේ ඉතිහාසය තුළ හොඳ වැඩ මෙන්ම ගොන් වැඩ (ගොන් පාට්) ද සමෝසමව දක්නට ලැබේ. ජනවහරේ නම් රජ වැඩක් යනුවෙන් අදහස් කෙරෙන්නේ උසස් වැඩකි.
රජවරුන්ගේ චරිත ඇසුරින් නිර්මාණය වූ නාට්‍ය, චිත්‍රපට, ගීත හා සාහිත්‍ය කෘති බොහෝය. රජකුගේ ගොන් පාට් හා බොන පාට් දැක්වෙන නාටකයක් වූ සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස සිරි ලංකාව තුළ අතිශයින් ජනප්‍රිය විය. රාජ සභාවකදී රජුට සිනාසිය නොහැකි වුවද ප්‍රේක්ෂකාගාරය තුළදී ප්‍රේක්ෂකයෝ රජුට සිනාසුණේ මහ හඬිනි.
මහාවංශය විස්තර කරන ආකාරයට යසලාලක තිස්ස යනු කවට රජෙකි. තමන්ට සමාන රෑපයකින් හෙබි සුබ නම් දොරටුපාලයා සමඟ රජකම හුවමාරු කර ගනිමින් කළ කවටකමින් යසට කෙළවුණේය.
මෙම ඓතිහාසික පුවත දෙස මාක්ස්වාදී දෘෂ්ටියකින් බැලූ නවගත්තේගම එය සිරි ලංකාවේ නාට්‍ය වේදිකාවට ආ ඉහළම ගණයේ දේශපාලන නාට්‍යයක් බවට පත් කළේය.
එහි මුල් නිෂ්පාදනයේ යසලාලක රජු ලෙස රඟපෑවේ අතිවිශිෂ්ට රංගධරයකු වූ උපාලි අත්තනායකයන්ය. ඔහු හදිසියේ රෝගී වූයෙන් ඉන්පසු රජාට ඇන්ඳේ නළුකමද හුරු නවගත්තේගමමය. ඔහු යස චරිතයට වෙනම හැඩයක් දෙමින් දක්ෂ ලෙස රඟපෑවේය. නවගත්තේගමගෙන් පසු රජ වුණේ මනෝරත්නය. ඉන්පසු ශ්‍රියන්ත මෙන්ඩිස් හා ජයනාත් බණ්ඩාරය. අත්තනායක, නවගත්තේගම හා මනෝරත්න යන යස ත්‍රිත්වයම දැන් ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන් වේදිකාවේ කළ රාජකීය වික්‍රමයන් තවමත් රසික සිත් තුළ රජකම් කරති.
සුබ සහ යස හි යස රාජ චරිතය තමන් තරම් හොඳට අන් කිසි කෙනෙකු නොකළේ යැයි අදහසක් නවගත්තේගම තුළ වූ බව ඔහු සමීපව සිටි සමහරු පවසති. නාට්‍යයකදී රජ වුණත් රජවරුන්ගේ සිතිවිලි නළුවනට පවා හුරුවන, පිහිටන ආකාරය පුදුම සහගතය.
රාජාවලියට අයත් නොවන නමුදු ලක්වැසි ජනයාගේ මහත් ආදරයට ලක්වූ ජන මූලික රජෙකි, කිං කැකිල්ලේ. ඔහුට කිසිදා කිරුළු පළඳන්නට වරම් නොලැබුණේ රාජ උරුමය නොතිබූ බැවිනි. එහෙයින් සර්වජන ඡන්ද බලය ලද පසු සිරිලංකන්ලා කැකිල්ලේවරුන් රජකමට පත්කර ගන්නට වූහ. ඒ රජවරු සිරි ලංකාව කිරියෙන් පැණියෙන් පමණක් නොව, තෙලින්ද උතුරා යන සෞභාග්‍යමත් රාජධානියක් බවට පත් කළෝය. කැකිල්ලේ රාජා භවතු ධම්මිකෝ!
God save the king Kakille !
කපිල කුමාර කාලිංග