ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා, කුඩා රැස්වීමක් අමතමින් සිටියදී, වෙඩි තබා මරා දැමුණි. ජපානය, අතීතයේ සිටම සිරි ලංකාවේ මිත්‍ර රාජ්‍යයකි. අබේ මහතාද, අපගේ මතකයේ රුඳෙන්නේ, සිරි ලංකාවට හිතවත්ව සිටි අගමැතිවරයෙකු වශයෙනි. එහෙයින් ඔහුගේ අභාවය අපට ශෝකයකි. පාඩුවකි.
ෂින්සෝ අබේ මහතාගේ නමේ ඇති අබේ කෑල්ල නිසාද ඔහු සිරි ලංකාවට සමීපකමක් දක්වන්නේ, අබේරත්න, අබේසිංහ, අබේසේකර, අබේපාල යනාදී වශයෙන් අපටද අබේලාගෙන් අඩුවක් නැති හෙයිනි. එහෙත්, අපේ අබේලා අත්තා මුත්තා, කිරි කිත්තා ආදීන්ගෙන්වත් ජපන් පැටිකිරියක් ලබා ඇති අය ලෙස සිතීමට ඉක්මන් නොවිය යුතුය.
අබේ අගමැතිතුමාට වෙඩි තැබුවේ එරට නාවික හමුදාවේ සිටි භටයෙකු විසිනි. ඒ සඳහා ඔහු යොදාගෙන තිබුණේ, යකඩ බට දෙකකින් ගෙදරදී සාදාගත් තුවක්කුවකි. සිරි ලංකාවට පැමිණි රජීව් ගාන්ධි අගමැතිතුමාද ආපසු ඉන්දියාවට යාමට පෙර එලෝ යැවීමේ අදහසින්, රයිපල් බඳකින් පහර දුන්නේද නාවික හමුදා භටයෙකි.
ඒ අනුව බලන කල රාජ්‍ය නායකයිනට නාවික භටයින්ගෙන් අපල ඇතැයි කිසියම් ජ්‍යොතීර්වේදියෙකු දැන් කියන්නට ඉඩ ඇතත් සිරි ලංකාව වැනි රටවල නායකයින්ට නම් කාටත් හොරෙන් පලා ගොස් කතානායකවත් හරිහැටි නොදන්නා තැන සැඟවෙන්නට උදව් කරන්නේ නාවික හමුදාව බව මාධ්‍ය වාර්තාවලට අනුව පෙනී යයි.
මෙවැනි වාර්තාවලින් පැහැදිලි වන තවත් දෙයක් වන්නේ, ඇතැම් පාලකයින්, රටේ ප්‍රගතිය සඳහා කෙසේ වෙතත් හදිසි අවස්ථාවකදී පලායාම සඳහා නම් කල් තියා සැලසුම් සැදීමේ දක්ෂයින් බවය. අතීතයේදීත් රජවරු පලා ගියහ. සැඟවුණහ. සමහරු සේනා සංවිධානය කරගෙන ආපසු පැමිණ බලය අල්ලා ගත්හ.
රජකම සඳහා දුටු ගැමුණු හා තිස්ස කුමාරවරුන් සටන් වැදි කාලයේ එක් අවස්ථාවක පරාජයට පත් තිස්ස පලාගොස් පන්සලක නායක හිමිගේ ඇඳ යට හැංගුණේය. පන්සලකට වදින වල් සතෙකුට වුව කරුණාව පෑම භික්ෂූන්ගේ සිරිතය. ඒ අනුව නායක හිමියෝද තම අඳනයකින් ඇඳ වසා දමා, තිස්සට රුකවරණය සැලසූහ. මොහොතකින් දුටුගැමුණුද පන්සලට පැමිණ, තිස්ස කොහිදැයි විමසීය. මෙහෙ කවුරුත් ආවේ නැහැයි නාහිමි පිළිතුරු දුන් නමුදු, ඒ ගැන සැක කළ ගැමුණු කුමරු පන්සල පිටත රුකවලුන් රුඳවීය.
තිස්ස කුමාරයා පිටත් කර යැවීමේ උපායක් කල්පනා කළ නාහිමියෝ මළ සිරුරක් ගෙන යන ලෙසින් ඔහු සිවුරකින් වසා භික්ෂූන් සතර දෙනකු ලවා වනාන්තරය වෙත යැවූහ. එය දුටු ගැමුණු කුමරු, &මේකා සටනින් පැරදුණා මදිවට හාමුදුරුවරුන්ගේ කරිනුත් යනවා නෙවැ*යි සරදම් කළ බවක් පැරණි පත පොතෙහි සදහන් වේ.
සිංහලයාගේ මහාවංශය රජවරුන්ගේ පලායාම්වලින් පිරී ඇත. ඉන් සුප්‍රකට සිද්ධියක් වන්නේ වට්ට ගාමිණී අභය (තවත් අබේ කෙනෙකි) නොහොත් වළගම්බා රජු පලා යද්දී ගිරි නම් නිගන්ඨයා මහා කළු සිංහලයා පලා යනවෝ යැයි කෑ ගැසීමය.
පැරුණි රජවරුන්ටද, පලාගොස් සැඟවීම සඳහා රහසිගත ආරක්ෂක ස්ථාන තිබුණි. ඒ තැන්වලට ළඟාවීම සඳහා උමං මර්ගද කැණ තිබූ අතර, සමහරු නැව්වල නැගී ඉන්දියාවට පළා ගියහ. එවිට, ආං රජා නැවක නැගලා පැනලා යනවෝ යැයි කෑ ගැසූ බවක් නම් දැනගන්නට නැත. දුරකථනය, මිනිසුන්ගේ ශරීරයේ අතිරේක ඉන්ද්‍රියක් බවට පත්ව ඇති මේ කාලයේ නම් මීයෙකුටවත් හොරෙන් පලායාම ලෙහෙසි නැත. අනෙක් අතට සමාජ මාධ්‍ය යනු රට වටා බැඳි දැකල් බඳුය.
බංකරයද පසුකාලීන රජුන්ගේ ආරක්ෂාව පිණිස ඉදිකෙරුණු, රහසිගත බිම් මහලකි. සිරි ලංකාවේ සිවිල් යුද්ධය නිමා වූ පසු, ප්‍රභාකරන්ගේ නිවස හා බංකරය නැරඹීමට යාම, දකුණේ ජයග්‍රාහකයින්ට විනෝද චාරිකාවක් බවට පත්විය. ඊට කලකට පසු වර්තමානයේ අගනුවර පිහිටි ජනපති - අගමැති මන්දිර (බංකරද සහිත) නැරඹීමටද ඔවුන් පෝලිමේ යාම ඉතිහාසයේ සරදමක් බඳුය. (එය අලුත්ම පෝලිමය)
සිරි ලංකාවේ අවසන් රජු වන සිරිවික්‍රම රාජසිංහද, ඉංග්‍රීසීන්ගෙන් ගැලවීම සඳහා පලා යන අතර, බෝමුරේ අප්පුරාළගේ නිවසේදී එක්නැළිගොඩ ඇතුළු පිරිසකට හසුවුණි. ඉන් සිංහල රාජාවලිය අවසන් වුණැයි කියැවුණද කලකට පසු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරුන්ටද රජ පට්ටම දීමට, සිංහලයෝ පෙළඹුණහ. එවිට සිදුවූයේ ඒ රජවරුන්ගේ පුතුන්ද ඉබේටම (ඔටෝ) රජ කුමාරයින් බවට පත්වීමය. ඒ නිසා ඒ ඔටෝ රජකුමාරවරුද, ඊළඟ රජකමට පිටපොට ගසති. එය එසේ නම්, සිංහල රාජාවලියට මෙන්ම අරගලයටද අවසානයක් නැති වණු ඇත. තව තවත් &ගෝ ගම්*ද, රටපුරා ව්‍යාප්ත වනු ඇත. අවසානයේදි සිරි ලංකාවේ සිරි කෑල්ලද හැළී ගොස් ගෝ ලංකා බවට පත්වණු ඇත.
කපිල කුමාර කාලිංග