ලංකාවේ වනාන්තර විනාශ වන්නේ හේන් ගොවිතැන, ගැමි ජනතාවගේ තේ ඇතුළු බෝග වගාවන් වගේ හේතු නිසා බවයි. මෙතෙක් කවුරුත් අවධාරණය කළේ. නමුත් අපේ රටේ වනාන්තර විනාශයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ඒ වගේ පොඩි මිනිස්සු නෙවෙයි. මහා පරිමාණ කෘෂි වගා සහ සංවර්ධන ව්‍යාපෘතියි. අපට එලෙස පැවසුවේ පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පරිසරවේදී හේමන්ත විතානගේ මහතාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ redd (වනාන්තර හායන සහ වන විනාශය නිසා සිදුවන වායු විමෝචනය අවම කරගැනීමේ වැඩසටහන) ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලැබුණේ 2009 දීය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම ව්‍යාපෘතියට ක්‍රියාත්මකව සහභාගී වේ. redd ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වන විනාශය සහ හායන ගැන වාර්තාවක් සකසා තිබේ. මෙම වාර්තාව සැකසීමේදී මුලින්ම පැවසුවේ ශ්‍රී ලංකාවේ වර්ෂයකට වනාන්තර හෙක්ටයාර් 7147ක් විනාශ වන බවයි. පසුව චන්ද්‍රිකා සිතියම් ආදිය ආධාරයෙන් ඔවුන් ශ්‍රී ලංකාවේ වන විනාශය ගැන සිතියමක් නිර්මාණය කළා. ඉන් හෙළිවුණේ වර්ෂයකට හෙකටයාර් 8000ක පමණ භූමියක් වැනසෙන බවයි. විතානගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.
යටත් විජිත පාලන සමයේ අප රටේ ස්වභාවික වනවැස්ම 70%ක් අධික ප්‍රමාණයකින් පැවතියද අද වනවිට එය 20%කටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා පහත බැස තිබේ.
ඒත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වන වැස්ම 29.7%ක් බවයි.
තේ හා කෝපි ඇතුළු වාණිජ බෝගවලට වනාන්තර එළිකිරීම, නාගරීකරණය, ජනාවාස ව්‍යාප්තිය, සංවර්ධන ව්‍යාපෘති, අවිධිමත් ඉඩම් පරිහරණය, කැලෑ ගිනි තැබීම්, දැව සඳහා වනාන්තර එළිකිරීම ආදී විවිධ හේතු ඒ සඳහා බලපා තිබේ.
ලෝකයේ ඉහළම ජෛව විවිධත්වයක් ඇති ශ්‍රී ලංකාවේ වනාන්තර මෙලෙස විනාශ වීම නිසා සිදුව ඇති පාරිසරික හානිය මෙතෙක් ගණනය කර නැත. පසුගිය සියවස තුළ අප රටින් වඳවී ගිය සත්ව සහ ශාක විශේෂ සංඛ්‍යාව ගැන ද අපි එතරම් දන්නේ නැත. සංඛ්‍යා ලේඛන පරීක්ෂා කරන විට පෙනෙන්නේ වන විනාශය අඛණ්ඩව සිදුවූ බවයි. වර්ෂ 1950දී 44%ක් වූ වන වැස්ම, 1983 වනවිට 27% දක්වා පහළට ගියේය. එය 1992 දී 22.9%ක් දක්වා අඩු විය. වර්ෂ 1990 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ වනාන්තර හෙක්ටයාර් 24500ක් අහිමි වූ අතර එය වාර්ෂිකව 1.04%ක අඩුවීමකි.
අප රටේ වැඩිපුරම පැතිර තිබෙන්නේ වියළි කලාපීය මෝසම් වනාන්තරය. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.02කි. පහතරට වර්ෂා වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් 124340ක් පමණි. උප කඳුකර සහ කඳුකර වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් 68892කි. මෙම වනාන්තර ප්‍රමාණය ද රඳාපවතින්නේ අවදානමක බව වාර්ෂිකව එම වනවැස්ම ක්‍රමයෙන් අඩුවීමෙන් පෙනේ. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ වන වැස්ම වාර්ෂිකව 1% බැගින් එළිකෙරෙමින් පවතී. බංග්ලාදේශය, භූතානය, බ_නයි, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවලද පවතින්නේ මෙයට සමාන තත්ත්වයකි. මෙලෙස වන විනාශය අඛණ්ඩව සිදුවුණොත් ශ්‍රී ලංකාවේ වනවැස්ම 2030 වනවිට 13% පමණ දක්වා අඩුවිය හැකි බවට පර්යේෂකයෝ අනතුරු අඟවති. වර්ෂ 1956 – 1984 දක්වා වර්ෂයකට වනාන්තර හෙක්ටයාර් 42200ක් විනාශ වූ අතර අද වනවිට එය හේක්ටයාර් 8000 දක්වා අඩුවීම එක් අතෙකින් සතුටුදායක තත්ත්වයකි. වන විනාශය වැඩිපුරම සිදුවන්නේ වියළි කලාපයේය. ඉන් අනුරාධපුර දිස්ත්‍රික්කය මුල් තැනට ද මොණරාගල දිස්ත්‍රික්කය දෙවැනි තැනටද පත්වේ. හම්බන්තොට, අම්පාර සහ පුත්තලම දිස්ත්‍රික්කවලද වන විනාශය ඉහළ බව හඳුනාගෙන ඇත.
මේ ගැන තවදුරටත් අදහස් දැක්වූ හේමන්ත විතානගේ මහතා,
වන විනාශයට ප්‍රධාන හේතු කිහිපයක් අපි හඳුනාගෙන තිබෙනවා. මුලටම එන්නේ සංවර්ධන ව්‍යාපෘති. යාන්ඔය සහ මොරගහකන්ද ව්‍යාපෘතිවලට හෙක්ටයාර් හත්දහසක් පමණ විනාශ වුණා. බඩඉරිඟු, කෙසෙල්, උක් වැනි වාණිජ බෝග වගාවත් ප්‍රධාන හේතුවක්. ඒ වගේම නැවත පදිංචි කිරීම්. ඒ අතරින් විල්පත්තු ප්‍රදේශයේ පදිංචි කිරීම් නිසා අවුරුදු 6ක් තුළ හෙක්ටයාර 3000ක් අහිමි වුණා. ඒ කාලයේ ලංකාව පුරා තවත් වනාන්තර හෙක්ටයාර් 48000ක් විනාශ වුණා. නමුත් කවුරුත් කතා කළේ විල්පත්තුව ගැන විතරයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවේ වන ආවරණය 29.7%ක් බව වුවද එම සංඛ්‍යා ලේඛන ගැටලු සහගත බව පරිසරවේදීහු පවසති. රජයේ අරමුණ, ඔවුන් 29.7% ලෙස පවසන වන ආවරණය 2022 වනවිට 32% දක්වා වැඩි කර ගැනීමටය. එම අරමුණ ඉටුකර ගැනීමට නම් අදාළ කාල සීමාවේදී හෙක්ටයාර් 150650ක භූමි ප්‍රමාණයක අලුතින් වනාන්තර ඇති කළ යුතුය.
වන විනාශයෙන් රට ගලවා ගැනීමට මේ වනවිට ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබේ. ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම සිවිල් පරිසර සංවිධාන ද එක් වී ඇත. වන සංරක්ෂණ ජනරාල් අනුර හතරුසිංහ මහතා පැවසූයේ වනාන්තර ප්‍රමාණය 1%කින් වැඩිකර ගැනීමට නම් හෙක්ටයාර් 65000ක් අලුතින් එකතු විය යුතු බවයි. ඒ සඳහා දැනට භාවිතයට ගෙන නොමැති මුඩු ඉඩම් සංවර්ධනය කළ යුතු බවද ඔහු කීවේය.
වන ආවරණය වැඩිකිරීම සඳහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක වියදමක් ඇස්තමේන්තු කර තිබේ. ඒ සඳහා රජයෙන් 40%ක් සැපයෙන අතර ඉතිරි 60% විදේශ ආධාරවලින් ලබාගැනීමට නියමිතය. ඒ අතරම වනාන්තර නීති දැඩිව ක්‍රියාත්මක කිරීමෙන් දැනට සිදුවන වන විනාශය 36%කින් අඩුකර ගැනීමට සැලසුම් කර තිබේ.
අද ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයම වනාන්තර රුකගැනීමේ අභියෝගයට මුහුණ දී සිටී. පරිසරවේදීන් ජෛව විවිධත්වයේ අගය පවසන අතර බලධාරීන් කල්පනා කරන්නේ කොන්ක්‍රීට් වනාන්තර රෝපණය කිරීම පිළිබඳවය. සංවර්ධනයේ මෙගා බව දැනෙන්නේ එවිටය. වනාන්තර රෝපණය සංවර්ධන කටයුත්තක් වශයෙන් කිසිම පොතක ලියැවී නැත. පෘථිවි ගෝලයෙන් හෙක්ටයාර් බිලියන 4ක් හෙවත් 31%ක් වනගහනයෙන් වැසී පවතී. මේ වනාන්තරවලින් ජීවත්වන ජන සංඛ්‍යාව ලෝක ජන ගහනයෙන් බිලියන 1.6කි. වනාන්තර විනාශ වූ විට ඔවුන්ටද යනඑනමං නැතිවේ.
නිවර්තන කලාපීය දූපතක් වන ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථාන 34ට අයත් රටකි. එලෙස ජාත්‍යන්තර සම්භාවනාවට ලක්වූ මේ කුඩා දිවයිනේ වනාන්තර ආරක්ෂා කරගැනීම දේශපාලන පොරොන්දුවලට යටවිය යුතු නොවේ.
කුසුම්සිරි විජයවර්ධන