(දවස) හා (රිවිරුස) යනු 60 – 80 දශකයන් තුළ මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් පුවත්පත් දෙකකි. (දවස) දිනපතා පුවත්පතක් වූ අතර, එහි ප්‍රචාරණ පාඨය වූයේ ''කියවන්නට ඕනේ - දවස දවස ගාණේ'' යන්නය. (රිවිරුස) එහි සතිඅන්ත පුවත්පත විය.
(දවස) දෙවැනි භාගයේදී මටද එහි උප කතුවරයකු වශයෙන් සේවය කිරීමේ භාග්‍යය හිමිවුණි. උප කතුවරුන්ගේ මේසයේ සිටින විට ඊට මඳක් ඈතින් තිබූ යන්ත්‍රයකින් නිරන්තරව නැඟෙන (ටක ටක ටක ටක) හඬක් ඇසෙයි.
අපට විදෙස් පුවත් ලැබෙන්නේ එම (ටෙලිප්‍රින්ටර්) නම් වූ යන්ත්‍රය හරහාය. එයට පුවත් ලැබුණේ පාදුක්කේ පිහිටා තිබූ පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය හරහාය. එතනට පුවත් ආවේ (රොයිටර්( වැනි විදෙස් පුවත් ආයතන මගිනි.
ජයසිරි නානායක්කාර, වෝල්ටර් නානායක්කාර හා දයා ජයසේකර (දවසේ) සිටි විදෙස් පුවත්කාරයන් තිදෙනාය. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දෝණියන්දෑ වූ කුසලා වෙත්තසිංහ (නිශ්ශබ්ද කුසලා) ද අතරින් පතර එම කාරිය ඉටු කළාය.
ටෙලිප්‍රින්ටරය දවස පුරා ගලා එන විදෙස් පුවත් තීරු ගෙනවුත් ඉන් සුදුසු ඒවා තෝරාගෙන ඉක්මනින් හා නිවැරදිව සිංහලට නැගීමට මෙම සිව්දෙනාගේ නඩය දැක්වූයේ මහත් දක්ෂතාවකි. එක වචනයක වැරදි පරිවර්තනයකින් මුළු ප්‍රවෘත්තියම විකෘති වීමට ඉඩ තිබුණි.
ගෝල්ඩ්කෝස්ට් හි ආණ්ඩුකාරයා මියගිය අවස්ථාවේ මෙරට පුවත්පතක් එය වාර්තා කර තිබුණේ (ගෝල්ඩ්කෝස්ට් හි ලකිසුරු මියයයි'' යනුවෙනි. ලකිසුරු යනු (ලංකේශ්වර) යන යෙදුමෙහි හෙළ වදනය. ලකිසුරුවන් වෙන රටවල සිටිය නොහැකි බව ඒ පරිවර්තකයා නොදැන සිටින්නට ඇත.
මෙරට තානාපති කාර්යාල හරහා ද විදෙස් පුවත් ලැබුණි. ඒවා තෝරාගැනීම එක් එක් මාධ්‍ය ආයතනවල ප්‍රතිපත්ති රාමුව තුළ පරිස්සමින් කළ යුතු වැඩක් විය. අනික් අතට රුසියානු තානාපති කාර්යාලයෙන් වොඩ්කා ද, අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විස්කි ද බොන පත්තරකාරයන් ද එදා ද සිටි බැවිනි.
මෙදා (හීසරය), දුව ගැන කතා කරන්නට ආ කපුවාට මියගිය හාමිනේගේ ගුණයහපත්කම් ගැන වර්ණනා කරනවා වගේ යැයි කෙනකුට සිතෙන්නටත් පිළිවන. කෙසේ වෙතත් දෙක කියන්ට කලියෙන් එක කියා සිටිය යුතු යැයි කියුමක් ද වහරේ එන බවක් සිහිවෙයි. අමතක වන වයස ඒමට පෙර මතක පොත ලියා තබන්නැයි අපේ වැඩිහිටියන්ද කියා ඇත. ඒ එසේ නමුත් හොද්දට ලුණු වැඩි වෙන්නටත් හොඳ නැත. අඩු වෙන්නටත් හොඳ නැත.
පත්තර රස්සාවට එන්නට පෙර සිටම මා තුළ පැවැති විදෙස් පුවත් පිපාසය තවමත් සංසිඳී නැත. අන්තර්ජාලය, මුද්‍රිත මාධ්‍ය හා විදෙස් රෑපවාහිනී නාලිකා තුළින් මම ලෝ තතු දැනගනිමි. ඒ හැමවිටම මට දැනෙන හැඟෙන දෙයකි. මුළු මහත් ලෝකයම අවුලකි.
ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. බැලුවොත් හින්දු - මුස්ලිම් ගැටුම්ය. දේශපාලනඥයන්ගේ වංචනික සිද්ධීන්ය. අල්ජසීරා බැලුවොත් පලස්තීන - ඊශ්‍රායල හටන්ය. සී.එන්.එන්. බැලුවොත් රුසියානු - යුක්‍රේන ගැටුම්ය. අනික් ඒවාත් ඒකමය. ලෝකය කිසි කලෙක සාමයෙන්, සතුටින්, සහජීවනයෙන් පැවතියේ නැද්ද යන ගැටලුව මට වද දෙයි.
මෑතකදී ඉරාකයේ අරගලකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට කඩා වැදුණහ. එකෙක් කතානායක අසුනේ වැතිරුණේය. ඊයේ පෙරේදා සිරි ලංකාවේද රුස්වීමකදී කථිකයකු කියා සිටියේ පාර්ලිමේන්තුවට දේශපාලනික ප්‍රහාරයක් එල්ල කළ යුතු බවය. ජනාධිපතිතුමා නම් හැමවිටම සිටින්නේ පාර්ලිමේන්තුව නොහොත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර ක්‍රමයට අත නොතැබිය යුතුය, එය රුකගත යුතුය යන ස්ථාවරයෙහිය.
පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නොහොත් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයට කවුරුත් කැමතිය. එහෙත් අවාසනාවකට මෙන් ලෝකයේ ඇතැම් රටවල තරුපහ වෙනුවට ඇත්තේ තරු පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදයකි.
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිව සිටි අවධියේ එරට ප්‍රකට වූ උපහාස කතාවකි මේ.
එක් අවස්ථාවක දෙවියන් වහන්සේගෙන් ජෝර්ජ් බුෂ්, බැරක් ඔබාමා හා ඩොනල්ඩ් ට්‍රම්ප්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ඇරුයුම් ලැබුණි.
භෝජනයට පෙර සුහද කතාබහක යෙදෙන අතරේ අමෙරිකානු ජනපතිවරුන් තිදෙනාගේ දේශපාලන මත ගැන විමසා බැලීමටද දෙවියන් වහන්සේට අවශ්‍ය විය. මුලින්ම ප්‍රශ්න කළේ බුෂ්ගෙනි.
''ජනාධිපතිවරයෙකු වශයෙන් ඔබ විශ්වාස කරන්නේ කුමන දේවල් ගැනද?''
''විවෘත ආර්ථිකය හා අමෙරිකානු ජනතාව ගැන''
දෙවියෝ බුෂ් කෙරෙහි බොහෝ සතුටට පත්ව මෙසේ පැවසූහ.
''බොහොම හොඳයි. ඔබට පුළුවන් මගේ දකුණුපස අසුනේ හිඳගැනීමට.'' දෙවනුව ප්‍රශ්නය යොමු වුණේ ඔබාමා වෙතය.
''ඔබේ විශ්වාසය මොනවා ගැනද?''
''ප්‍රජාතන්ත්‍රවාදයේ බලය සහ ලෝක සාමය ගැන''
දෙවියෝ මහත් සතුටින් හිස වනමින් මෙසේ කීහ.
''ඔබාමා, ඔබට පුළුවන් මගේ වම්පස අසුනේ හිඳගන්න.''
ඉන්පසු ප්‍රශ්නය යොමු වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතය.
''ඔබේ විශ්වාසය කුමක්ද?''
''මා විශ්වාස කරන හැටියට මා සිටිය යුත්තේ ඔබේ අසුනේ.'' ට්‍රම්ප් පිළිතුරු දුනි.
බොහෝ විට සිදුවන්නේ මෙයය. එහෙත් ජනාධිපති යනු රජකු හෝ දෙවියකු නොවේ.
නව ජනාධිපතිවරයා ඒ බව තේරුම් ගෙන සිටින බව ඔහු මෑතකදී කළ කතාවෙන් ජනතාවට වැටහුණි. එහෙත් කතාව දෝලාවෙන් ගමන පයින් නොවිය යුතුය. නිදහස ලද දා සිට රාජයෝගකාරයන් කළ රජ කතාවලින් රටට සිදුවූ දෙයක් නැත. දැන් අවශ්‍යව ඇත්තේ රජ වැඩකාරයෙකි.
කපිල කුමාර කාලිංග