''මම එකල පුවත් වාර්තාකරණය සඳහා පිලිපීනයට ගොස් සිටියෙමි. ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් විරෝධී උද්ඝෝෂණ රටපුරා පැතිරෙමින් තිබුණි.
එක් දිනක් මම මැනිලා නගරයේ පොත්හලක් වෙත යමින් සිටියෙමි. එක්වරම පදික වේදිකාවේ සිටි සිව්දෙනෙක් ''මාකෝස් පන්නමු'' යනුවෙන් සඳහන් බැනරයක් දිගහැරගෙන එය ඉහළට ඔසවාගෙන මහ මගට පිවිසුණහ. ඔවුන් සෙමින් ඉදිරියට යද්දී අවට සිටි ජනයා ද ඊට එක්වන්නට පටන් ගති. සංවිධානාත්මක දෙයක් නොවුණද සුළු මොහොතක් තුළ එය දහස් ගණනකින් යුත් පෙළපාලියක් බවට පත් විය.
මම ද එහි පසුපසින් එක් වුණෙමි. මා අසලින්ම ගමන් ගත්තේ සැරයටි වාරුවෙන් පියනැගූ වයෝවෘධ පුද්ගලයෙකි. ඔහු හා කතාවට වැටුණු මම මෙසේ ඇසුවෙමි.
''ඇයි ඔබ මේ පෙළපාලියෙ යන්නෙ?''
''මාකෝස් එළවන්න''
''ඇයි ඒ?''
''මාකෝස් අපේ රටේ ධනය කොල්ලකෑවා. ඒවා ආපහු ලබාගත්තෙ නැත්නම් අපි හැමදාම දුප්පත්.''
''ඒත් ඒක ලේසි වැඩක් වෙන එකක් නෑ. සමහරවිට ඔබේ ජීවිත කාලෙදිම බැරිවෙයි.''
මම මඳ සිනාවකින් යුතුව කීවෙමි.
''ඒකට කමක් නෑ. මගේ කාලෙ දැන් ඉවරයි. අපි හුඟක් දුක් වින්දා. ඒත් ඊළඟ පරම්පරාවට හරි ඒ ධනය ලැබුණොත් ඒගොල්ලො හරි සතුටින් ජීවත් වේවි.''
මට ඒ මහලු පුද්ගලයා නැවත හමු නොවුණි. එහෙත් ඔහුගේ පරම්පරාවේ දහසක් දෙනා පෙළපාලි තුළ ගමන් කරනු දුටුවෙමි. අවසානයේදි ඔවුන්ගේ අරමුණ ඉටුවිණි.
මෙය මා උපුටා ගත්තේ කලකට පෙර අමෙරිකානු මාධ්‍යවේදියකු ලියා තිබූ ලිපියකිනි.
මියන්මාරයේ පැවති ජනරාල් නේවින්ගේ හමුදා පාලනයට එරෙහිවද එරට ජනතාව පෙළපාලි ගියහ.
පිලිපීනයේ මාකෝස්ට සිය පවුල ද කැටුව රටින් පලා යන්නට සිදුවිය.
නේවින් පරදා අවුන් සාන් සුකී මියැන්මාරයේ බලයට පත්වුණි.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් මාර්කෝස්ගේ පුත්‍රයා වන බොන්බොන් මාර්කෝස් පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්විය.
අවුන් සාන් සුකී සිරගත කර යළි හමුදාව මියන්මාරයේ බලය පැහැරගති.
දේශපාලනය ද චක්‍රයකි!
ජනතාව පෙළපාලි යන්නේත්, උද්ඝෝෂණය කරන්නේත් අයිතිවාසිකම් දිනා ගැනීමටය. නැතහොත් තම විරෝධය පෑමටය.
ඇතැම්විට ඔවුහු දිනති. නැතහොත් පරදිති.
විටෙක නොසිතූ දෙය ද සිදුවෙයි.
මෑතකදී සිරි ලංකාවේ සිදු වූයේ එවැනි සරදමකි.
වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණි.
වන්දනාකරුවෝ සීසීකඩය.
නඩේ ගුරාලා කූඩුවලය.
''අනේ ඉතින් වෙච්ච දේට මක්කරන්න''දැයි කියමින් හති ඇරීම අපේ මිනිසුන්ට නුපුරුදු දෙයක් ද නොවේ.
ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදිය නොහැකිය.
දැන් ඉතින් කළ යුත්තේ ඉදිරියේදි එන ඡන්දයකදි කළ හැකි දෙයක් කිරීම මිස, තැන තැන පොල් ගැසීම, දෙහි කැපීම නොවේ.
පෙළපාලි යාමට පුල පුලා බලා සිටින අය ලබන මැයි මාසය එනතුරු ඉවසා සිටිය යුතුය.
මැයි පළවැනිදා නොහොත් ලෝක කම්කරු දිනයට කොළඹ පෙළපාලි කිහිපයකි. පිට පළාත්වලද පෙළපාලිය. රැස්වීම්ය.
බොහෝ දෙනකුට මැයි දිනයට කොළඹ යාම විනෝද චාරිකාවකි. සමහරු මැයි දිනය යනු කුමක්ද කියාවත් හරිහැටි නොදනිති. ගමන් වියදම් නැත. කෑම බීම නොමිලේය. සමහරුන්ට මුදලක් ද ලැබේ.
බසයේදීම (ඩෝප්) වන ඇතැම් සහෝදරවරු (ගෝල්ෆේස්) හෝ (ටවුන්හෝල්) යන්නේ ද නැත. මග අසල ගසක් යට හෝ පදික වේදිකාවක නිදියති. සමහරුන්ට බස් එකද මිස් වී පහුවදා උදෑසන (පාරේ බසයෙන්) ගමේ යති.
කොළඹ දිස්ත්‍රික්කයට ආසන්න ආසනයක සංවිධායකකමක් ලැබූ ධනවත් අපේක්ෂකයෙක් තම මැයි දින පෙළපාලියට මත්පැන් තහනම් කළේය. ඒ වෙනුවට තරුපහේ කෑම පාර්සල් ඇණවුම් කළේය. පෙළපාලියේ යාමට ආ ඔහුගේ පිරිස කෑමට පෙර යමක් බලාපොරොත්තු වූහ. පසුපසින් ආ වෙනත් ආසනයක පෙළපාලියේ (කසිප්පු පැකට්) ලොරියක්ම විය. ඒ බව දැනගත් වහාම තරුපහේ කෑම ලබාගත් පිරිස කසිප්පු ලොරිය වෙත ගියහ. අවසානයේ ගාලුමුවදොර වෙත ළඟා වන විට ධනවත් අපේක්ෂකයාගේ සෙනඟින් වැඩි කොටසක් සිටියේ පසුපසින් ආ පෙළපාලියේය. පසු කලෙක ඔහු දේශපාලනයෙන් ද ඉවත් විය.
දේශපාලනඥයන් පමණක් නොව, පොදු ජනතාව ද අප සිතන තරම් විශ්වාස තැබිය හැකි පිරිසක් නොවේ. නිදහස ලැබූ දා සිටම ඔවුන් කළේ ද දෙපැත්ත මාරු කිරීම පමණි.
''පෙළපාලි'' පිළිබඳ සිනා කතාවකින් මෙවර කතාබහ අවසන් කරමි.
කොළඹ ගාලු පාරට නුදුරු ධනවත් නිවෙසක කතා කරන ගිරවෙක් සිටියේය. අවට පරිසරයෙන් ඇසෙන වචන උච්චාරණයෙහි ඌ සමතෙකි.
නිවෙස ඉදිරිපසින් ගමන් කරන පෙළපාලිවලින් නැගෙන සටන් පාඨ ද ගිරවාට පාඩම් විය. එහෙයින් ඌ නිතර මෙසේ කෑගැසීය.
''ගෝටා ගෝ'', ''කපුටු කාක් කාක්'', ''මයිනා ගෝ හෝම්''
''රනිල් ගෝ හෝම්''
මේ ඇසූ නිවෙස් හිමියාට තද විය. ඔහු මෙහෙකරු අමතා මෙසේ පැවසීය.
''මේ මොන කරච්චලයක්ද? මේ ගිරවා ගෙනා තැනකට ගිහින් දාපන්.''
ඒ ඇසුණු ගිරවා මෙසේ කෑගසන්නට විය.
''සිස්ටම් චේන්ජ්.. සිස්ටම් චේන්ජ්!''
I කපිල කුමාර කාලිංග