නෑසිය මිතුරන්ගේ ආසිරි මැද කුලගෙට පිවිසි ඇයගේ ජීවිතයේ මීළඟ සිහිනය වූයේ සුරතල් කිරිකැටියකුගේ මුහුණු පොඩිය දැකීමය. ඒ සිහිනයද සැබෑවෙමින් පුතුගේ කිරිසිනා මැද දින සති මාස ගෙවෙද්දී ඒ සතුට තවදුරටත් දරාගන්නට දෛවය ඇයට ඉඩ දුන්නේ නැත. සියල්ල දෛවයට අවැසි ආකාරයට සිද්ධ වෙද්දී මේ තරම් ඉක්මනින්ම සෑමදෙයක්ම අත්හැර යන්නට සිදුවෙතැයි ඈ කිසිවිටෙක නොසිතන්නටද ඇත.
“දිනේෂ්, පුතා කිරි බොන්නෙ නැහැනෙ.”
ගිලන්ව ඇඳට වී සිටියදීත් තම බිළිඳාට කිරි දෙන්නට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් දුකට පත් වූ ඇය සැමියාට පැවසූයේ එවැන්නකි.
“මුලින්ම ඇඟ රිදෙනවා උණ වගේ කියලා කිව්වා. ඊටපස්සෙ අපි පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගත්තා. දවස් දෙකකින් උණ අඩුවුණේ නැති නිසා ලේ පරීක්ෂාවක් කළා. එතනදී එයාගෙ ප්ලේට්ලට් ගොඩක් අඩුවෙලා තිබුණා. ඊටපස්සෙ තවත් පරීක්ෂාවක් කළා. පස්සෙ අයි.ඩී.එච්. රෝහලට ඇතුළු කළා. උණ වැඩිවුණාට පස්සෙ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළත් එයාව බේරගන්න බැරිවුණා. එයා මාවයි අපේ මාස නවයක පුතාවයි දාලා යන්න ගියා.”
මේ එක් සැමියකුගේ ශෝකාලාපයයි. කැලණියේ මානෙල්ගම පදිංචිව සිටි 26 හැවිරිදි නදීෂා මධුෂානි ඩෙංගු මදුරුවාගේ ගොදුරක් බවට පත්වූයේ හයක් හතරක් නොතේරෙන කිරිකැටියකුට මව් සෙනෙහස සදහටම අහිමි කරමිනි.
මේ ඩෙංගු රෝගයේ තවත් එක් ඛේදවාදකයක් පමණි. මේ ආකාරයෙන්ම වසර ගණනාවක් තිස්සේ සිය දහස් ගණනක් ඩෙංගු මදුරුවාගේ බිල්ලක්ව සදහටම දෙනෙත් පියාගත් අතර තවදුරටත් මෙය මෙසේම සිදුවන්නට දෙනවාදැයි යන්න ඔබ ඔබෙන්ම ඇසිය යුතු පැනයයි.
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියේ ඩෙංගු රෝගය අධිවසංගත තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, යාපනය, පුත්තලම, මහනුවර, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුරය, කෑගල්ල, මාතර යන දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු කාර්යසාධක බලකායද ක්‍රියාත්මක වී ඇත.
මේ වසරේ ගත වූ මාස කිහිපය ඇතුළත වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 44,623 කි. මෙහිදී මරණ 120ක් සිදු වූ අතර එය ඉතාමත්ම භයානක තත්ත්වයකි. ඩෙංගු රෝගය නිසා මරණ වැඩිපුරම සිදු වූ වර්ෂ ලෙස 2010 හා 2012 යන වර්ෂ සැලකෙන අතර එම සංඛ්‍යාව පිළිවෙළින් 246 හා 225 කි. මෙම වසරේදී මරණ 120ක් සිදු වී ඇත්තේ පළමු මාස කිහිපය තුළ පමණි.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද අනෙකුත් වසරවලට වඩා මෙවර වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර 2014 දී එම සංඛ්‍යාව 47,246 ක් විය. මරණ සංඛ්‍යාව 97 කි. 2015 දී රෝගීන් 29,777ක්ද, මරණ 60ක්ද දක්වා අඩුකර ගැනීමට සෞඛ්‍ය හා රෝග නිවාරණ අංශ සමත් වූ අතර නැවතත් 2016 වර්ෂයේදී රෝගීන් සංඛ්‍යාව 50,519ක් හා මරණ සංඛ්‍යාව 90 දක්වා වර්ධනය විය. මෙම අගයන් හා සංසන්දනය කිරීමේදී රෝගීන් හතළිස්හතරදහසකට වැඩි පිරිසක් මෙවර වාර්තා වී ඇත්තේ පළමු මාස කිහිපය තුළ පමණි. එය සීග්‍ර වර්ධනයකි. ඒ අතරින්ද වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූයේ ඉකුත් මාර්තු මාසයේය. ඒ 13,373ක් ලෙසය. එමෙන්ම මෙවර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේද කොළඹ දිස්ත්‍රික්කයෙනි.
මේ වනවිටත් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන අතර දැනට ඩෙංගු මදුරුවන් වැඩිපුරම බෝවන තැන් ලෙස හඳුනාගෙන ඇත්තේ වැඩබිම්, පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, රෝහල්, ආගමික ස්ථාන හා නිවාස ආදියයි. සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන ආකාරයට වැඩබිම්වල මදුරුවන් බෝකරන ස්ථාන 2016 වර්ෂයේදී ඊට පෙර වසරවලට වඩා සියයට 38කින් වැඩි වී ඇති අතර මෙම වසරේදී එම සංඛ්‍යාව සියයට 40 දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම පාසල්වල මදුරුවන් බෝවන ස්ථාන පහුගිය වසරේ සියයට 32ක් වෙද්දී මෙම වසරේදී එම අගය සියයට 38 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර කොළඹ නගරයේ රජයේ හා පෞද්ගලික පාසල් ගණනාවක සිදුකරන ලද ඩෙංගු මදුරු පරීක්ෂාවේදී ඩෙංගු මදුරු කීටයන් සහිත ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසල් හතරක් හමු වී තිබිණි. මේ ආකාරයට ඩෙංගු මදුරු කීටයන් සහිත ජාත්‍යන්තර පාසල් කොළඹ නගරයෙන් හමු වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ. ඒ අනුව අදාළ පෞද්ගලික පාසල්වල ප්‍රධානීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවට කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. රජයේ පාසල් 17ක ප්‍රධානීන්ටද ඩෙංගු කීටයන් බෝකිරීම සම්බන්ධයෙන් නඩු පැවරූ බවද ඔහු සඳහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොළඹ රාජකීය, මරදාන අශෝක, වැල්ලවත්ත ශාන්ත පීටර්ස්, කොම්පඤ්ඤවීදිය ටී.බී. ජයා විද්‍යාලය ඇතුළු තවත් විදුහල් 13ක් මේ අතර වන බවය.
ඩෙංගු අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගෙන ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 80 දෙනකුම මේ වනවිටත් ඩෙංගු රෝගයෙන් පීඩාවට පත්ව සිටිති. එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ කුරුණෑගල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා සුළු සේවකයන් මෙලෙස රෝගී වූ බවයි. කුරුණෑගල මහ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි ඉදිකෙරෙන ස්ථාන තිබෙන අතර රෝහල් භූමිය ඉතා අපිරිසුදු තත්ත්වයෙන් පවතින බවද, එමනිසා මදුරුවන් බෝවීම සීග්‍රයෙන් සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවතින ඩෙංගු අවදානම් හේතුවෙන් රෝහල් පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය ඩෙංගු අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි.
ඩෙංගු අධිවසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසියේ රැස්කළ ඩෙංගු කාර්යසාධක බලකා නිලධාරීන්ට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබුණේ ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජුනි 01 දා සිට ක්‍රියාවට නැංවීමටය. ජුනි 01 වැනිදා සිට මාස 03ක කාලයක් ඩෙංගු මර්දන කාලසීමාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද මෙහිදී උපදෙස් ලබා දී තිබුණි.
මේ වන විට සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා තම තමන්ගේ සමාජ වගකීම් ඉටුකරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම දේශපාලනඥයන්ගෙන්ද ඉල්ලා සිටියේය. ඊට අමතරව ඩෙංගු මර්දනය සඳහා දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වලට අවශ්‍ය පහසුකම් සපුරා දෙමින් සිය සක්‍රිය දායකත්වය ඒ වෙනුවෙන් ලබාදෙන මෙන්ද සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
ඩෙංගු මර්දනය සඳහා විවිධ කාලවලදී විවිධ ක්‍රියාමාර්ග ගත්තද එහි මර්දන කටයුතු නියමාකාරයෙන් පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශයේ බලධාරීහු තවමත් අසමත්ව සිටිති. මෙවැනි වැඩපිළිවෙළ අසාර්ථක වීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් ගෙනහැර දක්වන එක් හේතුවක් වන්නේ මදුරු මර්දන කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයන් නොමැති බවයි. මදුරු මර්දන ක්‍රියාවන්හි සම්පූර්ණ වගකීම නිලධාරීන් මත්තේම පැටවිය නොහැකි අතර ඒ සඳහා මහජනතාව අතේද යම් වැඩ කොටසක් ඇත. එය නම් තමන් අවට පරිසරය පිරිසුදුව තබාගැනීමයි. එසේම මදුරු කීටයන්ට බෝවන්නට ඉඩ සැලසෙන අයුරින් පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද මෙහිදී අවධාරණය කළ යුතුය.
කෙසේ වෙතත් මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වර්ධනය වන තත්ත්වයක පවතින අතර පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන්ද අප කරුණු විමසීමක් කළෙමු.
“සාමාන්‍යයෙන් පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල ඩෙංගු රෝගීන් අඩුයි. ඒකට හේතුව තමයි වැස්ස අඩු නිසා මදුරුවෝ බෝවීම අඩුවීම. මැයි මාසෙ මෝසම් වර්ෂාවත් එක්ක ජුනි, ජූලි මාසවල රෝගීන් සංඛ්‍යාව වැඩිවෙනවා. පහුගිය අවුරුදු හයේම ගත්තොත් 2015 වර්ෂය හැර ඔය ආකාරයට තමයි සිද්ධවෙලා තියෙන්නේ. ඉන්පසු ආයෙත් අගෝස්තු, සැප්තැම්බර් කාලෙදි රෝගීන් අඩුවෙනවා. ආයෙත් රෝගීන් වැඩිවෙන්නේ නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලයි.
නමුත් මේ වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල්වල රෝගීන් අඩුවීමක් දකින්න ලැබුණේ නෑ. මදුරුවන් බෝවන ස්ථානයන් ඉතාමත්ම ඉහළ තත්ත්වයක තියෙනවා. එතකොට මේ මෝසම් වැස්සත් එක්ක විශාල අවදානමක් තියෙනවා විශාල වශයෙන් රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නට. ඇත්තටම ඒක අතිභයානක තත්ත්වයක්. ඒ නිසා ඉතා ඉක්මනින්ම මෙම මදුරැ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා පියවර ගැනීම සිදුකළ යුතු වෙනවා.
බොහෝවිට මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වීම වේගවත් වන්නේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟයි. නිරතුරුවම මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීමට කටයුතු කරනවා නම් මේ ආකාරයට රෝගීන් වැඩිවීමක් සිදුවන්නේ නෑ. ඒ නිසා අනෙකුත් පාර්ශ්ව වගේම මාධ්‍යයත් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමුකරන්න ඕනෙ. මාධ්‍යවල මේ දේවල් දකිනවා නම් මිනිසුන්ගේ අවදිවීමක් සිදුවෙනවා. නමුත් එහෙම දෙයක් සිදුවන්නේ නෑ. ඒකයි ප්‍රශ්නය. දිගටම මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොවීමයි, ඒ සඳහා අවශ්‍ය ආකාරයට මිනිසුන්ගේ චර්යාවන් සකස් වී නොතිබීමයි තමයි මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට හේතු සාධක වන්නේ. ඩෙංගු මර්දන වැඩසටහන කියන්නේ අනිවාර්යයෙන්ම දිනපතාම ක්‍රියාත්මක විය යුතු වැඩසටහනක්.
සාමාන්‍යයෙන් ඩෙංගු රෝගයේදී රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ අධික උණ, අධික හිසරදය සහ ඇඟපත වේදනාවයි. ඊට අමතරව වමනය, කෑම අරැචිය, උගුරේ වේදනාව ආදිය ද තියෙන්න පුළුවන්. දවස් දෙකක් උණ තියෙනවා නම් දෙවැනි දවසේ රුධිර පරීක්ෂාවක් කරන්න ඕනෙ. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය වුණත් ඊළඟ දවසේත් පරීක්ෂණයක් කරන්න ඕනෙ. මොකද සමහර වෙලාවට ඒ වෙනස්කම් මතුවෙන්නේ පසු අවස්ථාවේදී. මූලිකව රෝගය හඳුනාගත්තොත් බරපතළ සංකූලතාවලට යෑමෙන් වළක්වා ගන්න පුළුවන්. මේ වෙද්දි සිදු වූ මරණවලින් වැඩි ප්‍රමාණයක්ම සිදුවුණේ රෝගයට ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද වීම නිසයි.
ඩෙංගු රෝගයට ප්‍රතිකාරයක් වශයෙන් සමහර රෝගීන් පැපොල් පත්‍ර යුෂ බීමටත් පෙළඹෙනවා. ඒ මේවා පානය කිරීමෙන් ප්ලේට්ලට් වැඩිවෙනවා කියන පදනම මතයි. මෙම අදහස ව්‍යාප්ත කළේ මාධ්‍ය මගින්. මාධ්‍ය තමයි මේවට වගකියන්න ඕනෙ. මේවා මගින් ප්ලේට්ලට් වැඩිවෙනවාද කියලා අපි දන්නේ නෑ. අනිත් එක අපි ඒ සම්බන්ධයෙන් වගකියන්නෙත් නෑ. නමුත් මේවා පානය කිරීමෙන් අතුරු ආබාධ නම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මේවා බොන්න හොඳ නෑ. කොහොම වුණත් ආයුර්වේදය බටහිර වෛද්‍ය ක්‍රමය යන දෙකේම මෙය ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරලත් නෑ.”
ඩෙංගු රෝගයෙන් මිදීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ද විවිධ වූ ක්‍රමෝපායන් අනුගමනය කළ හැකි අතර මෙහිදී මූලිකව සිදුකළ යුතු කර්තව්‍ය වන්නේ මිනිසුන්ගේ චර්යාවන් වෙනස් කිරීමයි. මෙහිදී අධ්‍යාපනය හා මාධ්‍ය හරහා විශාල මෙහෙවරක් සිදුකළ හැකි අතර අපගේ හෘද සාක්ෂියෙන් අප ඇසිය යුතු වන්නේ තවදුරටත් මෙවැනි වසංගත හරහා අහිංසක මිනිස් ජීවිත බිලි දිය යුතු ද යන්නයි.
♦ හේමමාලා කුමාරි රාජකරුණා