2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

තනතුරු ලෝභය

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 176

ගම් සභා, රට සභා, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා යනාදී වශයෙන් තිබූ සභා ලැයිස්තුවට එකතු වන "බ්‍රෑන්ඩ් නිව් සභාව" ජාතික සභාවය. ඒ සභාවට පැවරෙන කාරිය වන්නේ රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමය.

අවමංගල සභාවලදී පවා තමන්ට නිසි තැනක්, අසුනක් නොදුන්නොත්, නොලැබුණොත්, මළ එකා සමඟත් උරණ වීම ඇතැම් දේශපාලනඥයන්ගේ හැටිය. ජාතික සභාවේත් තැනක් නොලැබීම ගැන කඳුළු සලන දේශපාලන ඇත්තන්, ගැත්තන් සිටීම ද පුදුමයක් නොවේ.

තනතුරු ලෝභය ද දුකට මුලකි. සමහරුන්ට මොකක් හෝ තනතුරක් අවශ්‍යය. කලකට ඉහත "කාර්යයක් නැති ඇමැතිලා" ද මැතිසබයේ සිටියේ එහෙයිනි. වර්තමානයේත් පඩි ඇති ඇමැතිලා අතරට පඩි නැති ඇමැතිලා ද එකතු කරන්නට හදන්නේ ඒ නිසාය. වැඩක් පලක් නොකර, පුටු රත් කරමින්, 'පඩි පතේ' පහරනවාට වඩා, පඩි එපා කියා සිටීම නම්බුකාරය. එහෙත් පඩි නැතත්, වෙන වෙනත් ක්‍රම සහ විධි ඇතැයි සිතන අය ද පඩි රහිත ඇමැත්තන් අතරේ සිටින්නට පිළිවන.

මේ අතර, තිබෙන පක්ෂ මදිවාට අලුත් පක්ෂ හදන්නට සූදානම් වන බවද අසන්නට ලැබේ. රන්ජන් රාමනායක මහතා ද පිරිසුදු දේශපාලන වේදිකාවක් ගොඩනැගීමට සැරසෙයි. 'පිරිසුදු දේශපාලනය' යන යෙදුම පවා මේ රට තුළ 'පොලිටිකල් ජෝක්' එකක් බව එතුමාට අලුතෙන් කියා දිය යුතු නැත. කෙසේ වෙතත් අපිරිසුදු වේදිකාවක් පිරිසුදු කිරීමට කවුරුන් හෝ මුලපුරනවා නම් එය හොඳ වැඩකි. එසේම, ඊට ගොඩවන්නන්, අවංකභාවය නමැති ශුද්ධ ජලයෙන් හිස් දෝවනය කොට පව් සෝදාගැනීම ද වැදගත් වෙයි.

දේශපාලනයත්, අවංකභාවයත් යනු එකිනෙකට විරුද්ධ වචන යැයි කෙනකුට සිතිය හැක. එහෙත් දේශපාලනයෙහිද අවංක පුද්ගලයන් ඇත. ඒ ඔවුන් දේශපාලනයට පිවිසීමට පෙරය. ‍

දේශපාලනඥයා යනු ජනතාව විසින්ම නිර්මාණය කරන ලද චරිතයකි. එනිසාමදෝ, ඔවුන් විසින්ම ඔහු වටා නිර්මාණය කරනු ලැබූ උපහාස කතා ද බොහෝය. මේ ඉන් එකකි.

වාසිබෝලන්තයේ දේශපාලනඥයෙක්, නවීනතම කැබ් රථයක නැගී ගම්බද ප්‍රදේශයක ගමන් කරමින් සිටියේය. තණබිමක සිටින කෙසඟ පුද්ගලයකු දුටු ඔහු රථය නැවැත්වීය.

"තමුසෙ මොකද ඔතන කරන්නේ?"

"පෝර ප්‍රශ්නෙ නිසා අපේ ගොවිතැන් සේරම පාළු වුණා. දැන් අපි කන්නෙ මේ තණකොළ තමයි."

කෙසඟ පුද්ගලයා අතෙහි වූ තණ මිට පෙන්වමින් කීය.

"නගිනවා නගිනවා වාහනේට. යමු අපේ ගෙදර."

කෙසඟ පුද්ගලයා මහත් සතුටින් රථයට නැග්ගේය. අතරමගදි ඔහු මෙසේ කීය.

"අනේ සර්, මගේ පවුලත් ගෙදර බඩගින්නෙ ඉන්නෙ. එයාවත් දාගෙන යමුද?"

"ප්‍රශ්නයක් නෑ. දාගමු."

කෙසඟ පුද්ගලයාගේ බිරිඳ ද රථයට නංවාගැනුණි. ටික දුරක් යද්දි ඇය දේශපාලකයා දෙස බලමින් මෙසේ කීවාය.

"සර්.. මගෙ ලොකු දුවත් ඉන්නෙ මේ කිට්ටුව. ඒගොල්ලොත් ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන්. බඩගින්නට කන්නෙ තණකොළ.. එයාවත් දාගෙන යමුද සර්."

"ප්‍රශ්නයක් නෑ. දාගමු."

දිළිඳු පැලක් අසල රථය නතර කෙරුණි. කෙසඟ යුවළගේ දියණිය පමණක් නොව ඇගේ දරුවා සහ සැමියා ද රථයට ගොඩවුණි.

සුළු මොහොතකින් දියණියගේ සැමියා ද දේශපාලකයා ඇමතීය.

"සර්.. මගේ දෙමව්පියොත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඒ දෙන්නට තණකොළ ඇර වෙන කන්ඩ දේකුත් නෑ. කරන උදව්වක් ඒ දෙන්නටත් කරන්න සර්."

"එන්න කියනවා."

සැමියාගෙ දෙමව්පියෝද කැබ් රියට නැග ගත්හ. මඳ දුරක් යද්දි කෙසඟ පුද්ගලයා දේශපාලකයා ඇමතීය.

"සර්, මෙච්චර කාලෙකට කවුරුවත් අපේ දුක දැක්කෙ නෑ. ඔබතුමාට ඇයි අපිට සලකන්න ඕනෙ කියල හිතුණෙ?"

දේශපාලනඥයාගේ මුවගට සිහින් සිනාවක් නැගුණි.

"පහුගිය ටිකේ මම හිටියෙ පිටරට. ආපහු ඇවිත් බලනකොට අපේ ගාඩ්න් එකේ තණකොළ හොඳටම වැවිලා. තමුසෙලා මුණගැහුණෙ හොඳ වෙලාවට. දැන් ඉතින් අපි දෙගොල්ලන්ගෙම වැඩේ වෙනවනෙ."

ගොනාට ඇන්දවීමත්, තණකොළ කැවීමත් අතර ලොකු වෙනසක් නැත. ගොනාට ඇන්දවීමේ යටි අදහස ද තණකොළ කැවීම විය හැකිය. තණකොළ කන එකා සිටින්නේ කය මිස සිත (මොළය) නැති ලෝකයකය. එවැනි ලෝකයක් පාලනය කිරීමට ඕනෑම ගවයකුට හැකිය.

I කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00