අලි - මිනිස් ගැටුම යන යෙදුම සිංහල වහරට එක්වූයේ සංවර්ධනයේ නාමයෙන් වනාන්තර එළි පෙහෙළිය ඇරඹීමත් සමඟය. එතෙක් අලි ඇත්තු වනයේ ජීවත් වූහ. මිනිස්සු ගම්මානවල ජීවත් වූහ. දෙගොල්ල අතර කිසිදු ආරෝවක් තිබුණේ නැත.
අලි නිජබිම්වල හේන් කොටන්නටත්, කුඹුරු කරන්නටත් ගත් දා සිට අලින්ගේ හිත් නොහොඳ විය. ඒ මදිවට අලිමංකඩවල් හරහා සංචාරක හෝටල් ද අලි ගමන් වළකමින් විදුලි වැටවල්ද ඉදිකෙරුණි.
ආදිවාසීන් පුරාණයේ සිටම ජීවත් වූයේ කැලයෙහිය. ආදිවාසි නායක වන්නිල ඇත්තා කියා තිබෙන ආකාරයට ඔවුන් හා අලින් අතර කිසිදු හබයක්, විරසකයක් හටගත්තේ නැත. ආදිවාසියකුට අලියකු මුලිච්චි වූ විට ඔහු කළේ ඌ මගහැර යාමය. නොඑසේ නම් ගසකට නැග ගැනීමය.
පසු කලෙක තම වගාවන් විනාශ කිරීමට එන වල් අලින් හා වෛර බැඳගත් ගම්මු, උන් වැනසීමට ඉතා කුරිරු උපක්‍රම යොදන්නට ගත්හ. අලින්ගේ පාදයේ ඇනී එය කුණුවන සේ, කටු පෝරු සඟවා තැබීම එකකි. වට්ටක්කා හෝ වෙනත් බෝගයක් තුළ හක්ක පටස් නමැති කුඩා වෙඩිල්ලක් (චීන පටස් වැනි) සැඟවීම තවත් උගුලකි. මෙබඳු කුරිරු ක්‍රම මගින් අලින්ට දුක්ඛිත මරණයක් ලබාදීම අලි අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
පාර්ලිමේන්තුවේ සිටින රස කතාකාරයන් අතර විජිතමුණි, විමල්, උදය, බන්දුල හා ඩලස්ට විශේෂ තැනක් හිමි, අපහාසයෙන් තොර උපහාසය සඳහා ඔවුන් යොදාගන්නා යෙදුම් හා කියමන් නිසාය.
මෑතකදී ඩලස් අලහප්පෙරුමයන් කියා තිබූ අන්දමට ජනාධිපති ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව දැන් ජනතාව පීඩාවට පත් කරන්නේ අලින්ට හක්ක පටස් දැමූ වට්ටක්කා දෙන්නාක් මෙනි.
අලින්ට හොඳ මතකයක් ඇත. තමන්ට කළ හොඳ - නරක දෙකම මතකයේ තබාගන්නා අලි, පසු කලෙක ලද ඉඩකදී 'කලගුණ' සලකති.
සිංහල මනුෂ්‍යයා නම් වඩා ප්‍රසිද්ධ මතකයට වඩා අමතකයටය. ප්‍රභාකරන් ද කියා ඇති අන්දමට සිංහලයන්ට බොහෝ දේ මතකයේ රුඳෙන්නේ සතියකි. දෙකකි. තමන්ට 'හක්ක පටස්' දෙන උදවියම යළි යළිත් බලයට පත් කිරීමට ඔවුන් කටයුතු කරන්නේ එහෙයින් විය හැකිය.
අලින්ට ශක්තිමත් කකුල් හතරක් මෙන්ම හොඬවැලක් ද ඇත. මිනිසාට ඇත්තේ කකුල් දෙකක් හා අත් දෙකක් පමණි. මද කිපුණු අලියකුට ඒවා බණ්ඩක්කා, පතෝල වගේය. තද වූ අලියකුට හසු වූ විට හොඬෙන් මිනිස්සු ඔසවා පොළොවේ ගසා චප්ප කරති.
කැලේ රජා සිංහයා වන නමුදු, ඌ අලියා සමඟ වලි දමාගන්නේ නැත.
අලි වැඩ බැරි නමුදු, මිනිසා අලි කයිවරුකාරයෙකි. කතාව, අලි ජාතියෙනි. අලි දෙන්නං, කොටි දෙන්නං කියන නමුදු, ඒ පැටියකුවත් දෙන්නට අසමත් අය අප අතර වෙසෙති.
අලියාගේ විරුද්ධ වචනය කූඹියාය. අලියා ගමනක් යන විට, බිම වෙසෙන කූඹියන්ට දෙවියන්ගේම පිහිටය.
අලියා කැලේ ජීවත් වන්නේ අලි වංශයෙනි. අනිත් සතුන් ගැන කිසිදු තැකීමක් නැත. එහෙත් එක් ජන කතාවක කියවෙන අන්දමට අලියාගෙ පණ බේරුණේද කූඹියකුගේ පිහිටෙනි.
එක් දඩයක්කාරයෙක් අලි දඩයමේ ගියේය. ගසක සෙවණේ නිදා සිටින අලියකු දුටු ඔහු තුවක්කුව මානා ඉලක්කය ගත්තේය. එදුටු ගසක සිටි විස කූඹියෙක් දඩයක්කාරයාගේ ඇඟිල්ලකට විද්දේය. වේදනාවට පත් ඔහුට ඉලක්කය වැරදුණි. අලියා පණ බේරාගෙන පලා ගියේය. එදා සිට කූඹියා අලියාගේ ගජ මිත්‍රයෙක් වීලු.
අලි, සම විද ලේ උරා බොන අලි මැක්කන් හා අලි මැස්සන් හා කිනිතුල්ලන් සමඟ නම් ඇයි හොඳයියක් නැත. එහෙත් අලි සිරුර උන්ට ද අයිතිය. එය සොබාදහමය.
නැති ලොකුකම් මවාපාන, මිනිස්සු අලියා වෙන්නට තැත් කරන අයුරු අපි දැක ඇත්තෙමු. එහෙත් ඔවුන් බොහෝ දෙනකුට අලි කෙන්දකට ඇති වටිනාකමක් හෝ නැත.
අලියා කොටන් පමණක් නොව, නැව්ද අදියි. වරායේ නැව්, බත්තල් ආදිය එහා මෙහා ඇද යන්නේ ශක්තිමත් අලියා බෝට්ටුවකිනි. එහෙත් පුදුමයකට මෙන් අලියා නිර්මාංශිකය. තනිකරම වෙජිටේරියන්ය.
මිනිසුන්ටද අලි බඩගිනි දැනෙන අවස්ථා ඇති නමුත්, අලියකුට වගේ කන්නට නම් නොහැකිය. අලියකු නිසා ඉල්ලාගෙන කෑ, අපේ මිත්‍රයකු ද මගේ මතකයට නැගේ.
මිතුරන් පිරිසක් සමඟ විනෝද ගමනක් යමින් සිටි ඔහු, ඇත්ගොව්වකු සමඟ පාරේ යමින් සිටි අලියකු දැක විහිළුවක් කිරීමට සිතා රිය කවුළුවෙන් හිස පිටතට දමා මෙසේ ඇසීය.
''ලොකු උන්නැහේ, ඔය සතාගෙ නම මොකක්ද?''
පදමට රා බී සිටි ඇත්ගොව්වා අප මිතුරාට හොඳ හරුපයකින් පිළිතුරු දුන්නේ ඔහුගේ මෑණියන් ද සිහිපත් කරමිනි. ඉන්පසු අප මිතුරා ගමනාන්තය තෙක්ම තද නින්දේය. එදා සිට ඔහු සිරිකොත ළඟින් යන විටත් ඉවත බලාගන්නේලු!!
කපිල කුමාර කාලිංග